2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා

බජට් එකෙන් මැජික් බලාහිටියොත් හබක්!

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 63

යහපාලන ආණ්ඩුවේ තෙවැනි අයවැය ලේඛනය ලබන 9 වන බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙය අලුත් මුදල් ඇමැති ලෙස මංගල සමරවීර පත්වීමෙන් පසු ඔහු ඉදිරිපත් කරන මංගල අයවැය ලේඛනය ද වෙයි. හිටපු මුදල් ඇමති රවී කරුණානායකගේ සමයට වඩා මෙම මුදල් ඇමැතිවරයාගෙන් ජනතාව යම් සහනයක් බලාපොරොත්තුව සිටී. කෙසේ වුවද මුදල් ඇමැති මේ වනවිට ප්‍රකාශ කර ඇත්තේ ද මෙම අයවැය සහන අයවැයක් වනු ඇති බවයි. එහෙත් ඔහුට මුහුණ පාන්නට සිදුව ඇති අභියෝග හා ආර්ථික පරිසරය අනුව සහන අයවැයක් ඉදිරිපත් කිරීමේ අපේක්ෂාව ඒ ආකාරයෙන්ම සාක්ෂාත් කර ගත හැකිද යන්න ගැටලුවක් බව රටේ ආර්ථිකය පිළිබඳ උනන්දුවක් දක්වන අයගේ අදහස වේ.

පසුගිය මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය විසර්ජන පනත අනුව රජයේ ඇස්තමේන්තු ගත ආදායම රුපියල් කෝටි 1,7,8900ක් වන අතර වියදම කෝටි 3,13,800කි. මේ අනුව ඇතිව ඇති කෝටි 1,34,900ක් වූ හිඟය ආවරණය කරන ආදායම් යෝජනා මුදල් අමාත්‍යවරයාට 9 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සිදුව තිබේ. එහිදී පුංචි මිනිසාට වේදනාවක් ගෙන නොදෙන එසේම රටේ ආර්ථික සංවර්ධනයට බලපෑමක් ඇති නොවන යෝජනා ඉතා සීරුවෙන් තෝරාගෙන ඉදිරිපත් කිරීමට මුදල් ඇමැතිවරයාට සිදුව තිබේ. ඇතැමුන් හාස්කමක් ලෙසද හඳුන්වන මෙම භාරධූර වගිකීම නව මුදල් ඇමැතිවරයා කෙලෙස ඉටුකරයි ද යන්න පිළිබඳ මුළු රටම මේ දිනවල අවදියෙන් බලාසිටින බවක් දැකගත හැකිය.

මෙතෙක් පැවැති සෑම අයවැයකදීම සාමාන්‍ය ජනතාව යම් යම් සහන බලාපොරොත්තු වූ බවක් පෙනෙන්නට තිබේ. අනේක විධ ජීවන අරගලයකට ලක්ව සිටින පොදු මහජනතාව අයවැය තුළින් යම් සහනයක් අපේක්ෂා කිරීම සාධාරණය. ස්වකීය වැටුප් වැඩිවීම, භාණ්ඩ හා සේවා මිල පහළයාම, වැඩි වැඩියෙන් රැකියා අවස්ථා ලබාගැනීම, තමා ලබාගන්නා ණයවලට සහනයක් ලබාගැනීම ආදිය මෙලෙස බලාපොරොත්තු වන සහනවලින් කිහිපයකි. එහෙත් මෙම සහන ලබාදීමට මුදල් ඇමැතිට බාධාවී ඇති දුෂ්කරතා මොනවාද යන්න සාකච්ඡා කළයුතුයි.

පසුගියදා නිකුත් වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ අලුත්ම වාර්තාව අනුව මේ වනවිට මෙරට ආර්ථිකයේ ප්‍රධාන අංශ තුනක් පිළිබඳ අර්බුදයක් උද්ගතව ඇති බව පැවසේ. විදේශ රැකියාවලින් මෙරටට ලැබෙන මුදල් 2016 වසරේ මුල් හය මාසයට වඩා මෙම වසරේ මුල් හය මාසය තුළ 3,613.1ක් වූ ආදායම 2017 දී 3,354.7 දක්වා අඩුවී තිබේ. මේ වසරේ ජූලි වනවිට එම ප්‍රේෂණ ඩොලර් මිලියන 551.6ක් දක්වා සියයට13.5කින් තවදුරටත් පහළ බැස තිබීම සුවිශේෂී වේ.

විදේශ වෙළෙදාමෙන් අපට සිදුව ඇති අලාභය පසුගිය වසරේ මුල් හයමාසය හා සැසදීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 4753.5 දක්වා සියයට 13.42කින් ඉහළ ගොස් ඇත.

ඊළඟ අර්බුදය වනුයේ විදේශ ණය ලබාගැනීම 2017 මුල් හය මාසය තුළ 2016ට වඩා දෙගුණයකින් ඉහළ ගොස් තිබීමය. 2016 දී ඩොලර් මිලියන 520.3ක්ව තිබුණ ශේෂය මේ වසරේදී ඩොලර් මිලියන 1,110.3 දක්වා සියයට 113.4කින් ඉහළ යාම සුළුකොට තැකිය නොහැකිය. ණය ගැනීම ගැන පසුගිය රජයට දෝෂාරෝපණය කරමින් මේ රජයද දෙගුණයකටත් වඩා විදේශ ණයවලට යොමුවීම පුදුම උපදවයි. වත්මන් රජය යටතේ ගෙවි ගිය වසර 2 ½  තුළ රටේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 2773කින් ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ.

රටේ බදු ආදායම ලබා ගැනීම පිළිබඳව ගැටලු නිර්මාණය වී තිබේ. අද දක්වාම පැවති ආණ්ඩු වඩාත් උනන්දුවක් දක්වා ඇත්තේ වක්‍ර බදු පැනවීමට මිස ඍජු බදු අයකර ගැනීමට නොවේ. 2015 වසරේ සමස්ත බදු ආදායම රුපියල් මිලියන 13,55,777ක් වූ අතර ශුද්ධ ආදායම හා ලාභය මත අයකළ බදු මිලියන 262583කි. මෙය කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ආර්ථික විශේෂඥයන්ගේ මතය වේ. මහා බ්‍රිතාන්‍යයේ ආදායම් බදු ප්‍රතිශතය 33.3ක්ද නොර්වේ රාජ්‍යයේ 40.2ක් සහ සමස්ත යුරෝපීය කලාපයේ රටවල 30.1කි. සාමාන්‍යයෙන් අපේ රටේ ඍජු බදු ආදායම සියයට 15ක ප්‍රමාණයේ තිබීමෙන් මෙම විෂමතාව මනාව පැහැදිලිවේ.

රටක අයවැය තුළින් ස්ථාවර බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතු අතර එය විටින් විට වෙනස් නොවිය යුතුය යන්න ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයයි. එයට හේතුව රටක බදු ප්‍රතිපත්තිය රටේ ආයෝජන සඳහා බලපාන නිසාය. අද දක්වාම අපේ රටට ස්ථිර බදු ප්‍රතිපත්තියක් නොමැති අතර බලයට පත්වන විවිධ ආණ්ඩු වෙනස් වෙනස් ප්‍රතිශතවලින් බදු අයකරන බව පෙනේ.

මෙම තත්ත්වය මේ අයවැයෙදීවත් වෙනස් වේයැයි රටට හිතැති අය අපේක්ෂා කරනු ඇත. වක්‍රබදු වැඩිකිරීම සාමාන්‍ය ජනතාවගේ තේ කෝප්පයේ සිට ඉහළට බලපාන නිසා වක්‍රබදුවලට වඩා රජය ඍජු බදු කෙරෙහි උනන්දුවක් දැක්විය යුතුව ඇත. මේ වනවිට රටට නව දේශීය ආදායම් බදු පනතක් සකස් කරමින් පවතින අතර එයින් බදු අයකිරීම වඩාත් කාර්යක්ෂම වීමට අපේක්ෂිතය. එහි 137 (අ) වගන්තියට අනුව බදුවලට එරෙහිව අධිකරණයට පවා යාමට නොහැකි අතර ආදායම් කොමසාරිස්ගේ බලතල ශක්තිමත් කර ඇතිබවද දැනගන්නට ඇත. බදු එකතු කිරීම වේගවත් කිරීම සඳහා ඇතැම් ආයතන පිළිබඳ තොරතුරු සැනකින් ලබාගත හැකි “Ramis” ක්‍රමවේදය ආරම්භ කිරීමටද සැලසුම් කර තිබේ.
කෙසේ වුවද ආණ්ඩුව පවසන්නේ 2015 වසරේ බලාපොරොත්තු වූ රාජ්‍ය ආදායම සියයට 2කින් ඉහළගොස් ඇති අතර මෙම අයවැය තුළින් ඉදිරියේදී රාජ්‍ය ආදායම වැඩකර ගැනීමට බලාපොරොත්තු වන බවය.

වෙන වසරවල මෙන් මෙවරද අයවැය ඉදිරිපත් කිරීමට ආසන්න වනවිට විවිධ අනාවැකි සමාජ ජාලය තුළට එක්වී ඇත. ඇතැම් ආහාර ද්‍රව්‍යවල මිල අඩුවන බවටද වාහන මිල සහ ඉන්ධන මිල ගණන් පහළ යන බවටද, බියර් ඇතුළු මත්පැන්වල මිල අඩුවන බවටද, ස්වයං රැකියාලාභින්ට සහන සැලසෙන බවටද මෙතෙක් බදු අය නොකළ වෘත්තීන් සඳහා බදු පනවන බවටද විවිධ ආරංචි පැතිරයමින් පවතී. කෙසේවුවද ජනතාව බලාපොරොත්තු තරම් සහනයක් ලබාදීමට මෙවරද මුදල් ඇමැතිවරයාට අවස්ථාව ලැබීම උගහට බව තතුදත් ආරංචි මාර්ග පවසයි.

කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යාපන අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න පෙන්වා දෙන්නේ බජට්ටුව මැජික් පෙට්ටියක් බවට පත්කළ නොහැකි බවය.

අයවැය ලේඛනයක කාර්යභාරය හා රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ විග්‍රහයක යෙදෙන හෙතෙම මෙසේද පවසයි.
“ආණ්ඩුව ආයතනයක් ලෙස සලකන විට අයවැය ලේඛනය යනු එහි ශේෂපත්‍රය වෙනවා. එහි ලැබීම සහ ගෙවීම් දැක්වෙනවා. ආදායම ලෙස සැලකිය හැක්කේ රටේ බදු ආදායමයි. වියදම් කොටස් දෙකක්. පුනරාවර්තන වියදම් ලෙස දැක්වෙන්නේ පවතින වියදම් ඉදිරියට ගෙනයාමක්. ප්‍රාග්ධන වියදම් යනු රාජ්‍ය ආයෝජන වැයයි. දිගුකාලීන සංවර්ධන කටයුතුවලට අවශ්‍ය වියදම් මේවයි. බොහෝ රටවල් පුරුදු වෙලා තියෙන්නෙ අයවැයෙන් මැජික් කරන්නයි. වැඩි වශයෙන් ජනතාව බලා සිටින්නේ එවැන්නක්. මුලින් පැවැති ආණ්ඩුවලට එවැනි හාස්කම් කරන්න පුළුවන් වුණා. ඒ කාලයේ අයවැය වලින් එවැනි දේවල් කළා. අදත් ඒ පුරුද්ද මිනිසුන් අතර තියෙනවා. ඒ ක්‍රමය නැතිවෙලා අවුරුදු 40 ඉක්මවා ගියත් ජනතාව අදටත් අයවැයෙන් බලාපොරොත්තු වෙන්නෙ එයයි. ආණ්ඩුවද  බැරි වුණත් ඒවා කරගෙන එනවා. බඩු මිල අඩු කිරීම, සහන දීම, වැටුප් ඉහළ නැංවීම ආදිය ඒවායි.

එහෙත් ඔහු අනාවරණය කරන්නේ අයවැය සමඟ ඇතිවන ආර්ථික අස්ථාවරභාව, මිල ඉහළ දැමීම, වැටුප් වෙනස් කිරීම ආදිය ව්‍යාපාරික පරිසරයකට අයහපත් බවයි. ව්‍යාපාරිකයන්ගේ අපේක්ෂා බිඳ වැටී ඔවුන් දුර්වලවීමට ඒවා හේතුවන බව මහාචාර්යවරයාගේ අදහසයි. ඔහු පෙන්වා දෙන්නේ අයවැයෙන් වෙනස් නොවන ස්ථාවර ආර්ථික ප්‍රතිපත්තියක් රටකට තිබීම අවශ්‍ය බවයි.

“ඕනෑම ආයතනයක ශේෂ පත්‍රය දෙස බලලා එහි මූල්‍ය තත්ත්වය පැවසීමට පුළුවන්. ඒ වාගේම බජට්ටුව දෙස බලා රටේ මූල්‍ය තත්ත්වය තේරුම්ගත හැකියි. අපේ රටේ මූල්‍ය තත්ත්වය මෙම අයවැයෙන් නිරූපනය වෙනවා. අද ජාතික ආදායම දුර්වල බව පෙනෙන ප්‍රධාන කාරණයක්. ආදායම් බදු පනතේ දුර්වලතා මගහරවා එය යාවත්කාලීන කර ආදායම එකතු කිරීමේ යන්ත්‍රණය ශක්තිමත් කළ යුතු වෙනවා. වඩාත් පරමාදර්ශී වීමට නම් රටේ සියලුම ජනතාව ඔවුන්ගේ ආදායමේ හැටියට බැදු ගෙවිය යුතුයි යන්න මාගේ මතයයි. එයට හේතුව බදු උපයෝගීකරගෙන කරන සියලුම සේවා ඔවුන් ලබා ගන්නා නිසයි. ඒ නිසා ඔවුන් බදු ගෙවීමට බැඳී සිටිනවා. ඔවුන්ට බදු ගෙවීම පැහැර හැරීමට හැකිව ඇත්තේ ආණ්ඩුව රටේ මිනිසුන්ගේ නිවැරදි වත්කම් හා ආදායම් නොදන්නා නිසයි. එය දැන ගැනීමේ යාන්ත්‍රණයක් තිබිය යුතුයි. ලොව බොහෝ රටවල එම තත්ත්වය තියෙනවා.”

“අපේ රටේ බදු සහන දීමට විධිමත් බවක් නැහැ. එලෙස බදු සහන දීම වැරදියි. එවිට මූලික අරමුණු සාර්ථක වන්නේ නැහැ. බදු අයකිරීම ප්‍රමුඛ කරගත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම වැදගත්. රටේ වියදම් කිරීමත් ආණ්ඩුවට බාර දීලයි තියෙන්නෙ. ණය ආපසු ගෙවිය යුත්තේ ආණ්ඩුවයි. දැනට අපේ බදු ආදායම වාර්ෂික ණය වාරික සහ පොලිය ගෙවීමට ප්‍රමාණවත් නැහැ. අපිට සිදුව ඇත්තේ ලැබෙන සමස්ත ජාතික ආදායමෙන් ණය ගෙවා අපේ නඩත්තුවට අවශ්‍ය මුදල් යළි ණයට ගැනීමටයි.  ණය බර වසරින් වසර ඉහළ ගොස් ඇත්තේ එන නිසයි.”

මහාචාර්යවරයා පවසන්නේ අපේ කෙටිකාලීන වියදම් පිරිමසා ගැනීමට මේ වනවිට වත්කම් අලෙවි කිරීමට සිදුව ඇති බවයි. මෙය හරියට ගෙදරක් ණය වූ විට ගෙදර බඩු මුට්ටු අලෙවිකර ණය ගෙවනවා වැනි ක්‍රියාවක් යැයි ඔහු කියයි. එතැනින් ප්‍රශ්නය අවසන් නොවන අතර තව තවත් ණය ගෙවන්න වීමෙන් සියල්ල නැතිකර ගැනීමට සිදුවෙයි. ඒ නිසා වියදම් කළමනාකරණය කර ගැනීමේ වැදගත්කම ඔහු පෙන්වා දෙයි. එවැනි තත්ත්වයක් මත අයවැයකින් භාණ්ඩ මිල පහළ දැමීම, වැටුප් සහ දීමනා වැඩි කිරීම ජනතාවට සහනාධාර දීම කළහැක්කක් නොවෙයි. එහෙත් දේශපාලන තීන්දු තීරණ නිසා එවැනි දේ සිදුකිරීමට වෙයි. මේ අයවැයෙන් ද ඒ දෙය සිදුවෙනවා ඇත. මෙම තත්ත්වය අයවැයෙන් අයවැයට උග්‍රවනවා ඇත.

“සෑම ආණ්ඩුවක්ම අයවැය සැකසීමේදී මෙම තත්ත්වය තේරැම්ගෙන කටයුතු කළ යුතුය. අයවැය ලේඛනයකින් බලාපොරොත්තු විය යුත්තේ භාණ්ඩවල මිල අඩු වැඩි කිරීම වැනි සරල දේවල් නොවෙයි. එයට වඩා ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රතිපත්ති සකස් කර ක්‍රියාවට නැගීම, ආයෝජන ප්‍රවර්ධනය කිරීම, නිශ්පාදනය ඉහළ නැංවීම ආදී ප්‍රබල වැඩ පිළිවෙළක් කරා යායුතු වෙනවා. එහෙම නැතිව ජනතාවට විජ්ජා පෙන්වලා ලකුණු දමා ගැනීම වැනි බාල දේශපාලනයට නොයා යුතුයි. එහෙත් අවාසනාව වන්නේ නිදහසින් පසු බලයට පත්වූ සෑම ආණ්ඩුවක්ම මෙම වගකීම අතහැර කටයුතු කිරීමයි. රටේ අද උද්ගතව ඇති සෑම දැවෙන ප්‍රශ්නයකටම මෙම අමනෝඥ වැඩපිළිවෙළ හේතුවී ඇති බව කිය යුතුය.

I යසවර්ධන රුද්රිගු