මළපහ කරන විට ඇතිවන තදබල වේදනාව සහ රුධිරය පිටවීමේ රෝග ලක්ෂණ ඇති විටදී බොහෝ දෙනකු සලකන්නේ එය අර්ශස් රෝග තත්ත්වයක් ලෙසිනි. නමුත් ගුද මාර්ගය ආශ්‍රිතව ඇතිවන සියලුම රෝග අර්ශස් රෝග තත්ත්වයන් ද නොවේ. ස්ත්‍රී පුරුෂ, වයස භේදයකින් තොරව ඇතැම් රෝගීන්ගේ ගුද විවරය පැලීම් තත්ත්වයක් ඇති වේ. අධික වේදනාකාරී තත්ත්වයක් ඇතිවන මෙම රෝගය ආයුර්වේදයේ සඳහන් වන්නේ “පරිකර්ටිතා” නමිනි. එය බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව හඳුන්වනු ලබන්නේ Anal fissures නමිනි.
රෝගයට හේතු
පරිකර්ටිතා රෝගයට ප්‍රධාන හේතුව වනුයේ මළබද්ධයයි. අපහසුවෙන් මළ පිටකරද්දී ගුද මාර්ගයේ ඇති පටක ඉරීමකට පත් වේ. මළ පිටකිරීමේදී ගුද විවරයේ එම ඇතිවන පැලීම් හේතුවෙන් තදබල වේදනාව සහ රුධිරය පිටවීම වැනි තත්ත්වයක් ද ඇති වේ.
ගුද මාර්ගයෙන් රුධිරය පිටවීම අර්ශස් රෝග ලක්ෂණයක් වුවද පරිකර්ටිතා රෝගය අර්ශස් රෝගයට සම්බන්ධතාවයක් නොමැත.
මහලු වීමත් සමඟ මෙම රෝගය බහුලව දැකිය හැකි අතර ගුද ප්‍රදේශයට රුධිරය සැපයීම අඩාල වීමෙන් ඒ ආශ්‍රිත මාංශපේෂීන්වල ශක්තිමත් බව හීනවීමෙන් මෙම තත්ත්වය ඇතිවිය හැකිය.
නමුත් මහලු පුද්ගලයන්ට පමණක් නොව, තරුණ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මෙම රෝගී තත්ත්වය ඇතිවිය හැකි බවත් සැලකිය යුතුය.
දිගුකාලීනව අතීසාර තත්ත්වයක් ඇති අයට ද පරිකර්ටිතා රෝග තත්ත්වය ඇතිවීමේ අවදානම වැඩිවන අතර එවැනි රෝගීන් මේ පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ.
කාන්තාවන්ට තම දරු ප්‍රසූතියකදී මෙවැනි රෝග ඇතිවීමේ ප්‍රවණතාවය වැඩිය.
මීට අමතරව ක්ෂය රෝගය, පිළිකාමය තත්ත්වයන්, ප්‍රතිශක්තීකරණ ඌනතා රෝග, ලිංගික සම්ප්‍රේෂණය නිසා ඇතිවන හර්පීස් වැනි රෝග තත්ත්වයන්වලදීද පරිකර්ටිතා රෝගය ඇතිවිය හැක.
පරිකර්ටිතා රෝග ලක්ෂණ
මළ පිටකිරීමේදී සහ මළ පිටකිරීමෙන් පසුව ඇතිවන ඉතාම තදබල වේදනාව සහ දැවිල්ල
මළ සමඟ රුධිරය පිටවීම
මළ පිටකිරීමෙන් පසුව බිංදු ලෙසින් රුධිරය පිටවීම
මෙවැනි රෝගීන් බොහොමයකට මළබද්ධය ඇති වේ. මළබද්ධය ඇති රෝගීන් මළ පිටකිරීමේදී ඇතිවන වේදනාව හේතුවෙන් එවැනි රෝගීන් මළ පිටනොකර ඉඳීමට පෙළඹේ. එමගින් ගුද මාර්ගය තුළ මළ එක්රැස් වීමෙන් එම මළද්‍රව්‍ය තුළින් ජලය ශරීරයට අවශෝෂණය වීම තවදුරටත් සිදු වේ. එමගින් මළ තවදුරටත් ඝන බවට, වියළි බවට පත් වී මෙම රෝග තත්ත්වය දරුණු තත්ත්වයට පත්වීමේ ප්‍රවණතාවය වැඩි වේ.
පරිකර්ටිතා රෝගයට ප්‍රතිකාර
මෙම රෝගය ඇති වූ විට සතියකින් දෙකකින් මෙය සුව වීමට ඇති හැකියාව වැඩිය.
නමුත් ඇතැම් රෝගීන්ට මෙම තත්ත්වය කාලයක් තිස්සේම දක්නට ලැබෙන අතර ඒ සඳහා ප්‍රතිකාර ගැනීම ඉතා වැදගත් වේ.
ගුද මාර්ගයේ පැලීමක් ඇති විටදී දවසින් දවස මළ පිටකිරීමේදී මෙම පැලීම් අලුත් වන අතර සුවවීමටද කල්ගත වේ. මේ නිසා මේ පිළිබඳව විමසිලිමත් වීම ඉතා වැදගත් වේ.
දිනපතා හොඳින් අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කර මළබද්ධය වළක්වා ගන්න.
කෙඳි සහිත තන්තු ආහාර, පලා වර්ග, එළවළු, පළතුරු වැඩිපුර ආහාරයට එක්කර ගන්න.
අන්නාසි, අච්චාරු, දෙල්, තක්කාලි, කකුළුවන්, ඉස්සන්, බලමාළු වැනි ඌෂ්ණාධික ආහාර මේ දිනවල සීමා කරන්න.
මානසික ආතතිය හා මානසික විවේකය ලබාගැනීම ඉතා වැදගත් වේ.
මෙවැනි තත්ත්වයන්වලදී රෝගය පවතින ස්ථානයත් සමඟ බැක්ටීරියා ආසාදන ඇතිවීමේ ප්‍රවණතාවය ඉතා වැඩිය. එමනිසා තමන්ගේ සනීපාරක්ෂාව පිළිබඳව වඩාත් සැලකිලිමත් වන්න.
පරිකර්ටිතා රෝගය සඳහා ඉතා සාර්ථක ප්‍රතිඵල ආයුර්වේදයේ සඳහන් වන අතර ඒ සඳහා රෝගියා පරීක්ෂා කිරීමෙන් පසුව අවශ්‍ය ප්‍රතිකාර වෛද්‍යවරයා විසින් තීරණය කරයි. ආයුර්වේදයේ ඒ සඳහා ඖෂධ, ආලේපන සහ වස්තිකර්මය මගින් ප්‍රතිකාර කරනු ලැබේ. පරිකර්ටිතා රෝගය භයානකම රෝගයක් නොවූවද ඉතා වේදනාකාරී රෝග තත්ත්වයකි.
ආයුර්වේද වෛද්‍ය කුමුදුනී ද සිල්වා