2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා

බීච් වොලිබෝල් ජාතික පුහුණුකරු බිලිගත් හීන්දෙණිය මහා අනතුර

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 99

හීන්දෙණිය දුම්රිය හරස් මාර්ගය පසුකර යන්නට දඩගමුව - වටද්දල මාර්ගයේ පැමිණි මෝටර් රථයකි. ඒ වනවිටත් විදුලි සීනුව නාද වෙමින් ආලෝක සංඥා දැල්වෙමින් තිබුණි. එය දැක මොහොතක් රථය මාර්ගයේ නතරකර තබා සිටියදී කොළඹ දෙසින් ආ දුම්රියක් වේයන්ගොඩ දෙසට ධාවනය කෙරිණි.

තවදුරටත් අනතුරු අඟවන සංඥාව නිකුත් කෙරෙමින් තිබිණි. එසේ තිබියදී ආරක්ෂක ගේට්ටු රහිත හරස් මාර්ගය හරහා මෝටර් රථය ඉදිරියට දැම්මා පමණය. ද්විත්ව දුම්රිය මාර්ගයේ පළමු මාර්ගය මැදට රිය පැමිණෙනවාත් සමඟම අනුරාධපුරය සිට කොළඹ දෙසට වේගයෙන් ධාවනය වෙමින් තිබූ දුම්රිය ඉදිරියේ මහ හඬින් ගැටුණු රිය මීටර් කීපයක් ඈතට විසිවී අනෙක් දුම්රිය පාරට වැටී නැවතිණි.

“එදා උදේ 8.40ට විතර මම හීන්දෙණිය දුම්රිය හරස් පාර ළඟට ආවා. අනතුරු සංඥා බෙල් ලයිට් ක්‍රියාත්මක වෙලා තිබුණු නිසා මම යතුරුපැදිය නතර කරගෙන හිටියා. ඒ අතර ඉස්සරහින් ආපු කාර් එක දුම්රිය හරස් පාර ඔස්සේ ආවා.... ඒත් එක්කම කොළඹ පැත්තට ආපු කෝච්චියේ හැප්පිලා විසිවෙලා ගිහින් අනිත් රේල් පාර දිහාට වැටුණා...”

වේයන්ගොඩ හීන්දෙණිය දුම්රිය අනතුර සියැසින් දුටු පට්ටිගොඩ පදිංචි විමලරත්න මහතා එසේ පැවසීය.
මේ අතර අසල්වැසි නිවෙසක පදිංචි හර්ෂ පතිරාජ මහතා මෙසේ පැවසීය.

“එකපාරටම පාරේ ලොකු ශබ්දයක් ඇසුණා.... දුවගෙන ඇවිත් බලද්දි කාර් එකක් කෝච්චියේ හැප්පිලා තිබුණා. මම ඉක්මනට ගෙදර දුවලා ගිහින් මගේ වාහනය ගෙනත් තුවාලකරුවන් හතර දෙනෙක් වතුපිටිවල රෝහලට රැගෙන ගියා...”

මංගල උත්සවයකට සහභාගී වීම සඳහා සිවුදෙනකු රැගත් මෝටර් රථයක් මීගමුව දක්වා ධාවනය කරමින් සිටියදී දුම්රියේ ගැටී වූ අනතුරෙන් පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව සිටිති. තවත් අයෙක් තුවාල ලබා සිටියේය. තුවාලකරුවන් රෝහල් ගත කිරීමට රැගෙන යමින් තිබියදී කාන්තාවක් හා රියදුරු මියගොස් ඇති අතර අනෙක් කාන්තාව මියගොස් තිබුණේ රෝහල් ගත කිරීමෙන් පසුවය.

මෙහි රියැදුරු වශයෙන් කටයුතු කරමින් සිටියදී මියගොස් තිබුණේ ශ්‍රී ලංකාවේ වෙරළ වොලිබෝල් ජාතික පුහුණුකරු වශයෙන් කටයුතු කරමින් සිටි විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙක් වූ වික්‍රම ආරච්චිගේ ප්‍රසන්න උදය කුමාර මහතාය. ඔහු අනතුරු සිදුවූ 20 වැනිදාට පෙරදිනයේ මාතලේ රත්තොට නිවසින් පිටත්ව ගොස් තිබුණේ තම මිතුරකුට මංගල උත්සවයකට යාම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයාදීම සඳහාය.

ප්‍රසන්න උදයකුමාර මහතා වොලිබෝල් ක්‍රීඩාවේ දක්ෂයෙකි. ජාතික තරුණ සේවා සභාවේ ක්‍රීඩකයෙක් වශයෙන් සිටින අතරතුර ශ්‍රී ලංකා ගුවන් හමුදා වොලිබෝල් කණ්ඩායමට බැඳී අනතුරුව ජාතික කණ්ඩායමට සම්බන්ධ වී තිබුණේ එහි දක්ෂතා පෙන්වීමෙන් පසුවය. කාලයක් එහි ක්‍රීඩා කිරීමෙන් පසුව විදෙස් සංචාරවලට සහභාගි වී වෙරළ වොලිබෝල් ක්‍රීඩාව පිළිබඳව අධ්‍යයනය කර ලංකාවට පැමිණ වෙරළ වොලිබෝල් ක්‍රීඩාව හඳුන්වා දුන්නේය. ලංකාවේ වෙරළ වොලිබෝල් පුරෝගාමියා වශයෙන් සැළකෙන්නේ මොහුය. දෙදරු පියෙක් වූ උදයකුමාර මහතාගේ බිරිය කාංචනා මැණිකේ මහත්මිය මාතලේ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ගුරුවරියක වශයෙන් සේවය කරන්නීය. දරු දෙන්නා සමඟ හඬා වැළපෙන ඇය මෙසේ පවසන්නීය.

“යාළුවෙක් එක්ක මඟුල් ගෙදරක යනවා කියලයි කලින් දවසෙ හවස ගෙදරින් ගියේ. උදව්වක් ඉල්ලුවොත් එයා කාටවත් බෑ කියන්නේ නෑ.... මම නිදාගන්න කලින් එදා රෑ මහත්තයාට කෝල් කළා. ටික වෙලාවක් කතා කරලා මම නිදාගත්තා. පහුවදා උදේ ආරංචි වුණා මහත්තයාට කරදරයක්වෙලා කියලා.”

මේ ආකාරයට මෝටර් රථයක් දුම්රියක ගැටී සිදුවූ මාරක රිය අනතුරෙන් ජීවිත තුනක් අහිමි වෙද්දී ඊට පසුදින (21) පෙරවරුවේ තවත් දුම්රිය අනතුරක් වාර්තා වූයේ හුණුපිටිය දුම්රිය ස්ථානයට ආසන්න හරස් මාර්ගයේදීය. එහිදී දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය වූ කන්ටේනර් රථයක් දුම්රියේ ගැටීමෙන් අනතුර සිදුව තිබුණි. අනතුරින් ලොරි රථ දෙකක් අලාභහානියට පත්ව තිබූ අතර එක් ලොරියක් බරපතළ ලෙස විනාශ වී තිබුණි.

පෙරවරු 6.10ට පමණ දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටුව වැසී තිබූ අතර ඒ අවස්ථාවේ දුම්රිය 3ක් මාර්ගයේ ගමන්කර තිබුණි. දුම්රිය ගේට්ටුව විවෘත වීමත් සමඟ අසල නතර කර තිබූ ලොරි රථය ඉදිරියට ධාවනය කර තිබේ. එහෙත් ඉදිරියෙන් වූ මාර්ගය අවහිර වීම නිසා ලොරි රථය දුම්රිය මඟ හරහා නතර විය. ඒ අවස්ථාවේ පැමිණි දුම්රියක් ලොරි රථයේ ගැටීම නිසා අනතුර සිදුව තිබුණි. දුම්රිය එනු දුටු රියැදුරා ලොරියෙන් පැනගැනීම නිසා ඔහුගේ ජීවිතය ගැලවී තිබේ.

මේ අනතුර නිසා මහනුවර, බදුල්ල, යාපනය, මඩකලපුව, පුත්තලම, හලාවත ඇතුළු දුම්රිය රැසක් ප්‍රමාද වී ධාවනය කිරීමට සිදුවිය. ඒ හේතුවෙන් මගීන් පිරිසක් අපහසුතාවට පත්වී සිටියහ. මේ ආකාරයට ඉකුත් දින කිහිපයේ මාර්ග සංඥා අක්‍රිය වීම, දුම්රිය පීලි පැනීම, දුම්රිය මගට ගස් කඩා වැටීම වැනි සිදුවීම් දුම්රිය ගමන් රැසක් අඩාල කර තිබිණි.
21 වැනිදා පෙරවරුවේ බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රිය හැටන් සහ රොසැල්ල දුම්රිය ස්ථාන අතරදී පීලි පැනීම නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමාකොට තිබුණි. මේ අතර කැලණිවැලි දුම්රිය මාර්ගයේ දෙමටගොඩ ප්‍රදේශයේදී ගසක් කඩා වැටීම නිසා දුම්රිය ධාවනයට බාධා පැමිණ තිබුණි.

මේ අනුව පසුගිය දෙසතිය පුරා දුම්රිය මාර්ගයේ අනතුරු රැසක් සිදුවිය. ගතවූ මාස 10 තුළ දුම්රියේ සහ මාර්ගයේ සෙල්ෆි ඡායාරූප ගැනීමට යාමෙන් පුද්ගලයන් 24 දෙනකු ජීවිතක්ෂයට පත්ව සිටින අතර දුම්රිය හරස් මාර්ග රිය අනතුරු 61කින් ජීවිත හානි 348ක් වාර්තා වී ඇත. දුම්රියෙන් ඇදවැටී සිදුවූ මරණ 53ක් සහ දුම්රිය මගෙහි ගමන් කිරීම නිසා අනතුරු 342 සිදුවී මරණ 194ක් වාර්තා වී තුවාල ලැබූ පිරිස 151කි.

මෙසේ සිදුවන මරණ හා අනතුරු අවම කිරීම මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති ආචාර්ය සිසිර කෝදාගොඩ මහතාගේ සංකල්පයක් අනුව දුම්රිය හරස් මාර්ග ආශ්‍රිතව මහජනතාව දැනුම්වත් කරන පුවරු සවි කිරීමේ ව්‍යාපෘතියක් පසුගිය (22) බදාදා ආරම්භ කෙරුණේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර