2018 ජනවාරි 06 වන සෙනසුරාදා

දේශීය හාලේ බත කෑවොත් ගොඩ

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 862

ඈත අතීතයේ සිටම සහල් වර්ග විශාල ප්‍රමාණයක් තිබුණු බවට කරනු ලබන පරීක්ෂණවලින් සොයාගෙන ඇත. බතෙන් පෝෂණය වූ ශ්‍රී ලාංකික ජනතාවක් සිටි ඒ අවදියේ කයෙන් මෙන්ම මනසින් ද ඔවුහු පොහොසත් වූහ. එයට හේතුව වූයේ ඖෂධ ගුණයටත් එහා ගිය ගුණයක් මෙම සහල්වල අන්තර්ගත වූ නිසාවෙනි. ගලේ ඇඹරෑ ලුණුමිරිසක් සමඟ දේශීය සහලෙන් පිසූ බත ආහාරයට ගත් ගොවියා හරිහරියට මේ මහපොළොව සමඟ ජීවත් විය. දේශීය සහල්වලින් වැඩි ඉල්ලුමක් ඇති සහල් ලෙසින් කළුහීනටි, රත්හැල්, සුවඳැල්, මාවී, පච්චපෙරුමාල්, මඩකවාළු, කුරුළුතුඩ වැනි සහල් හැඳින්විය හැක.

ජාන වෙනස් කළ සහල් සහ දෙමුහුන් සහල්වලට වඩා මෙම දේශීය සහලේ සීනි ප්‍රමාණය ඉතා අඩුය. එබැවින් අධික තරබාරුව, දියවැඩියාව, හෘදරෝග වැනි රෝග ඇති අයට විශේෂයෙන් මෙම දේශීය ආහාර ඉතා ගුණදායක වේ. මෙම සහල්වල ග්ලූටමික් ඇසිඩ් ද, විටමින්, ඛනිජ ලවණ ඉතා වැඩිය. එමගින් ශරීරය සිසිල් වේ. ඇන්තෝසයිනින් වැනි ප්‍රතිශක්තිකාරක වලින් ශරීරයේ විෂ තත්ත්වය ඉවත් කර පිළිකානාශක ගුණයක් ද ඇතිකෙරේ. ශරීරයේ බොහෝ ලෙඩරෝග වලින් ආරක්ෂා කෙරේ. විශේෂයෙන් රතු, දුඹුරු, කළු පැහැයට හුරු දේශීය සහලේ වැඩි පෝෂණ කොටසක් අන්තර්ගත වේ. දේශීය සහලේ ඇති ඔරයිසිනෝල් වැනි ප්‍රතිඔක්සිකාරක දෙමුහුන් වී වල වැඩිපුර අන්තර්ගත වේ. එමගින් සිරුරේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කෙරේ. හෘදරෝගවලින් ආරක්ෂා කෙරේ. දේශීය සහලේ ඇමයිලෝස් අධිකව පවතී. එමෙන්ම රතු, දුඹුරු, කළු පැහැයට හුරැ සහලේ ජලයේ දියනොවන කෙඳි අධිකව පවතී. විශේෂයෙන් පිළිකාමය තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට මෙම කෙඳි උදව් උපකාරී වේ.

සෝඩියම් දේශීය සහලේ ඉතා අඩුය. ප්‍රෝටීන් ඇමයිනෝ අම්ලය සැලකිය යුතු ප්‍රමාණයක් අන්තර්ගත වේ. ශරීරයට පුණර්ජීර්ණය ලබා දී වයසට යාම අඩු කෙරේ.

දේශීය සහලේ තවත් වාසි

ඇස් පෙනීම වර්ධනය වේ.

සිරැර ශක්තිමත් වේ.

අධික තරබාරුව අඩු කරයි.

රුධිරය පිටවන රෝගවලට ඉතා ගුණදායක වේ.

ශුක්‍රාණු හොඳින් නිපදවයි.

මුත්‍රා පද්ධතිය මනා ලෙස ක්‍රියා කිරීමට උදව් වේ.

කෑම අරුචිය ඇති අයට කෑම ප්‍රියතාවය ඇති කරයි.

ප්‍රතිශක්තිය ඇති කරයි.

පපුවේ වේදනාවට ඉතා ගුණදායක වේ.

සහල්වල ගුණ

කළුහීනටි

කිරිදෙන මව්වරුන්ට කළුහීනටි සහල් බැද කුඩුකර සාදාගත් කැඳ ඉතා ගුණදායක වේ. පුරුෂයන්ගේ වාජිකරණ ශක්තිය ඇති කරයි. මෙහි පවතින අධික කෙඳි සහිත වීම මළබද්ධයට ඉතා ගුණදායක වේ. එමෙන්ම අර්ශස් රෝගීන්ට කළුහීනටි සහල් ඉතා ගුණදායක වේ. දියවැඩියා රෝගය මෙයින් පාලනය වේ. සර්පයන් දෂ්ඨ කිරීමෙන් පසුව ඇතිවන විෂ තත්ත්වය අඩු කිරීමට කැඳ ඉතා ගුණදායක වේ. මෙයට හීන්බෝවිටියා, මොණරකුඩුම්බිය, දිවුල් කොළ වගේ කොළ ඉස්ම කැඳ සාදා දිය හැකිය. එමෙන්ම කළුහීනටි සහල් අක්මාවේ රෝගවලට ඉතා ගුණදායක වේ.

මඩකවාළු

මඩකවාළු සහල ශරීර ප්‍රතිශක්තීකරණය වර්ධනය කිරීමට උදව් වේ. දියවැඩියාව පාලනය කරයි. කාන්තාවන්ගේ ආර්තවහරණයෙන් පසු කාන්තාවන්ට ඇතිවන ඇඟේ දැවිල්ලට කැඳ ඉතා ගුණදායකයි.

පච්චපෙරුමාල්

ශරීරයට සීනි අඩුවෙන් උරාගන්නා සහලක් ලෙසින් පච්චපෙරැමාල් සහල් හැඳින්විය හැකිය. පෝෂණ ගුණය ඉතා අධික වන අතර කොලෙස්ටරෝල් නැත. පිළිකා ඇති කළ හැකි සෝඩියම්, ග්ලූටීන්, පැටී මෙම පච්චපෙරුමාල් සහලේ නැත. යකඩ, පොටෑසියම්, විටමින් බී අන්තර්ගත වේ. මැන්ගනීස් බහුලව ඇති නිසා පිළිකා ඇති කරන විෂ තත්ත්වයන්ට විරුද්ධව ක්‍රියාකිරීමේ හැකියාවක් ඇත. අධික රුධිර පීඩනයට ඉතා ගුණදායක වේ. පච්චපෙරුමාල් සහලෙන් එල්.ඩී.එල්. කොලෙස්ටරෝල් අඩු කරයි. පච්චපෙරැමාල් සහල් කෝප්පයක කෙඳි ග්‍රෑම් 3.5 ක් අඩංගු නිසා මළ හොඳින් පිටකෙරේ. මෙම සහල් හොඳින් සෝදා අව්වේ වේලා බැඳ පිටිකර අග්ගලා ද සෑදීමෙන් ඉතා රසවත් ආහාරයක් සාදාගත හැක. පච්චපෙරුමාල් සහලෙන් සාදන කිරිබතද ඉතා රසවත්ය.

රත්හැල්

සිරෝසිස් රෝගයේ දී රත්හැල් වලින් සාදාගත් කැඳ බීමට දීම ඉතා ගුණදායක වේ. විවිධ වෛරස් උණ සඳහාත් අක්මාරෝග සඳහාත් රත්හැල් කැඳ බීමට දෙයි. උෂ්ණාධික සිරැරක් ඇති අයට රත්හැල් කැඳ සහ රත්හැල් බත දීමෙන් ඇඟ සිසිල් වේ. පිත්තාශයේ සහ වකුගඩුවල ගල් පවතින විටදීද රත්හැල් බත ඉතා ගුණදායකයි. මෙම සහලෙන් සාදන ආහාර සමඟ එළඟිතෙල් ස්වල්පයක් මිශ්‍රකර කෑමට ගැනීමෙන් ලිංගික හැකියාව ද වැඩි වේ.

මාවී

වගා කිරීමට දිගු කාලයක් ගතවුවද මාවී යනු ඉතා පෝෂ්‍යදායී සහල් වර්ගයකි. පිෂ්ඨය අඩුය. සිරැරේ දැවිල්ල අඩු කරයි. සෙම් තත්ත්වය ද අඩු කරයි. ක්ෂය රෝගීන් ද විශේෂයෙන් මාවී කැඳ බීමට දෙයි. ග්ලූටීන් නැති අතර විටමින් බී බහුලව පවතී. මාවී යනු පිළිකා නාශක සහල් වර්ගයකි.

කුරුළුතුඩ

ප්‍රෝටීන් අතින් ඉතා පොහොසත් සහලක් වන මෙය මුත්‍රාශයේ ක්‍රියාකාරීත්වයට ඉතා ගුණදායක වේ. දියවැඩියාවට, කොලෙස්ටරෝල්වලට මෙන්ම ලිංගික ශක්තිය උත්තේජනයට ඉතා යහපත්ය. ප්‍රතිඔක්සිකාරක නිසා පිළිකා වළක්වයි. අක්මාවේ තෙල් තැන්පත් වීම අඩු කරයි. පිත්තාශයේ ගල් ඇතිවීම වළක්වයි.

විශේෂඥ ආයුර්වේද වෛද්‍ය
නිමාලි සොලොහොකාර
කුරැණෑගල ආයුර්වේද රෝහල