2017 ජනවාරි 07 වන සෙනසුරාදා

වැලි මැස්සා ඇන්නොත් හාන්සියි

 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 4968

 

ලීෂ්මනයිසීස් නම් කියූ පමණින් බොහෝ දෙනකුට නුහුරැ නුපුරුදු රෝගි තත්ත්වයක් වුවද එය අපේ රටේ පැතිර පවතින්නේ දැනට වසර ගණනාවක පටන්ය. රටවල් 98කට පමණ මෙම රෝගය පැතිරී පවතින අතර දළ වශයෙන් කළ ගණන් බැලීම්වලට අනුව රෝගය නිසාම ලෝකය පුරා වර්ෂයකට මිලියන 14කට වැඩි රෝගීන් සංඛ්‍යාවක් ආසාදිත තත්ත්වයට පත්ව ඇත. එසේම මිලියන දෙකකට ආසන්න සංඛ්‍යාවක් අලුතින් රෝගයට ගොදුරු වන ආකාරයද දැකගත හැකිය.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් 2008 වර්ෂය අවසානයේදී එය දැනුම්දිය යුතු රෝගයක් බවට ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවේ මෙම රෝගය වැඩියෙන් ව්‍යාප්ත වීම සලකා බලාය.

ලීෂ්මනයිසීස් රෝගය ඒක සෛලික ලීෂ්මේනියා නැමැති පරපෝෂිත විශේෂ මගින් බෝවන චර්ම රෝගයකි. මෙහි රෝග වාහකයා වන්නේ වැලි මැස්සා නම් මදුරුවකුට සමානකම් දක්වන ඉතා කුඩා සත්ත්වයෙකි. රෝග වාහක වැලි මැස්සා ශාක යුෂ උරාබොන සත්ත්වයකු වන අතර කොඳු ඇට පෙළ සහිත සතුන්ගේ රුධිරය උරාබොන්නේ උගේ බිත්තර පරිණත කර ගැනීම සඳහායි. ලීෂ්මේනියා නම් පරපෝෂිත විශේෂ මිනිසා, බල්ලා, ගවයා හා වැලි මැස්සා තුළ තම ජීවන චක්‍රයේ අවධි දෙක ගත කරන අතර යම් පුද්ගලයකු හට දෂ්ඨ කරන අවස්ථාවේදී වැලි මැස්සාගේ සිරුරේ පරපෝෂිතයකු අන්තර්ගත වී සිටියේ නම් එම පරපෝෂිතයා රුධිරය හරහා දෂ්ඨයට ලක්වූ පුද්ගලයාගේ සිරුරට ඇතුළුවේ. අසාත්මිකතාවය හටගන්නේ ඉන් අනතුරුවය.

මෙම රෝගය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීටයේ පරපෝෂ විද්‍යා දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී ආචාර්ය ඩබ්ලිව්.ඩී.එන්.ජේ වික්‍රමසිංහ.

ඇත්තටම මෙම ලීෂ්මනසිස් කියන රෝගය ලංකාවේ මුල්වරට වාර්තා වූයේ 1992 දී පමණ. ඒ දිනවල සැකකළේ මෙය විදේශ රටකින් පැමිණි රෝගයක් ලෙසටයි. නමුත් එන්න එන්නම රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ පසුව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් තීරණය කළා මෙම රෝගය ශ්‍රී ලංකාවට ආවේණික රෝගයක් බවට. ඒ වගේම බෝවෙන රෝගයක් ලෙසටත් හඳුනාගෙන තියෙනවා.

ලීෂ්මනයිසිස් රෝගය බෝවන්නේ වැලිමැස්සා (Sand fly) කියන කෘමියාගෙන්. වැලි මැස්සාගේ ගැහැනු සතා එයාගේ ප්‍රජනන අවශ්‍යතාවයන් සඳහා මදුරැවාගේ ගැහැනු සතා වගේම ලේ උරාබීම සිදුකරනවා. වැලිමැස්සා ලේ උරාබොද්දී තමයි උගේ ඇඟේ ඉන්න පරපෝෂිතයා මිනිස්සුන්ට ඇතුළු වෙන්නේ. රෝගය පැතිරෙන්න නම් පරපෝෂිතයකු ඉන්න ගැහැනු මදුරැවෙක්ම දෂ්ඨ කළ යුතුයි.

මෙම රෝගයේ ආකාර තුනක් තියෙනවා චර්මගත ලීෂ්මනයිසීස්, චර්ම ශ්ලේෂ්මල පටල ලීෂ්මනයිසීස් හා අභ්‍යන්තර ඉන්ද්‍රීය ආසාදිත ලීෂ්මනයිසීස් ලෙස. ඒ අතරිනුත් ලෝකයේ වැඩිපුරම පවතින ආකාරය තමයි සමේ තුවාල ඇතිවීම. 

ශ්ලේෂ්මල පටල ලීෂ්මනයිසීස් ඇතිවන්නේ මුඛය ආශ්‍රිත පටකවලයි. මින් ඉතාම භයානක ආකාරය තමයි අභ්‍යන්තර ඉන්ද්‍රීය ආසාදිත ලීෂ්මනයිසීස්. එහිදී සිරුරේ අභ්‍යන්තර අවයවවලට හානි සිදුවෙනවා. ලංකාවේ මේ තත්ත්වය දකින්නට ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. එනම් සියයට 99.99 වැනි ප්‍රතිශතයකින් පසුගිය දශකයේ රෝගීන් 6 දෙනෙක් වැනි ප්‍රමාණයකුයි වාර්තා වෙලා තියෙන්නේ. ඉන්දියාව, පාකිස්තානය හා බංග්ලාදේශය වැනි රටවල වැඩි වශයෙන්ම වාර්තා වෙන්නේ භයානක රෝගී තත්ත්වයයි. මේ නිසාම එම රටවල මරණ රැසක් සිදුවී ඇති බවටද වාර්තා වෙනවා.
සාමාන්‍යයෙන් වැලි මැස්සා දෂ්ඨ කරන්නේ සිරුරේ පිටතට නිරාවරණය වූ කොටස්වලයි. මුහුණ, දෑත්, දෙපා මෙලෙස නිතරම දෂ්ඨණයට ලක්වන අතර පිරිමින්ගේ පපුව ප්‍රදේශයද දෂ්ට කිරීම් සිදුවෙනවා. ඒ ඔවුන් වැඩකරන අවස්ථාවල පපුව ප්‍රදේශය නිරාවරණය කරගෙන සිටින නිසායි.‍

බොහෝ දෙනෙකු මෙම රෝගී තත්ත්වය එතරම් දුරට ගණන් ගන්නේ නෑ. එයට හේතුව තමයි මෙම රෝගය නිසා සිරුරට වේදනවාක් ඇති නොවීම. තුවාල හැදුණත් ඒවා ඉක්මණටම වේලිලා යන්න පුළුවන්. මේ නොසලකා හැරීම් නිසා රෝගය එක තැනකින් යට ගිහින් තව තැනකින් මතුවෙන්නත් පුළුවන්. ඒ නිසා එවැනි සැක සහිත සුව නොවන තුවාල ගොඩක් කල් තියෙනවා නම් ළඟම තියෙන රෝහලකට ගිහින් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සිදුකරන්නට ඕනෙ.

මෙම රෝගය පතුරුවන මැස්සන් විශේෂ කිහිපයක් සිටිනවා. ඒ අතරිනුත් වඩාත් ප්‍රචලිතම විශේෂය තමයි ෆ්ලීබොටොමස් ආජන්ටිපෙස් කියන විශේෂය. අපි හිතන විදිහට ඇතැම් ග්‍රාමීය ප්‍රදේශයන්හි හෝහපුටා කියා හඳුන්වන්නේද මේ මැස්සන් විශේෂයටයි. වැලි මැස්සා ප්‍රියකරන්නේ වියළි කාලගුණය සහිත තෙත පරිසරයට. කටු පඳුරු, වරිච්චි බිත්ති, ජලය ආශ්‍රිත ඉවුරු මොවුන්ගේ වාසස්ථාන වෙනවා. ඔවුන් ක්‍රියාත්මක වෙන්නේ රාත්‍රී කාලයේදීයි. නමුත් සෙබළුන්, හේන්වල වැඩකරන පිරිස් හා වතු එළිපෙහෙළි කරන පුද්ගලයන් දිවා කාලයේදීද මෙවැනි දෂ්ඨයන්වලට ලක්වීමට ඉඩකඩ තිබෙනවා.

බහුලවම හමුවන චර්මගත ලීෂ්මනයිසිස් ගත්විට එය මූලිකවම හටගන්නේ සමින් එසවුණු රතු පැහැති ලපයක් හා අනතුරුව ගැටිත්තක් ලෙස. කාලයත් සමග එය ක්‍රමයෙන් විශාල වී තුවාලයක් බවට පත්වේ. ප්‍රතිකාර නොගතහොත් ඉබේම සුවවී කල්ගත වනවිට අවලස්සන කැලැලක් ඇතිවේ. චර්ම ශ්ලේෂ්මල පටල ලීෂ්මනයිසීස් අවස්ථාවේ මුඛය හා නාසය ආශ්‍රිතව තුවාල ඉදිමුම් ඇතිවිය හැක. ප්‍රතිකාර නොකළහොත් අවලස්සන කැලැල් ඇතිවේ. අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට හානි වීමේදී උණ, උදරයේ අපහසු බව, බර අඩුවීම, කෑම අරුචිය, තෙහෙට්ටුව, අක්මාව ප්ලීහාව ඉදිමීම, වසා ගැටිති ඉදිමීම, වසා ගැටිති ඉදිමීම නිසා රුධිරය හිඟවීම වැනිරෝග ලක්ෂණද ඇතිවේ. මෙය මාරාන්තික වන්නේ මෙම තත්ත්වය උග්‍ර වූ විටය.
මේ වනවිට කරන ලද ගණන් බැලීම්වලට අනුව ලීෂ්මනයිසීස් රෝගයට ගොදුරුවූවෝ 2500ක් පමණ වන අතර තවත් විශාල පිරිසක් හඳුනා නොගත් රෝගීන් ලෙස සිටිනු ඇතැයිද අනුමාන කෙරේ. වැලි මැස්සා බෝවන ස්ථාන අනුව ඔවුන් බෝවීම පාලනය කිරීම වඩාත් අසීරු කාර්යයක් වන අතර රෝගයෙන් මිදීමට නම් කළ හැකි හොඳම දේ වන්නේ හැකිතාක් දුරට වැලි මැස්සාගේ දෂ්ඨණයෙන් වැළකී සිටීමයි. ඒ සඳහා එළිමහනේ වැඩකරන විට හැකිතාක් සිරුර ආවරණය කර ගැනීමත්, රාත්‍රී නින්දේදී මදුරු දැල් භාවිතයන් වැදගත්ය. 

හේමමාලා කුමාරි රාජකරුණා