
ලංකාවේ කුරුඳු ලෝකය පුරාම ඉහළම වටිනාකමක් හිමිකරගෙන තිබේ. මේ නිසා ලංකාව මේ වනවිට ලොව ඇති හොඳම කුරුඳු නිෂ්පාදන රටක් ලෙසින් හැඳින්වේ. ලොව පුරා ඇති රටවල් බොහෝමයකට කුරුඳු සපයන රට වන්නේ ශ්‍රී ලංකාවයි.
ශ්‍රී ලංකාවට ආවේණික ශාකයන් වන මෙය ලොරේසියේ කුලයට හා සිනමෝටම් කුලයට අයත් වේ. නමුත් අද වෙද්දී බොහෝ රටවල්වල වගා කරන ප්‍රධාන කුරැඳු වර්ග දෙක වන්නේ සත්‍ය කුරැඳු හා කැසියා කුරුඳුය. මෙයින් “කැසියා කුරුඳු” වර්ගය බොහෝවිට නිෂ්පාදනය වන්නේ චීනය, ඉන්දුනීසියාව, වියට්නාමය වැනි රටවල්වල වන අතර “කැසියා කුරුඳු” වර්ගය බොහෝවිට සත්‍ය කුරුඳු වර්ගයට වඩා ගුණාත්මක භාවයෙන් අඩුය.
ශ්‍රී ලංකාවේ වැඩිපුරම කුරැඳු නිෂ්පාදනය කරනු ලබන්නේ රත්නපුර, ගාල්ල, මාතර, කළුතර, මාතලේ, බදුල්ල, හපුතලේ, නුවර වැනි ප්රදේශවලය. ඉතා ගුණාත්මකභාවයකින් ඉහළ කුරැඳුවලට අද වෙද්දී වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක් පවතී.
කාලයක් තිස්සේ ලංකාවේ කුරැඳු සඳහා විදේශ රටවලින් විශාල ඉල්ලුමක් පැවතුණු අතර ඒ සඳහා හොඳ වෙළෙඳ වටිනාකමක්ද ලැබිණි. නමුත් අද වෙද්දී එය වැඩිදියුණුවක් වී නොමැත. මේ සඳහා එතරම් යන්ත්‍ර සූත්‍ර නවීකරණයක්ද නොවිණි. කුරුඳු වගාව වසර පුරාම කළහැකි වගාවක් නොවේ. ඒ සඳහා බොහෝවිට වෙන්වන්නේ මැයි සිට නොවැම්බර් පමණ දක්වා ඇති කාලසීමාවය.
දේශීය කර්මාන්තයක් ලෙස කුරැඳු වගාකිරීම එතරම් ලේසි පහසු කටයුත්තක්ද නොවේ. කුරැඳු වගාවේදී අක්කරයකට කුරැඳු පඳුරු තුන්දහස් පන්සියයක් පමණ වගාකරයි. කුරැඳු පැළයක් සිටවා එයින් පළමු අස්වැන්න ලබාගැනීමට අවුරැදු තුනක පමණ කාලයක්ද ගතවේ. වළවල් හෑරීමේ සිට පොහොර දැමීම, කුරැඳු කැපීම, කුරුඳු තැලීම ආදී සියලු කටයුතුවලට වැයවන්නේ මිනිස් ශ්‍රමයයි.
අද වෙද්දී මේ සඳහා පුහුණු ශ්‍රමය නොමැතිකමින් කුරුඳු වගාවට අත්ව ඇත්තේ විශාල හානියකි. මෙම කර්මාන්තය සඳහා අළුතින් නව පරපුර එකතුවීම ඉතා අඩුය.
කුරුඳු කැපීමට නියමිත කාලය පැමිණි විට මිනිස් ශ්‍රමය යොදාගනිමින් කුරුඳු දඬු කපනු ලැබේ. එයින් ප්‍රධාන කඳ සහ අතු වෙන්කිරීමක් සිදුවේ. කුරුඳු පොතු වෙන් කිරීමට ඒ සඳහාම වෙන්වූ කෙළවරෙහි තුඩක් ඇති රවුම් පිහියක් යොදාගනී. එයින් කුරුඳු පොත්ත වෙන්කෙරේ. මෙම කුඩා පොතුවලින් කුරුඳු දණ්ඩ පිරවීමක්ද සිදුවේ. බොහෝවිට මෙලෙස වෙන්කරන කුරුඳු දඬු පිටින්ම විදෙස් රටවල්වලට අපනයනය කිරීම සිදුවේ. කපාගත් කුරුඳු මඳ පවනේ වේලීමක් සිදුවේ. බොහෝවිට මෙය කුරුඳු කූරු ලෙස සාදා අවශ්‍ය පමණ දිගට පයිප්පයක් ලෙසින් රෝල් කර නිම කරයි.

කුරුඳු වගාවේදී කුරුඳු තෙල් නිෂ්පාදනයද කරනවා. කුරුඳු කපද්දී වැටෙන කුරුඳු කොළ වගාබිමෙන් ගොඩ ගසා රැගෙන එනවා. එය කුරුඳු කොළ රත්කරනු ලබන යන්ත්‍රයට දමා හුමාලය ආශ්රයෙන් රත්කරනවා. හුමාලයත් සමඟ එක්තරා බටයක් මඟින් තෙල් වාෂ්පය හා ජල වාෂ්පය පහළට රැගෙන එනවා. එය සිසිල්වීමෙන් ජලය ඉහළටත් කුරුඳු තෙල් යට යාමත් සිදුවෙනවා. එය පෙරා ගැනීමෙන් කුරුඳු තෙල් ලබාගැනීමට පුළුවනි...
මෙලෙස අදහස් දැක්වූයේ කුරුඳු වගා හිමි එම්.ඩී. සුදත් ප්‍රසන්න මහතාය. ඔහු මේ වනවිට තම කුරුඳු විදෙස් රටට යවන කුරුඳු වගා හිමියෙකි. අද වෙද්දී ඔහු අක්කර ගණනාවක කුරුඳු වගා කරයි.
සාමාන්‍යයෙන් දිනකට කුරුඳු කෝටු අනූවක් පමණ කෙනෙක් සාදනවා. තුන්දෙනෙක් එකතුවෙලා එන කණ්ඩායමක් විදිහට එකතුවෙලා කුරුඳු තලන වෙලාවලුත් තියෙනවා. හැබැයි දැන් එකම ප්රශ්නය වෙලා තියෙන්නේ මේ සඳහා මිනිස් ශ්‍රමය හරි අඩු වීමයි. ගොඩක් වෙලාවට කුරුඳු වගාව සඳහා තියෙන්නේ යම්කිසි කාලයක් නිසා මේ සඳහා යොමුවන අය දැන් හරි අඩුයි... අද වෙද්දී මෙම කුරුඳු කිලෝවක් රුපියල් එක්දාස් අටසීයක් පමණ වෙනවා. කිලෝ එකකට මෙම කුරුඳු කෝටු හතක් පමණ යනවා. දවසට සේවකයන් කුරුඳු තලාදෙනු ලබන කිලෝවලින් තුනෙන් එකක් අයත් වන්නේ කුරැඳු සේවකයන්ටයි.
සුදත් ප්‍රසන්න මහතා වැඩිදුරටත් පැවසීය.
තවමත් කුරුඳු වගාව සිදුකරනු ලබන්නේ පැරැණි ක්‍රම අනුවය. ඒ සඳහා නව යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදන වීමක් වී නොමැත. බොහෝවිට කුරුඳු වගාව සිදුකරනු ලබන්නේ පරම්පරාවට අනුවය. පුහුණු ශ්‍රමිකයන් නොමැතිකමින් විශාල ගැටලුවකට මැදිව සිටින ඇති ඇතැම් කුරුඳු හිමියෝ වර්තමානයේත් කුරුඳු වගාවෙන් ඇත්ව වෙනත් වගාවන් සඳහා තම වගාබිම් යොදාගෙනද සිටිති. නමුත් අද කුරුඳු මිල පවතින්නේ ඉතා ඉහළ මට්ටමකය. විශේෂයෙන් විදෙස් රටවල්වලටත් ශ්‍රී ලාංකික කුරුඳු නිෂ්පාදනයට වැඩි ඉල්ලුමක්ද ඇත. නමුත් ඉල්ලුමට අනුව කුරුඳු සැපයීමට නොහැකිවීම අවාසනාවකි.
බොහෝ කුරුඳු වගාකරුවෝ දෙශීය වෙළෙඳපොළ වෙනුවට විදේශීය වෙළෙඳපොළ වෙනුවෙන් වැඩි නැඹුරුතාවයක් දක්වති. එයට ප්‍රධානතම හේතුව වන්නේ දේශීය වෙළෙඳපොළට වඩා විදේශීය වෙළෙඳපොළේදී අපගේ කුරුඳු වෙනුවෙන් ඉහළම මිලක් ලැබීමය.
මෑතකාලයේදී කුරුඳු තේ ලෙසින් කොලෙස්ටරෝල් ඇතුළු රෝගීන්ට ඖෂධීය පානයක් නිර්දේශ කිරීම මගින් කුරැඳුවලට අලුත් වටිනාකමක් ලැබිණි.
කුරුඳු වගාබිම සැකසීමේදී අක්කරයක් උදලු ගෑමට දිනකට රුපියල් දෙදහක පමණ මුදලක් කෙනකු වෙනුවෙන් වැයවේ. බොහෝවිට අක්කරයක් උදළු ගෑමට රුපියල් පන්දහසක් හයදහසක් පමණ වැය කිරීමට සිදුවෙයි.
අද වෙද්දී කුරුඳු වගාවන් සඳහා අක්කර පනහක්, අක්කර සියයක් පමණ වගාබිම් ඇති කුරුඳු හිමියන් ඇති අතර ඔවුහුද මෙම මිනිස් ශ්‍රමය අඩුකමින් විශාල ගැටලුවකට මුහුණ පා සිටිති.
කුරුඳු තෙල් වෙනුවෙන් ලංකාවේ හොඳ ඉල්ලුමක් නොමැති වුවත් ඒ සඳහා විදේශීය වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක් පවතී. ඇතැම් රටවල්වල අපගේ කුරුඳු සහ පිටරටවල වෙනත් කුරැඳු හා කලවම්කොට විදෙස් වෙළෙඳපොළට මුදාහරී. එවිට බොහෝවිට බාලවර්ගයේ කුරුඳු විදේශීය වෙළෙඳ පොළට ලැබේ.
විදේශීය වෙළෙඳපොළෙහි අපගේ කුරුඳුවලට ඉතා සුවිශේෂී තැනක් හිමිවන අතර විශේෂයෙන් බටහිර රටවල වැඩියෙන් බොහෝ ප්‍රියතාවයක් දක්වති. කුරුඳු තෙල් බොහෝවිට යොදාගනු ලබන්නේ දන්තාලේප සඳහාය. එමෙන්ම ඖෂධීය ආලේපන සඳහාද කුරැඳු තෙල් යොදාගනී. නමුත් දේශීය වෙළෙඳපොළෙහි කුරුඳු තෙලට ඉහළ ඉල්ලුමක් නොමැත. ඉතා හොඳ ශ්‍රම සැපයුමක් හිමේ නම් කුරුඳු වගාව මීටත් වඩා සාර්ථක ප්‍රතිඵලදායක ඉහළ ආදායමක් ලැබිය හැකි වගාවක් වීමට බොහෝ ඉඩකඩ ඇත.
දිශානි ජයමාලි කරැණාරත්න
සේයාරූ I චන්න කස්සප කෝරළේආරච්චි