2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

ඉස්සන් කර්මාන්තයට කඩාපාත් වූ බදු හෙණය

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 227

ඉස්සන් වගාව සිදුකරන රජයේ ඉඩම් සඳහා පැවති වාර්ෂික බදු මුදල ඉහළ දැමීමට රජය ගත් තීරණය දියුණු වන ඉස්සන් කර්මාන්තය ආපස්සට ඇද දැමීමක් බව කර්මාන්තකරුවෝ පවසති.විශාල විදේශ විනිමයක් උපයන ඉස්සන් වගා කර්මාන්තයට පනවා ඇති අසාධාරණ අක්කර බදු මුදල ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේ ඉස්සන් වගාකරුවන්ගේ ගොවි එකමුතුව හා සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.

ඉස්සන් කර්මාන්තය දැඩි ලෙස අනතුරේ හෙළන තීන්දුවක් රජය විසින් ගෙන ඇති බවත් මෙම කර්මාන්තය කඩාවැටුණොත් පවුල් 6000ක පමණ ඍජු ආදායම් මාර්ග ඇහිරී යන බවත් උද්ඝෝෂණයට සහභාගී වූ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරැණාරත්න මහතා පැවසීය.

හෙක්ටයාර 1700 ක් පුරා භූමිභාගයක ඉස්සන් ගොවිපොළවල් 900 ක් පමණ ඇති බවත් වගාකරුවන් 3000කට වඩා පිරිසක් සිටින බවත් මෙට්‍රික් ටොන් 6000 ක් පමණ නිෂ්පාදන සිදුකරන බවත් එහිදී අනාවරණය විය.
සුළු, මධ්‍ය හා මහා පරිමාණ වශයෙන් මෙම කර්මාන්තය පවත්වාගෙන යන අතර හිමිකරැවන් 450 ක් පමණ දෙනා අක්කර තුන දහය වශයෙන් ද එකසිය පනහක් පමණ දෙනා අක්කරයක පමණ භූමියක ඉස්සන් වගා වගාව සිදුකරන බවද උද්ඝෝෂකයන් පැවසීය.

ඉස්සන් වගාව සඳහා රජයේ ඉඩම් බදු ක්‍රමයට ලබාගත් ව්‍යාපාරිකයන් ආරම්භයේ දී අක්කරයක් සඳහා රුපියල් 1200ක මුදලක් ද වසර තුනකට පමණ පෙර එය රුපියල් 5000 ක් දක්වා ද වැඩිකර රජය විසින් බදු අය කර තිබේ.
ඉස්සන් කර්මාන්තකරුවන් තම කර්මාන්තය පවත්වාගෙන යා යුතු නිසාවෙන් අකමැත්තෙන් වුවද එම මුදල් ගෙවමින් සිට ඇති අතර පසුගිය සතිය තුළදී එම බදු මුදල රුපියල් 7500 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර ඇතැයි ප්‍රාදේශීය සභාව මගින් රජයේ ඉඩම් බදු ලබාගෙන ඉස්සන් කර්මාන්තය පවත්වාගෙන යන පුද්ගලයන් වෙත ලිඛිතව දන්වා ඇත. කර්මාන්තයේ මුල් ආරම්භය හා සැසඳීමේ දී මෙම බදු ඉහළ දැමීමේ ප්‍රතිශතය 625%ක ඉහළ යාමකි.

වසර ගණනාවක් අතීතයට දිවයන ඉස්සන්, කූනිස්සන් කර්මාන්තය සම්ප්‍රදායික ක්‍රමයට ආරම්භ කර ඇත්තේ ඉන්දුනීසියාවයි. වර්තමානයේ වගා කරන මොනඩෙම් කුලයේ කරැවන්ඩා හෙවත් බ්ලැක් ටයිගර් නැමති ඉස්සන් වගාව දශක හතරකට පමණ පෙර මෙරටටදී ද ආරම්භ වී තිබේ. ඉස්සන් වගාව වාණිජ මට්ටමින් මෙරට ආරම්භ වී ඇත්තේ 1977 වසරේ දී විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වාදීමත් සමඟයි.

මේ සඳහා අවශ්‍ය භූමි සොයාගැනීම අසීරු කාර්යයක් බවට පත් වී ඇති අතර රජයේ අවසරයෙන් හා අනවසරයෙන් ඉවක් බවක් නොමැතිව රජයේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීම සිදුවිය. ඉස්සන් වගාව සඳහා සුදුසු පරිසර පද්ධතියක් පිහිටි වයඹ කලපු වෙරළ තීරයේ පිහිටි කඩොලාන පරිසර පද්ධතිය ඉස්සන් වගාව සඳහා තෝරාගත් ව්‍යාපාරිකයන් නියමින් හෝ අනියමින් රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය ඇතිව හා නොමැතිව ඉවත් කිරීමට කටයුතු කළේ විශාල පරිසර හානියක් සිදුකරමිනි. 

කලපු, ගංඟා, මෝය, ආශ්‍රිත කඩොලාන ශාක විනාශ කිරීම සීඝ්‍රයෙන් වර්ධනය වන්නට විණි. ඉඩම් මංකොල්ලකරුවන් රජයේ රක්ෂිත ඉඩම්වලට හොර ඔප්පු සකසමින් ඉස්සන් වගාව සඳහා ඉඩම් සොයා එන පුද්ගලයන්ට, සමාගම්වලට විකිණීම සිදුවිය.

ඒ හරහා සිදුවන පරිසර හානිය වැළැක්වීමට පියවර ගැනීමේ දී ඉඩම්වල නිරවුල්භාවය රජය හමුවේ ඉදිරිපත් කිරීමට ඉඩම් හිමියන්ට සිදුවිය. වංචාකරුවන්ට හසුවී ඉහළ මිල ගණන්වලට මිලදීගත් ඉඩම්වල නීත්‍යානුකුලභාවය පිළිබඳ ඇතිවූ ගැටලු හමුවේ ඇතැම් ව්‍යාපාරිකයන්ට ඉඩම් ලබාගැනීමට වැය කළ මුදල් ද නොමැතිව කර්මාන්තය ආරම්භ කිරීමට පෙරම අතහැරදමා යාමට සිදුවුණි. ඇතැමුන් ජාවාරම්කරුවන්ට හසුවී විශාල මිලකට ලබාගත් ඉඩම්වලට නැවත රජයට බදු ගෙවීමේ ක්‍රමයට ඉඩම් ලබාගනිමින් කර්මාන්තය ආරම්භ කර වෙනත් අයකුට විකුණා කර්මාන්තය අතහැර යාමද, ඇතැම් ව්‍යාපාරිකයන්ට කර්මාන්තය කරගෙන යාමේදී සිදුවන පරිසර හානිය වළක්වා ගැනීමට නොහැකිවීමෙන් ඇතිවූ මහජන විරෝධතා හමුවේ කර්මාන්තය අතහැර යාමද සිදුවිය.

ඉස්සන් කර්මාන්තය තුළින් රටට ආර්ථික වාසියක් ලැබෙනවා මෙන්ම කලපුව ආශ්‍රිතව ස්වභාවයෙන් නිර්මාණය වූ පරිසරය අලංකාරයට බලපෑමක් ද එල්ල වී තිබේ.

පරිසරයට සිදුවන බලපෑම් හේතුවෙන් 1999 වසරේ දී තායිලන්තයේ ඉස්සන් වගාව තහනම් කෙරුණ ද ශ්‍රී ලංකාවේ මෙම කර්මාන්තය පවත්වාගෙන යාමට රාජ්‍ය මට්ටමින් සහයෝගය ලබාදී ඇත්තේ දැනුවත් පරිසරය රුකගැනීමට අවශ්‍ය පුළුල් වූ දැනුවත් කිරීම් සිදුකිරීමෙන් පසුවය.

කලපුව ආශ්‍රිතව පොකුණු සකසා කලපු ජලය ඒ තුළට පුරවා දින කිහිපයක් ගතවූ පසු ඉස්සන් කීටයන් පොකුණු තුළට දැමීම සිදු කෙරේ. මාස හතරක කාලයක් පොකුණු තුළට හුළං පෙති මගින් කෘත්‍රිම ශ්වසන මෙන්ම, ආහාර ද ලබාදෙමින් කුඩා ඉස්සන් ග්‍රෑම් දහයක් පමණ ප්‍රමාණයට විශාල වූ පසු අල්ලා දේශීය හා විදේශීය වෙළඳපොළ වෙත යැවීම සිදුකරති.
එකවර පොකුණකට ඉස්සන් කීටයන් පනස්දාහක් පමණ මුදාහරිමින් මාස හතරක කාලයක් දැඩි වෙහෙසක් දරා අස්වනු නෙලාගැනීමට සිදුවී ඇත. මෙම ඉස්සන් කොතෙක් වර්ධනය වුවද බෝවීමක් සිදුවන්නේ නැත. බෝවීමක් සිදුවුවොත් සුදු පුල්ලි වැනි ඉස්සන්ට වැළඳෙන රෝගකාරක අවස්ථාවක දී මැඩපැවැත්වීමට නොහැකි වීම නිසාවෙන් ඉස්සන් බෝවීම වැළැක්වීම සඳහා ඉස්සන් කීට අවස්ථාවේදීම රසායනික ද්‍රව්‍යයන් ශරිරගත කර ඇත.

දහසක් ගැටලු හමුවේ පවත්වාගෙන යන ඉස්සන් කර්මාන්තය දියුණු කිරීමට රාජ්‍ය මැදිහත්වීම වැඩි වශයෙන් ලබාදෙමින් වැඩි කරන ලද අක්කර බදු ඉවත් කරන ලෙස ඉස්සන් කර්මාන්තකරුවෝ ඉල්ලා සිටිති.

 රෝවන් පෙරේරා  - පුත්තලම