2018 ජනවාරි 06 වන සෙනසුරාදා

2018 දී අමුතු ආරක විද්‍යා ප්‍රබන්ධ සිනමා කතාවක් Aquaman

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 95

මේ වනවිටත් අලුත්ම Star wars චිත්‍රපටය සියලු වාර්තා බිඳදමමින් ප්‍රදර්ශනය කෙරේ. ත්‍රාසය සහ වීරක්‍රියා සපිරි විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවලට කවදත් ඇත්තේ ඉහළ ඉල්ලුමකි. එයට බාල, තරුණ, මහළු ‍වෙනසක් නැත. ලැබුවාවූ 2018 වසරේදී ද වෝර්නර් සහෝදර ආයතනය විසින් අමුතුම මාදිලියේ ප්‍රවාදයක් ඇතුළත් ත්‍රාසජනක වීරක්‍රියා ඇතුළත් විද්‍යා ප්‍රබන්ධයක් ප්‍රේක්ෂකයන් වෙත ලබාදීමට කටයුතු යොදා ඇත. මුහුද යට රාජධානිය සහ ගොඩබිම රාජ්ජය අතර මතුවන අර්බුදකාරී ගැටුමක් විවරණය කරන විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වන Aquaman මේ කතාවයි.

පසුගිය වසරේ ජයග්‍රාහී ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබූ Justice league, Man of steal, Furious 7, වැනි චිත්‍රපටවල අපූර්ව රංග දායකත්වයක් දැක්වූ හොලිවුඩ් වීරයා ජේසන් මොමෝආ මෙහිද ප්‍රධාන චරිතයට පණපොවයි. මුහුද යට රාජධානියේ අත්ලාන්තිස් රාජ්ජය හිමි ආතර් කරී නමැති අඩක් අත්ලාන්තිස් යෝධයකුගේ සහ අඩක් මිනිස් ස්වරූපයෙන් සමන්විත අලුත් වීරයකු මෙහිදී ප්‍රේක්ෂකයා හමුවට එයි. ඔහුට මුහුදු රළපෙළ පාලනය කළ හැකිය. සමුදුරු ජීවීන් හට අණදිය හැකිය. ශබ්දයේ වේගයට වැඩි වේගයකින් දිය මත සහ ගැඹුරේ පිහිනා යා හැකිය. මේ සුපිරි මානව හැකියාවන්ගෙන් යුතු ආතර් ගොඩබිම රාජ්ජය හා ගැටුමට එළැඹෙන්නේ ඔවුන් විසින් සිදුකරන ගෝලීය සමුදුරු දූෂණයට එරෙහිවය. ජලයෙන් පිටත ලෝකය සමඟ සටනට සිය දිය යට සේනාවන් මෙහෙයවන ආතර්ගේ ආධාරයට එන්නේ මිරා නමැති දිය යට අත්ලාන්තිස් රාජ්ජයේ රැජනයි. ජලචාලක ශක්තිය සහ ටෙලිපති බලය සහිත ඇය ජලය යට සියලු සතුන් සහ මුහුදු පරිසර පාලනයට සමත් වූ තැනැත්තියකි. ප්‍රදීපාගාර පාලකයකු වන ආතර්ගේ පියාත්, දිය යට රාජ්ජයේ රැජන වන ඇට්ලානා නමැති ඔහුගේ මවත්, න්‍යුඩියස් නමැති ප්‍රධාන විද්‍යාත්මක උපදේශකයාත් ආතර් හට උපකාර කරයි. ආතර් ඇතුළු බහුතරය සමුද්‍ර දූෂණයට එරෙහිව ගොඩබිම වාසී මිනිසුන් සමඟ ගැටුමකට එළැඹෙයි. ඒ අතර ඔහුගේම අඩ- සොහොයුරා වන ඔර්ම් දිය යට රාජ්ජය ආතර්ගෙන් පැහැරගැනීම සඳහා කුමන්ත්‍රණයක් මෙහෙයවයි. ආතර් හට සිදුවන්නේ මේ කියන ගොඩබිම සතුරන් සහ ලේ ඥාති සතුරන් යන දෙපිල අතර සිය රාජ්ජය සහ ජීවිතය රැකගැනීමේ ත්‍රාසජනක වීර වික්‍රමාන්විතයක යෙදීමටය.

ඇඟ කිලිපොලා යන සිද්ධිදාම රැසක් සහිත ඩොලර් මිලියන 160 ක් වැයකර තැනූ මේ චිත්‍රපටය ජේම්ස් වැන් සහ ජේෆ් ජොන්ස්ගේ තිරරචනයකට අනුව ජේම්ස් වැන්ගේ අධ්‍යක්ෂණයෙන් යුතුව නිර්මාණය වූවකි. කලකට පසු සුපිරි හොලිවුඩ් නිළි නිකොලේ කිඩ්මන් ද හොලිවුඩ් නිළි රැජනක වන ඇම්බර් හර්ඩ් ද මේ චිත්‍රපටයේ දී විචිත්‍ර රංගන දායකත්වයක් දක්වති.

එම චිත්‍රපට තිරරචනයට පාදක වූ කතාව කලකට පෙර මෝර්ට් වෙයිසින්ගර් සහ පෝල් නෝරිස්ගේ නිර්මාණයක් වූ Aquaman කොමික් චිත්‍රකතා පෙළින් ලබාගත්තකි.

 සුගත්