2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා

ලැගගෙන හිටියොත් හැදෙන ලෙඩේ

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 700

ගුද භ්‍රංශය (Recetal Prolapse) 

ආයුර්වේදයේ “ගුද භ්‍රංශ‍ෙ” යනුවෙන් රෝග තත්ත්වයක් සඳහන් වේ. මෙය බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව හඳුන්වනු ලබන්නේ Recetal Prolapse නමිනි. ගුද මාර්ගය ගුද විවරය තුළින් පිටතට නෙරා ඒම මෙම රෝග තත්ත්වයේ ප්‍රධාන රෝග ලක්ෂණය වේ. ආයුර්වේදයට අනුව “භ්‍රංශය” යනුවෙන් හඳුන්වනු ලබන්නේ පහත්වීම නැතහොත් තමන්ගේ ස්ථානයෙන් පිටතට ඒමයි.

බොහෝවිට මෙම රෝගයෙන් පෙළෙන්නෝ මෙය අර්ශස් රෝගය යැයි සිතා ඒ වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගනිති. සමහරු මේ පිළිබඳව කිසිවකුට කීමට මැලිකමක් දක්වති. අඩුම තරමේ වෛද්‍යවරයකු මුණගැසී රෝගය සඳහා ප්‍රතිකාර ලබාගැනීමට උත්සුක නොවෙති. මේ නිසා මෙය සමාජය තුළ කතාබහට ලක්නොවන, නමුත් බොහෝ දෙනා තුළ පවතින රෝග තත්ත්වයන් ලෙස හැඳින්විය හැක.

නමුත් මේ රෝගය පිළිබඳව නිසි අවබෝධය සහ අවශ්‍ය ප්‍රතිකාර නියමාකාරයෙන් ගැනීම තුළින් රෝගය සුවකර ගැනීමට පුළුවනි. එමගින් ඒ හරහා වෙනත් රෝග ඇතිවීමට ඇති හැකියාවද පාලනය කර ගැනීමට පුළුවනි.

මෙය නිවැරදිව රෝග පරීක්ෂාවෙන් පසුව නිවැරදි ලෙස රෝගය හඳුනා ගැනීමට පුළුවනි. එම රෝගය පිළිබඳව තීරණය ගත හැක්කේ සුදුසුකම්ලත් වෛද්‍යවරයකුට පමණි. ඇතැමුන් මෙය අර්ශස් රෝග තත්ත්වයක් යැයි වැරදි වැටහීමක් ඇතිකොට ගොඩ වෙදකම් කිරීමට උත්සහ ගනිති. ඇතැමුන් තවත් අර්ශස් රෝගියකුට ලබාදුන් ප්‍රතිකාර වෛද්‍ය නියමයකින් තොරව ලබාගනී. මෙය කිසිසේත්ම නොකළ යුතු ක්‍රියාවකි.

රෝගයේ ප්‍රධාන රෝග තත්ත්වය වන්නේ ගුදය පහත්වීමය. එයටද එක් එක් අවස්ථාවන් ඇත. රෝග තත්ත්වයේ පැවතීම අනුව රෝගයට ප්‍රතිකාර ලබාදීමද අවස්ථානුකූලව වෙනස් වේ. මෙම රෝගයේදී එවැනි අවස්ථාවන් දෙකකි.

1. පූර්ණ ගුද භ්‍රංශය (Complate Prolapse)

2. අපූර්ණ ගුද භ්‍රංශය (Uncomplate Prolapse)

පූර්ණ ගුද භ්‍රංශය තත්ත්වයේදී සම්පූර්ණයෙන්ම ගුදය පිටතට පැමිණේ. එහිදී අතින් ඇතුළට කළද එය නොරුඳී නැවත පිටතට පැමිණේ. නමුත් අපූර්ණ ගුද භ්‍රංශයේදී එය සම්පූර්ණයෙන්ම පිටතට ඒමක් සිදු නොවේ.

මෙම රෝගය ඇතිවීමට හේතු:-

• ශරීරය කෙට්ටු දුර්වල පුද්ගලයන්ට ගුද භ්‍රංශය ඇතිවීමේ ප්‍රවණතාවය වැඩිය. එයට හේතුව වන්නේ ඔවුන්ගේ මාංශ පේශිවල ශක්තිමත්භාවය අඩුවීමය.

• මළබද්ධය අතීසාරය වැනි රෝග තත්ත්වයන් ඇති අය.

• දීර්ඝකාලීනව ඇති කැස්ස. මෙවැනි අවස්ථාවලදී උදරයේ අභ්‍යන්තර පීඩනය වැඩිවේ. එවැනි තත්ත්වය දීර්ඝකාලීනව ඇතිවිට ගුදභ්‍රංශය වැනි රෝග තත්ත්වයන් ඇතිවිය හැක.

• මළබද්ධය වැනි තත්ත්වයන් සඳහා වක්‍රාකාරව අපි ගනු ලබන ආහාරපානද සම්බන්ධ වේ. මළබද්ධය වැනි රෝග තත්ත්වයන් ඇති රෝගීන් නිතරම තැටමීම වැනි අවස්ථාවලදී මෙවැනි තත්ත්වයන් ඇතිවිය හැක.

• අර්ශස් වැනි රෝග සඳහා කරනු ලබන ශල්‍යකර්ම හේතුවෙන්ද පසුකාලීනව මෙවැනි රෝගයන් ඇතිවිය හැක. අවට මාංශපේශිවල ඇතිවන දුර්වලතා නිසා මෙය ඇතිවේ.

• දරු ප්‍රසූතිවලදී නැවත නැවත උපන් අනතුරු (Birthinguries) වලට භාජනය වූ විටද පසුකාලීනව වයසත් සමඟ මෙම රෝග තත්ත්වය ඇතිවිය හැක.

• එමෙන්ම සංඛ්‍යාවක් බිහිකළ කාන්තාවන් අතරද මෙම රෝග තත්ත්වය බහුලව දැකගත හැකිය.

• වැඩිවශයෙන් දුම්පානයට ඇබ්බැහි වූවන්ගේ මාංශපේශීන් දුර්වල වේ. එබැවින් ඔවුන්ද මෙම රෝගයට ගොදුරුවීමේ අවදානම වැඩිය.

• මෙම රෝගය සඳහා වයස් සීමාවන් තීරණය කිරීමට නොහැක. කුඩා දරුවකුට වුවද පෝෂණ ඌනතාවය හේතුවෙන් මෙම රෝග තත්ත්වය ඇති විය හැක. නමුත් වයස්ගත වීමත් සමඟ මෙම රෝග තත්ත්වය ඇතිවීමේ හැකියාවන් ඇත.

ගුද භ්‍රංශය රෝගයේ රෝග ලක්ෂණ

• නිතරම මළ සමඟ රුධිරය පිටවීම.

• මළ පිටවීම දරා ගැනීමට නොහැකි වීම.

• අධික වේදනාව.

• යට ඇඳුම් ස්‍රාවයකින් තෙත්වීම.

• නිතරම වාඩි වී සිටීමෙන් ඒ අවට ඝර්ෂණයට ලක්වීමෙන් සීරීම් ඇතිවීම. එමඟින් බැක්ටීරියා ආසාදන වීම.

• ඉදිමීම.

• මෙම තත්ත්වයන් නොසලකා හැරීමෙන් බැක්ටීරියා ආසාදනය වී බරපතළ රෝග අවස්ථාවන් ඇතිවීමටද පුළුවනි.

මේ සඳහා කළයුතු ප්‍රතිකාර

• මළබද්ධය, අතීසාරය වැනි රෝග තත්ත්වයන් ඇතිවිට ඒ පිළිබඳව සැලකිලිමත් වී නිසි ප්‍රතිකාර එවැනි රෝග සඳහා ලබාගන්න.

• දිගු වේලාවක් එක තැන හිඳ සිටීමෙන් වළකින්න.

• පුළුවන් තරමින් බර එසවීම සීමා කරන්න.

• දුම්පානයෙන් වළකින්න.

• වැඩිපුර ජලය පානය කරන්න.

• තන්තු සහිත ආහාර ඔබේ ආහාර වේලට වැඩිපුර එක්කර ගන්න.

• ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මේ සඳහා අභ්‍යන්තර සහ බාහිර ප්‍රතිකාරවලින් සමන්විතය. රෝගියාගේ රෝග අවස්ථාවන්ට අනුව වෛද්‍යවරයා විසින් ප්‍රතිකාරය තීරණය කෙරේ.

• ගුද භ්‍රංශය යනු භයානක රෝග තත්ත්වයන් නොවූවද එම රෝගය නොසලකා හැරීමෙන් අවශ්‍ය ප්‍රතිකාර නොගැනීමෙන් අවදානමක් ඇතිවිය හැක. මේ සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව සාර්ථක ප්‍රතිකාර ඇත.

ආයුර්වේද වෛද්‍ය
කුමුදුනී ද සිල්වා
සෙත්සුව ආයුර්වේද රෝහල