2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

නෙළුම් පොකුණේ අපිට පිපෙන්න බෑ

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 316

චාමික හත්හලවත්ත අපේ තරුණ නාට්‍යවේදීන් අතර ඉදිරියෙන්ම සිටින්නෙකි. ඔහු අධ්‍යක්ෂණය කළ “රජා මං වහලා” සහ “මකරට” යන නාට්‍ය දෙකම රාජ්‍ය නාට්‍ය උළෙලේදී සම්මානයට පාත්‍ර විය. කොළඹ විශ්ව විද්‍යලයේ අධ්‍යාපන පීඨයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කරන චාමික අප සමඟ තම අදහස් පැවසුවේ මේ අයුරිනි.

ඔබේ “රජා  මං වහල” සහ “මකරට” යන නාට්‍ය දෙකම සම්මානයට ලක් වුණා. ඔබේ නාට්‍ය ගැන කිව්වොත්?

මම බොහෝවිට පර්යේෂණාත්මක නාට්‍යයක් කරන්නයි උත්සහ කරන්නේ. මහාචාර්ය සරච්චන්ද්‍ර, හෙන්රි ජයසේන, සුගතපාල ද සිල්වා වගේ හැමෝම උත්සාහ කළේ වෙනස් විදිහට පර්ෙය්ෂණාත්මක නාට්‍යයක් කරන්නයි.

ජාත්‍යන්තර මට්ටමට නාට්‍ය ගෙනියන්න ඔබ උත්සාහ කරනවද?

එහෙම අදහසක් සැමවිටම තිබෙනවා. අන්තර්ජාතික මට්ටමට ගෙනියන්න පුළුවන් වුණත් බැරි වුණත් මම කල්පනා කරන්නේ එහෙම නාට්‍යයක් කිරීමටයි. අන්තර්ජාතික නාට්‍ය උළෙල කිහිපයකටම මම සහභාගී වී තිබෙනවා. ඒවායේදී නාට්‍ය උපරිමයෙන් නැරඹුවා. පොතපත කියෙව්වා. මගේ නිර්මාණවලට එයින් ලැබෙන අත්දැකීම් පවා බලපානවා.

ඔබේ නාට්‍ය සංකීර්ණ බව සමහරු පවසනවා.

ඔව්. සමහරු එහෙම කියනවා තමයි. නාට්‍ය කෘතියක් වුණත් සාහිත්‍ය කෘතියක් වුවත් එක් වරක් නැරඹූ, කියවූ පමණින් තේරෙනවා කියල දෙයක් නැහැනේ. ඒවා නැවත නැවත කියවමින් රසවිඳිය යුතුයි. ආශ්‍රෙය ග්‍රන්ථ කියවමින් කරන්න ඕනෑ වැඩක්.

නමුත් වර්තමාන තරගකාරී සමාජයේ වැඩි දෙනෙකුට එහෙම විමර්ශනාත්මකව නිර්මාණ අධ්‍යයනය කිරීමට විවේකයක් නැහැ නේද?

ඔව්. විවේක බුද්ධියෙන් නිර්මාණ රසවිඳීමට සමහරුන්ට කාලයක් නැති බව ඇත්ත. මම නාට්‍යයක් හදද්දිත් ඒක කල්පනා කරනවා. සමහරු එක් සැරයක් නැරඹූවිට නාට්‍යය තේරුම් ගන්නවා. නමුත් අපි මේක සරල කිරීමට ගියවිට නිර්මාණයේ තිබෙන ගැඹුරු බව අහෝසි වෙනවා. අපි මැද මාවතක් තෝරාගතයුතුයි. සාමාන්‍ය ජනතාවටත් තේරුම් ගැනීමට හැකි නාට්‍ය කිරීමට. නාට්‍ය කරලා කොළඹ විතරක් පෙන්නලා හරියන්නෙ නැහැනේ. සමහර නාට්‍ය රාජ්‍ය නාට්‍ය උළෙලට පෙන්නුවා. ඊට පස්සේ නවත්තනවා. එහෙම නාට්‍යයක් කරලා වැඩක් නැහැ. ඒක කෘතියටත් කරන අසාධාරණයක්. ශිල්පීන්ගේ ශ්‍රමයටත් කරන අසාධාරණයක්. වේදිකා නාට්‍යයක් රචනාකර නිෂ්පාදනය කරනවාටත් වඩා අමාරුයි නාට්‍යයක් දිගටම ගෙනියන්න. මම ඉන්නේ එම අමාරු තත්ත්වයේ. මම පුලුවන් තරම් උත්සහ කරනවා නාට්‍යය ඉදිරියට පෙන්වමින් පවත්වාගෙන යන්නට. මේ වනවිට රජා මං වහලා නාට්‍යයට ඉල්ලුමක් තිබෙනවා. 

නාට්‍ය ක්ෂේත්‍රයේ අලුත් දෙයක් කිරීමට උනන්දුවන තරුණ පිරිසක් සිටියත් ඔවුන්ට නාට්‍යයක් නිෂ්පාදනය කිරීමට නිෂ්පාදන වියදම බාධකයක් වෙලා නේද?

එහෙම අර්බුදයක් තිබෙනවා. විශ්ව විද්‍යාලයේදී ඉන්නවිට නාට්‍යයක් කරන්න පුළුවන් පහසුකම් තිබෙනවා. විශ්ව විද්‍යාලයේදී නාට්‍ය කිරීම, එන්ජීඕ එකකින් අරමුදල් ලැබිලා නාට්‍ය කිරීම හෝ මම වගේ අතේ තියෙන සල්ලි ටික වියදම් කරලා නාට්‍ය කිරීම යන ක්‍රම තමයි අද දකින්න ලැබෙන්නෙ.

නාට්‍ය කලාව පවත්වාගෙන යාමට ජනප්‍රිය හාස්‍ය නාට්‍ය හේතු වෙලා බව පේනවා.

ඔව්. හාස්‍ය නාට්‍ය නිසා තමයි සංවිධායකයෝ, නළු නිළියෝ පවතින්නේ. නාට්‍ය ශාලා විවෘත වන්නේ. ප්‍රේක්ෂකයන්ට නාට්‍ය ගැන රුචිකත්වයක් ඇතිවන්නේ. ඒ නාට්‍යවලට සල්ලි ලැබෙනකොට තමයි අපේ නාට්‍යවලට නළු නිළියෝ පවා එන්නෙ. නමුත් මේ නාට්‍ය සංවර්ධනය විය යුතුයි. පිටපත ගැන, රංගනය ගැන, පසුතලය ගැන හොඳින් සිතා ඉදිරිපත් කළ යුතුයි. උසස් නාට්‍ය වගේම හාස්‍ය නාට්‍යයත් පැවතිය යුතුයි. මේ ධාරාවන් දෙකම එකිනෙකට මුහුවෙලා එකිනෙකින් පෝෂණය විය යුතුයි කියන තැන තමයි මම ඉන්නේ.

මේ ජනප්‍රිය නාට්‍ය සල්ලි හොයන ජාවාරමක් කරගත් බවක් පේනවා.

සල්ලි ටිකක් හම්බකරගැනීමට, නාට්‍ය කණ්ඩායම සමඟ පිටරට දර්ශන පැවැත්වීමට යාම වගේ අරමුණු මේවා පසුපස තිබෙනවා තමයි. ඉතිහාසය පිළිබඳව නිවැරදි හැදෑරීමක් නැති නිසා තමයි මේක වෙන්නේ. මේ රැල්ල ඉතිහාසයේ බිහිවුණේ කොහොමද? අද සමහර ප්‍රහසන නාට්‍යවලට අධ්‍යක්ෂකවරු නැහැ. නිෂ්පාදක පමණයි ඉන්නේ. ඉදිරියේදී කියයි නළුවොත් එපා කියලා. මේවායේ නිර්මාණයක් විදිහට නිමාවක් නැහැ.

නාට්‍ය අනුමණ්ඩලය අධ්‍යාපන අමාත්‍යංශයට අයත්වීම නිසා ගැටලු මතු වුණා නේද?

මගේ නාට්‍යය රජා මජ වහලා සම්මාන ලැබුණු වෙලාවෙ ඔය ගැටලුව මතු වුණා. දැන් සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ නාට්‍ය උපදේශක මණ්ඩලය ක්‍රියාත්මකයි. මගේ නාට්‍ය ඉන්දියාවේ නාට්‍ය උත්සවයකට යාමට තේරුණත් මුදල් තිබුණේ නැහැ. ඊට පසු සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනුෂා ගෝකුල මහත්මිය මැදිහත්වී එයට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට පියවර ගත්තා. කිහිපදෙනෙක්ම ඒ සඳහා සහයෝගය ලබා දුන්නා. එහෙම සාධනීය පැත්තක් තිබෙනවා. නමුත් තවමත් ඉතුරැ වෙච්ච ප්‍රශ්න එතනමයි.

ඒ ඉතුරු ප්‍රශ්න ‍මොනවද?

කාලයක් තිස්සේම කතා කරන ප්‍රශ්න තමයි. පුහුණුවීමට තැනක් නෑ. හොඳ රංග ශාලා නෑ. නාට්‍ය ලංකාව වටා ගෙනයන්න ක්‍රමවේද නැහැ. මේවාට විසඳුමක් නැහැ. හැදෙන රංග ශාලාවල අපට නාට්‍ය පෙන්වන්න බැහැ. නෙළුම් පොකුණ වගේ රඟහලවල්වලට අපි කොහොමද යන්නේ. අපිට ඒවායේ පිපෙන්නවත් බැහැ.

නමුත් නෙළුම් පොකුණ හැදුවේ නාට්‍ය කලාවට සේවයක් කරන බව පවසමින් නේද?

ඔව්. එහෙම ලොකු රංග ශාලා තිබිය යුතුයි. නමුත් අපි කොහොමද ඒවාත් එක්ක ගනුදෙනු කරන්නේ. රඟහල් ලොකුවට හැදුවට ඒවා පාවිච්චි කරන්න වැඩ පිළිවෙලක් නැහැනේ. අපේ රටේ නැත්තෙත් ඒකනේ.

නාට්‍ය කලාවේ එදා සිටි බොහෝ ප්‍රවීණයන් අද එහි එතරම් නිරත වී නැති බව පේනවා නේද?

නාට්‍ය කියන්නේ සජීවී මාධ්‍යක්. සිනමාවේදී ටෙලිනාට්‍යයේදී ප්‍රේක්ෂකයා මුහුණට මුහුණ හමුවන්නේ නැහැ. නමුත් නාට්‍යයේදී ප්‍රේක්ෂකයා අපි ඉදිරියේ හමුවෙනවා. අපි නිර්මාණ ඉදිරිපත් කරන්නේ ඔවුන් ඉදිරිපිටයි. ඒ නිසා එයින් ඉවත් වී සිටින්නේ කෙසේද? 

ජයන්ත චන්ද්‍රසිරි, අශෝක හඳගම, ධර්මසිරි බණ්ඩාරනායක, කේ. බී. හේරත් වගේ ප්‍රවීණයන් අද යළිත් නාට්‍ය කළ යුතුයි. එවිට තමයි අපටත් යම් ශක්තියක් ලැබෙන්නේ. නමුත් මේ සංකීර්ණ සමාජයේ ඔවුන්ට නාට්‍ය කිරීමට විශාල දරාගැනීමක් කළ යුතු වෙනවා. ඒ වගේම විශාල කාලයක් වැය කළ යුතුයි. අවිවේකීත්වය නිසා ඔවුන් දැනට නාට්‍යවලින් ඈත්වී ඉන්නවා වෙන්නත් පුළුවන්. 

බොහෝ නිර්මාණ වර්ධනය වෙන්නේ විචාරය සමඟයි. නාට්‍යයට නම් විචාරයක් දැක ගැනීමත් අසීරුයි. 

ඔව්. විචාර කලාව ප්‍රමාණවත් මදි. කරන විචාරවලත් තිබෙන්නේ නාට්‍යයේ පෙළ ගැන අවධානය යොමු කිරීමක් පමණයි. රංගමය භාෂාව, පසුතලය, රංග වස්ත්‍ර, රංගනය වගේ දේවල් ගැන සියුම්ව විමර්ශනය කරන විචාරයක් නාට්‍යයේ වර්ධනයට යහපත් බලපෑමක් කරනවා. 

 කුසුම්සිරි