2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා

සත්සරගේ අමුතු සිතුවම්!

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 287

“මේ චිත්‍රවල තියෙන්නෙ මගේ ජීවිතය සම්බන්ධ දේවල්. බොහෝ චිත්‍රවල සංකේතයක් ලෙස රෝස මල යොදාගෙන ඇත්තේ සුන්දරත්වය කියන අර්ථයෙන්. ඒ වගේම කලා ඉතිහාසයේදී කළු බළලාගෙන් රාගය කියැවෙනවා. මම සුදු බළලා යොදාගන්නේ විරාගය කියන අදහසින්.” අපට එලෙස පැවසුවේ ප්‍රවීණ චිත්‍ර ශිල්පී දෘෂ්‍ය කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සත්සර ඉලංගසිංහය. ඔහුගේ ආත්ම චරිතකථනය (Autobiography) නම් චිත්‍ර ප්‍රදර්ශනය පසුගියදා කොළඹ 7 ජේ.ඒ.ඩී. පෙරේරා කලාගාරයේදී පැවැත්විණි.

චිත්‍ර ශිල්පියා තම තෙල් සායම් චිත්‍ර කැන්වසය මත ඇඳීමේදී ග්‍රීක මිත්‍යා ප්‍රබන්ධ, පුරාණෝක්තිවල අංග ප්‍රස්තූත කරගෙන තිබේ. පශ්චාත් නව්‍යවාදී දෘෂ්‍ය කලා ප්‍රවණතා වන නව ප්‍රකාශනවාදය, නව සංකල්පමය කලාව, නතුකර ගැනීමේ කලාව ආදී ප්‍රවණතාවල ආභාෂය චිත්‍ර ශිල්පියාට ලැබී ඇත.

“මගේ ආත්ම චරිත කථනය තුළින් අභිමුඛ කර ඇති අතිශය පෞද්ගලික නිර්මාණ හුදු විශ්ව සාධාරණ සංවේදනා නිසා ඒවා පොදු සමාජයට විඳගත හැකියි. මේ චිත්‍ර කලාව ශ්‍රී ලාංකික පශ්චාත් යුද සමය තුළ උඩුගං බලා තරණය කරන මනුෂ්‍යත්වයේ සංවේදනාව පවසනවා” ඔහු වැඩිදුරටත් පවසයි.

සත්සරගේ ප්‍රදර්ශනයට චිත්‍ර 12ක් ඇතුළත්ය. සෑම චිත්‍රයක්ම ඔහුගේ පින්සල හැසිරවීමේ ප්‍රතිභාව අපට පැහැදිලි කරදෙයි. රෝසමල් සහ සුදු පැහැ බළලා සිත්තමෙන් පෙනෙන්නේ රතු රෝසමල් කන්දක් මත සුව පහසුවට හිඳිමින් එක් අතක් ඉදිරියට යොදාගෙන ඇස් ලොකු කර බලා සිටින බළලෙකි. බළලා කොයි මොහොතක හෝ ඉදිරියේ තිබෙන ගොදුරකට පනින්න ඉඩ ඇති බවත් පෙනේ. එතෙක් ඔහු කුරුමාණම් අල්ලනවා පෙනේ.

ද්විත්ව චිත්‍රයෙන් චිත්‍ර ශිල්පියා තමන්ම සිත්තම් කර සිටී. ඔහුගේ හිස මත බළලෙකි. හිස දෙපස රෝසමල්ය. බොහෝවිට අපට අප හඳුනාගැනීමද දුෂ්කරය. ඒ මිනිස් සිත ගූඪ ස්වභාවයක් ගන්නා හෙයිනි.

ප්‍රභවය චිත්‍රයෙන් මවගේ පෙකණිවැල හා දරුවාගේ සංස්කෘතිමය බැඳීම ගැන අදහසක් ලබාදේ. බොහෝවිට අප තුළ තිබෙන සංස්කෘතිකමය බැඳීම නිසා සමාජයේ සීමාවන්ට යටත්වීමට සිදුව ඇත. මෙහි දරුවා සිටින්නේ රෝසමල් පිරිවරාගත් ගැබකය. එය දරුවාට සුවපහසුවකි.

“ගැබ්බර කාන්තාව නම් චිත්‍රය ගැන ශිල්පියා මෙලෙස පවසයි. “ඇය බලාපොරොත්තු වන මාතෘත්වය වෙනුවෙන් නග්න පියයුරු පෙනී සිටී. දිව්‍යමය දරැවන් සිනිඳු පට සේලයක් ඉහළට ඔසවා ඇයට ආවරණය සලසයි. හාත්පස දිවෙන පලා පැහැය පොළොව හා ප්‍රභවය පිළිබඳ අදහසක් ජනිත කරයි.”

බැකස් දියණිය, හැම්ලොක් බඳුන, මැඩුසා දියණිය, නිරපේක්ෂා, රන්වන් පැහැ දිව්‍යමය සේල, තටු සහිත ගැබ්බර කාන්තාව, පෑන් සහ සුදු පැහැ බළලා, සුන්දරත්වයේ හා විරාගිකත්වයේ මරණය යන චිත්‍රද මෙම ප්‍රදර්ශනයට ඇතුළත්ව තිබුණි. ශිල්පියාට ග්‍රීක කලා ඉතිහාසයෙන් ලැබුණු ආභාෂය ද මෙම චිත්‍රවලින් පෙන්නුම් කරන අතර එය තම අත්දැකීම් හා ගලපා ගැනීමේ හැකියාව ඔහු තුළ මොනවට ඇති බව පෙනේ.

සත්සර භාවිත කර තිබූ රතු, සුදු, කහ, කොළ, නිල් ආදී වර්ණ මනසට සෞම්‍යයය. ඔහුගේ තේමාව ප්‍රබලව ඉස්මතු කිරීමට එම වර්ණ විශාල දායකත්වයක් දක්වා තිබුණි.

 ප්‍රේක්ෂක