2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා

භූත ගනුදෙනුවක් වූ දේදුනු ආකාසේ!

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 131

දේදුනු ආකාසේ දින 14කදී රු.කෝටි තුනක ආදායමක් උපයා ඇති බව පසුගිය ඔක්.27දා එහි අධ්‍යක්ෂවරයා වූ ප්‍රියන්ත කොළඹගේ තම ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණි. ප්‍රියන්ත මුලින්ම සිනමාවට පිවිසියේ අලුත් දෙයක් කිරීමේ බලාපොරොත්තුවෙන් බව ඔහුගේ දැහැන, විමුක්ති, අරුමෝසම් වැසි වැනි විත්‍රපට දෙස බලන විට අපට පෙනේ. ඔහුට තරුණ කාලයේ කලාත්මක සිනමාවකට පිවිසීමේ උණක් තිබුණු බව පෙනුණද පසුගිය වර්ෂයේ ඔහු යළිත් ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ දුවන චිත්‍රපට සෑදීමේ දෘෂ්ටියකින් බව “ආදරණීය කතාවක්” දෙස බලනවිට පෙනේ.

ආදරණීය නතාවක් තරුණ පෙළ ආකර්ෂණය කරගත් අතර එහි රඟපාන හේමාල් වර්ණකුල වඩාත් ජනප්‍රියත්වයට පත්විය. මේ වර්ෂයේ ඔහු දේදුනු ආකාසේ රසිකයන්ට තිළිණ කළේ වාණිජ සිනමාවේ තවත් පියවරක් තබමිනි. ඒ සමඟම ඔහු කලාත්මක සිනමාවෙන් පියවර දෙකක් පසුපසට තැබුවේය. අද ශ්‍රී ලංකාවේ සිනමා ප්‍රේක්ෂකයන් වෙනස්ය. කලාත්මක චිත්‍රපට හදා ජාමේ බේරාගැනීමටවත් නොහැකිය. ධර්මසේන පතිරාජගේ ස්වරූප, විමුක්ති ජයසුන්දරගේ සුළඟ ගිනි අරන් වැනි චිත්‍රපට දින කිහිපයකට වඩා දිව්වේ නැත.

උදයකාන්ත වර්ණසූරිය, සෝමරත්න දිසානායක වැනි සිනමාකරුවන් මෑතකදී වාණිජ සිනමාවේ සාර්ථකත්වය ලැබුවෝය. නමුත් එම සිනමාකරුවන් තම වාණිජ චිත්‍රපටවලදී සැලකිල්ලෙන් විමසූ අංග ප්‍රියන්ත කොළඹගේ අතින් ගිලිහී ඇති බව පෙනේ. එසේ නොවුණනම් ඔහුගේ දේදුනු ආකාසේ තවත් ඉහළ තලයකට තැබීමට හැකියාව ලැබෙනු ඇත.

මෙම චිත්‍රපටය නරඹන විට අපට  පෙනෙන්නේ අධ්‍යක්ෂවරයා නවීන තාක්ෂණය කෙරෙහි වැඩි විශ්වාසයක් තබා (කැමරාකරණය, ශබ්ද පරිපාලනය. දෘෂ්‍ය ප්‍රයෝග, සංස්කරණය) චිත්‍රපටයේ සාහිත්‍යයික පක්ෂය කෙරෙහි දැඩි උනන්දුවක් දක්වා නැති බවයි. ඒ නිසාම අවසානය වනවිට චිත්‍රපටය අවිශ්වාසනීය කතා පුවතක් බවට පත්වේ. එහෙත් කතාවේ අවසානය දක්වා නරඹන්නා තුළ කුතුහලය රඳවා ගැනීමට නම් අධ්‍යක්ෂවරයා සමත් වී ඇත. 

චිත්‍රපටය ආරම්භ වන්නේ මෝටර් රථයක් වැලි කඳු බිමක ත්‍රාසජනක අයුරින් ගමන් කරන දර්ශන පෙළකිනි. ප්‍රේක්ෂකයා තුළ ත්‍රාසය මැවෙන කැමරාකරණයක් ද එහිදී මැවේ. ඊට පසු හදිසියේ මතු වන ට්‍රක් රථයක ගැටේ. ඊට පසු ඇසෙන්නේ තරුණයාගේ විලාප හඬකි. ඉන් ගම්‍ය වන්නේ තරුණිය අනතුරින් මියගිය බවයි. ඊට පසු චිත්‍රපටය අතීතාවර්ජනයක ස්වරූපයෙන් ඇදී යයි.

අනතුරින් මියගොස් ඇත්තේ ප්‍රකට මුද්‍රා නාට්‍ය ශිල්පී සමුද්‍රගේ (හේමාල් වර්ණකුල)ගේ බිරියයි. (ටීනා ශනෙල්).

සමුද්‍ර සහ විහංගි උසස් අධ්‍යාපන ආයතනයක ශිල්ප හදාරන දෙදෙනෙකි. සමුද්‍ර ධනවත්ය. විහංගි දුප්පත්ය. ඒ අතර ඔවුන් තුළ අප්‍රකාශිත ප්‍රේමයක් ද හට ගනී. දෙදෙනා අධ්‍යාපන ආයතනයේ ප්‍රසංගයක් සඳහා නර්තන පුහුණුවකට එක්වෙති. මේ අතර පුහුණුවේදී එක් තරුණියක් ඇඳ වැටී අනතුරකට ලක් වන අතර ඒ වෙනුවට අධ්‍යාපන ආයතනයට පැමිණි නවක සිසුවියක් (ටීනා ශනෙල්) පුහුණුවට එක් වෙයි. සමුද්‍ර ඇයගේ රූපයෙන් වශී වෙයි. ඇය පසුපස යාමට වෙයි. අධ්‍යාපනයෙන් පසු විහංගි ගමට යන අතර සමුද්‍ර යෝජිත විවාහයකට එක්වී විවාහවන්නේ එකට ඉගෙනගත් තරුණිය (ටීනා) සමඟයි. විහංගිට දරුවෙක් උපදින අතර පියා කවුරුදැයි ඇය හෙළි කරන්නේ නැත. එම දරුවාට මුද්‍රා නාට්‍ය තරඟයක ජය ලැබීමට උදව් කරන්නේ මියගිය ටීනාගේ ආත්මයයි. අවසානයේ හෙළිවන්නේ එම දරුවාගේ පියා සමුද්‍ර බවයි. 

චිත්‍රපටයේ තිර රචනය කුතුහලය දනවන අයුරින් රචනා කර තිබුණ ද අවසානයේ එය ප්‍රේක්ෂක විශ්වාසය බොඳ කරවයි. භූතාත්මයකට කිසිවෙකුට හොරා කුඩා දැරියක් මුද්‍රා නාට්‍ය නර්තනයකට පුහුණු කරවීමම භූත කතාවකි. එමෙන්ම විශිෂ්ටයැයි පවසන දැරියගේ ජයග්‍රාහී රංගනය ද අප තුළ නම් විශිෂ්ට බවක් මතු කරවන්නේ නැත. හේමාල් වර්ණකුල සමුද්‍රගේ චරිතයට පණ පෙවීමේදී සුපුරුදු ප්‍රතිභාව මතු කළත් ඔහුගේ රංගනය තව දුරටත් ඔපමට්ටම් කරගත හැකිව තිබුණි. විහංගිගේ පියාගේ චරිතය රඟපාන ජයලත් මනෝරත්නගේ ප්‍රතිභාව ද මින් මතුවන්නේ නැත. දරුවකු සමඟ තනිවුණු දියණියක සිටින පියාගේ චරිතය තවත් මතුකර ගැනීමට අධ්‍යක්ෂවරයාට අවස්ථාව තිබූ බව පෙනේ. මෝස්තර නිරෑපිකාවන් මෙන්ම රූප රාජිනියන් වුවද චූලක්ෂි රණතුංග හා ටීනා ශනෙල්ගේ රංගනය අපට මතක හිටින රංගනයක් ගෙන නොඒ. නමුත් තව දුරටත් උනන්දු වූයේ නම් චූලක්ෂිගේ මාතෘ චරිතය ඉස්මතු කරගත හැකිව තිබුණි. ඇය නර්තන පුහුණු අවස්ථාවේදී කෙලිලොල් පෙම්වතියක ලෙස තරමක් සාර්ථක වුවද දියණියක සිටින මවකගේ චරිතයට පණ දෙනවිට මවකගේ සියුම් ගුණාංග ඉස්මතු නොවේ. ප්‍රියන්ත ආදරණීය කතාවක් තුළදී නාගරික තරුණිය සහ ගැමි ගායිකාව අතර ප්‍රතිවිරුද්ධතා ඉදිරිපත් කිරීමේදී මෙයට වඩා සාර්ථක වී තිබුණි.

කැමරාකරණය මෙවැනි වාණිජ චිත්‍රපටවල විශාල දායකත්වයක් දක්වයි. මෙහි කැමරාකරණය රංග එස්.බණ්ඩාරය. චිත්‍රාල් සෝමපාලගේ සංගීතය මෙම නිර්මාණය කම්මැලිකමකින් තොරව බලාහිඳීමට ඉඩ සලසාදෙයි.

ප්‍රියන්ත කොළඹගේ දැන්වීම් නිර්මාණයේ ප්‍රවීණයෙකි. ඔහු මෙම චිත්‍රපටයත් දීර්ඝ දැන්වීමක් ලෙස නිර්මාණය කර ඇති බව පෙනේ. සම්පූර්ණයෙන් ආලෝකමත් කළ අභ්‍යන්තර දර්ශන, නවීන ඇඳුම් මෝස්තර, කොණ්ඩා මෝස්තර, සුපිරිසිදු දර්ශන තල ඒ බව අපට ස්මරණය කරවයි. අප නම් ප්‍රියන්තගෙන් බලාපොරොත්තු වූයේ ආදරණීය කතාවකට වඩා ඔබ්බට ගිය නිර්මාණයකි. දේදුනු ආකාසේ ඒ බලාපොරොත්තුව ඉටුකර නැති බව පෙනේ.

 කුසුම්සිරි