
දශකයකට පෙර “කටුස්සකුගේ මරණය” නම් සම කර්තෘ කෘතියකින් සිය කාව්‍ය කුසලතා උරගා බැලූ තරංගා රණසිංහ, සමකාලීන කවි කිවිඳියන් කවියෙහි ආකෘතිය විෂයයෙහි භාවිතයට ගත් භාෂණයේ රිද්මයේ ස්වයං සිද්ධ ආකෘතික හැඩතල තරංගා ද භාවිතයට ගන්නීය. ඇගේ කවියෙහි අනන්‍යතා ස්වරූපය වන්නේ එයයි.
යුද්ධය නිම වී, තමා උපන්, බිමෙන් ඈත බොහෝ කල් ජීවත් වූ ගම්බිම් වෙත පැමිණි මිනිසුන්ට හමුවන්නේ මුළුමනින්ම ආගන්තුක පරිසරයකි. ඇතැම් විට ඔවුන්ගේ පැරැණි ලෝකයෙන් ඉතිරි වී ඇත්තේ දන්නා හඳුනන ගහක් කොළයක් පමණි. “යාපනේ දී හමු වූ ඔබ” නමින් තරංගා රණසිංහ ලියන කවියට වස්තු විෂය වී ඇත්තේ එම දුර්ලභ මානුෂීය අත්දැකීම්ය.
නෑ සියෙක් නොදන්නා උපන් ගමේ
ගඩොලක් හමුවී ද උපන් ගෙයි බිත්තියේ
අඹ ගසක හැඩරුව සොයා ගත්තා ද
අඹ ගස් අතර ගෙවත්තේ
මනුෂ්‍යයාගේ අධ්‍යාත්ම සම්බන්ධය ඇත්තේ සජීවී ලෝකය සමඟ මතු නොව භෞතික - අජීවී ලෝකය ද සමඟය. වරද නම් එකී වස්තූන් නටබුන් වී, මතක නටබුන් නොවී පැවතීමය. භාවිත ගුණ පමණකට වඩා ඉස්මතු නොකොට තරංගා මේ මානව හැඟුම් පෙළගස්වන විට බුද්ධිවාදී ගුණයට ද ඉඩක් ලැබීම විශේෂය.
“මහ පොළොවේ මහ ගස” නමින් තරංගා ලියන කවියට ද වස්තු වී සිටින්නේ ද සුවිශේෂී චරිතයකි. සිය සුළු රැකියාවට පරත්වාරෝපණය වී සිටින හෙතෙම, පාසලක කාර්ය මණ්ඩලයෙහි සුළු සේවකයකු විය යුතුය.
පඩිපත ඔතාගෙන දුප්පත් මාසේ අගට
නිවාඩු දමාගෙන අතින් විගසට
අතිකාල කපාගෙන හිතු මනාපේට
ඇවිදින් ගඩොල් අදියි තාප්පේ බිඳුණු තැනට
මේ නම්, අලියා වැටුණු වැවේ දී කුමාරගම කවියාට හමු වූ “මේ ලොව ඇති මිහිරි මසින් ඔහු හට වැඩක් නැතැයි” කියූ හේනේ හාමි වැන්නකුට විය යුතුය. ඊටත් වඩා පරාර්ථයට නැඹුරු වූවකු විය යුතුය.
පැළයක් හිටවන්න ඉඩ තිබේ මිදුල කොණ
සිහිනයක් දලු දමයි පැළ දාහක් හිටවන්න
සෙවණක් දෙන්න දුව පනින්නට
වතුර වත්කරන්න එයි වැඩ ඇරී දුවගෙන
තරංගාගේ ස්වභාවෝක්ත්‍යාලංකාරය, අව්‍යාජ ගුණ කවියට හිමිකර දෙන නමුත් දිගටම ඒ පසුපස යෑම නිසා විටෙක, විස්තර කථිකයකු ඉස්මතු වනවා දෝ යි සිතේ. රෑපාකාර්ථ ඕනෑවනු ඇත්තේ එසේ සිතීම වළකන්නටය.
අතීතකාමය යනු කෙතරම් දිළිඳු වුවද දුෂ්කර වුවද ඉක්මගිය සමයකට සුන්දරත්වය හිමිකර දීමකි. යළිඳු නොඑනා බැවින් එකී රෝමාන්තික කල්පනාවන්හි කාව්‍යමය ගුණ ද මිහිරිවන්නේය. රෑපකාර්ථවලට අඩු ඇල්මක් දක්වන තරංගා වුවද එහිදී ඊට ඇලුම් කරනු පෙනේ.
ගං ඉවුරේ රැළි නගන කළුවරේ
සීතලයි කට්ට කළු ඇඳිරියේ
තරැ එළිය හැංගිලා අමාවක රැයේ
හිනාවෙන් දොර ඇරෙයි මැදියමේ
තරංගා රිසිවන ආකෘතියක නිදහස ඵල දරන තැන් ද තිබේ. වඩාත් නිදහස් සෞන්දර්ය කාමයක් වෙත සහෘදයා කැටුව යන විට කථන රිද්මය හීලෑ කරගන්නට ඇයට හැකිවන්නේ යම් පමණක ප්‍රසාද ගුණ ද සමඟය. “වේරහැර ගම ළඟ ගඟ” එම රචනයයි.
කිරල ගෙඩි වැටි වැටී පාවෙයි රැළි අතට
ජපන් ජබර මල් හිනාවෙන්නේ මුකුළුවට
නැන්දා බලන්න එන අලුත් මනමාලයාට
පාර කියන්නයි තොටුපළේ ඉන්නේ අප
මේ විෂමපාද ඡන්දස කවියේ නිදහස්කාමී සෞන්දර්යය රැකගනී.
වර්තමාන ජීවිත වියවුල ගැන කියද්දී පවා තරංගා ආවේග බාහුල්‍ය නතර නොවී සංයමශීලී වනු පෙනෙයි.
පිරිත මුලපුරයි දවස ගෙවන්නට
නොනිදාම ඇහැරෙයි බත උයන්නට
දුම් දමන තේ කෝප්පය දෙනකොට
අද ඉඳන් රස්සාව නැහැ කියයි හිමීට
තරංගා රණසිංහගේ කවීත්වය වඩාත් පලදරනු සඳහා ඇය ජයගත යුතුව ඇත්තේ, කවියේ ආකෘතිය හා බැඳුණු ඇතැම් තාක්ෂණික ගැටලු හා භාෂා භාවිතයේ සීමාවන්ය. ප්‍රසාද ගුණ ඇගේ කවියට කැටුව එනු ඇත්තේ එම සීමාවන් ජයගැනීමේ ශක්‍යතාවයි.
දුරුත්තේ කෝපි මල් විදර්ශන ප්‍රකාශනයකි.
I රත්න ශ්‍රී විජේසිංහ