2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා

වන්නියෙන් අැවිත් ක්‍රිකට් කැප්ටන් වූ ටිකිරි සර්

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 255

පොඩි වාගේ පෙනුණට මොකෝ ඔය යෝධයා හරිම රටේ අමාරුකාරයෙක් ඕයි යන ග්‍රාම්‍ය කියමන නිතරම කතා බහ කරන විට අපි කවුරුත් වාගේ සාමාන්‍යයෙන් ව්‍යවහාර කරන එකකි. මේ කට කතාවේ ගැබ්ව ඇති වැදගත් අදහස කුරුණෑගල මලියදේව විදුහල වෙනුවෙන් තරග කිරීමට මේ සැරේ පාසල් ක්‍රිකට් වාරයේදී පොර පිටියට පිවිසෙන කණ්ඩායමේ ක්‍රීඩකයන් ගැන පොඩියක් සලකා බැලූ කල ඉතාම පැහැදිලි අයුරින් හොඳාකාරවම කාහට වුවත් ප්‍රත්‍යක්ෂ වන්නේය.

1964 වර්ෂයේ දිනෙක ජනතා පත්‍රයේ ළාබාල වුවත් කෙරුවාව අතින් මේ ගොල්ලෝ හරිම හපන්නු! යන ශීර්ෂ පාඨය යටතේ පළ කොට තිබූ ලිපියකින් යට කී කොටස උපුටා ගත්තෙමි.

1964 වර්ෂයේ කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය ලබා දී ඇත්තේ වන්නියේ හද්දාපිටිසර ගමක ගොවි මාපිය යුවළකට දාව උපන් ගැටවරයෙකි. විශේෂයෙන්ම රටේ ප්‍රධාන පාසලක ක්‍රිකට් කණ්ඩායමක නායකත්වය වන්නියේ බයියෙකුට එදා හිමිවීමත් ආශ්චර්යකි. දෙයක් වේනම් යම් - සුදුස්සාටම අයිති විය යුතු යැයි කියැවෙන බර්ටෝල්ට් බ්‍රේෂ්ට්ගේ කියමන යථාර්ථයක් කරමින් එදා මලියදේව විදුහලේ පාලනාධිකාරිය සිය විද්‍යාලයේ පළමු පෙළේ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය මේ ගැමි කොලු ගැටයාට පිරිනැමීය.

ගමේ ඇත්තන්ගේ රසකතා ඇසීමට අද මා කැඳවා ගත්තේ එදා මලියදේව විදුහලේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙසත් පසුව ගුවන් හමුදා භටයකු ලෙස හා ගුරුවරයකු මෙන්ම විදුහල්පතිවරයකු ලෙසත් කටයුතු කොට දැන් විශ්‍රාම සුවයෙන් පසුවන ඒ ගැමියාය.

මොහොට්ටාල මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩා ඔහුගේ නමය. ප්‍රදේශයේ ඔහු හඳුන්වන්නේ ටිකිරි සර් නමිනි. ගල්ගමුව, හළිස්පහ බස්නාහිර කෝරළයේ මොලෑව ඔහු උපන් ග්‍රාමයයි. අද ඔහු පදිංචි වී සිටින්නේ ගල්ගමුව නගරයට ආසන්න දිවුල්ලෑව ප්‍රදේශයේය.
ඔබගේ පාසල් ජීවිතයෙන්ම අපි කතාව පටන්ගමු යි මම ඔහුට යෝජනා කළෙමි.

මුල්ම ගුරු පත්වීමේ මාසික පඩිය රු.200යි 

මගේ උපන් ගම මොලෑවනේ. ගමට ළඟම තිබුණු පාසල තමයි බුදුරුවකන්ද මහා විද්‍යාලය. ඒ පාසලේ දෙවැනි ශ්‍රේණිය දක්වා මම ඉගෙන ගත්තා. අපේ අප්පච්චි හොඳ ගොවියෙක්. අපට හොඳට ඉඩකඩම් තිබුණා. ඒ නිසා ගමේ හා ප්‍රදේශයේ හොඳ තැනක් අප්පච්චිට තිබුණා. මේ පළාතේ හිටපු ආරච්චිවරු, කෝරාළලත් සමඟ අප්පච්චි සම්බන්ධයි. ඒ වාගේම තමයි හිටපු මුදල් ඇමතිවරයකු වූ දිවංග යූ. බී. වන්නිනායක මහත්තයා එක්කත් අප්පච්චිගෙ සම්බන්ධයක් තිබුණා.
ගිරිබාවේ හිටියා ආරච්චි මහත්තයා කියලා කෙනෙක්. එයා කුරුණෑගල මලියදේව විදුහලේ ආදි ශිෂ්‍යයෙක්. ඒ වාගේම යූ. බී. වන්නිනායක මහත්තයා ඒ වෙනකොට මලියදේව විදුහලේ කළමනාකරු ලෙස කටයුතු කළා. පස්සේ ඒකේ විදුහල්පති වුණා. අපේ අප්පච්චිට ඕනෑ වුණා මාව මලියදේව විදුහලට දාන්න. අර දෙන්නගේ උදව් ඇතිව මාව මලියදේව විදුහලට දැම්මා. 1952 අවුරුද්දේ තමයි මම මලියදේව විද්‍යාලයට බාර දුන්නේ. ඒ දෙකේ පංතියට. අටවැනි ශ්‍රේණියේදී කනිෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය කියලා විභාගයක් තිබුණා. ඒ විභාගයෙන් තමයි කලා, විද්‍යා, වාණිජ වශයෙන් විෂය ධාරාවලට ළමයි තෝරන්නේ

මම විද්‍යා අංශයට තේරුණා. ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි එතැන් සිට ඉගෙන ගත්තේ. 1962 අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගය ලීවා. උසස් පෙළට විද්‍යා විෂය ධාරාව තෝරා ගත්තා. 
හැබැයි මම උසස් පෙළ පන්තිවල ඉගෙන ගත්තේ අවුරුද්දයි. 1963 අවුරුද්දේ මම ගුවන් හමුදාවට බැඳෙන්න ලෑස්ති වුණා. එවකට මලිදේව විද්‍යාලයේ හිටපු විදුහල්පති ඩී. බී. දිසානායක සර් මට හමුදාවට යන්න අවසර දුන්නේ නෑ. මොකද ඊළඟ අවුරුද්දේ (1964) පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස පත් කරන්න හිටියේ මා නිසා. දිසානායක සර් මට කීවා ගුවන් හමුදාවේ ඊළඟට බැච් එකට මාව දාලා දෙන්නම් මේ සැරේ ක්‍රිකට් කැප්ටන් විදිහට ඉන්න කියලා. දිසානායක සර් වන්නියේ කොල්ලන්ට ආදරෙයි. දක්ෂයාට තැන දුන්නා. එහෙම නැත්නම් කවදාවත් වන්නියෙන් මලියදේවයට ගිය මට ක්‍රිකට් කැප්ටන්කම ලැබෙන්නේ නෑ.

1964 අවුරුද්දේ මම මලියදේවයේ ක්‍රිකට් කැප්ටන්කම කළා. අපි අන්තර් පාසල් ක්‍රිකට් තරගවලදී කොළඹ - නාලන්දා, පන්නිපිටිය - ධර්මපාල, ගාල්ල - රිච්මන්ඩ්, මහින්ද, නුවර - ධර්මරාජ, විද්‍යාර්ථ, යාපනය මධ්‍ය විද්‍යාලය වගේ පාසල් එක්ක තරග වැදුණා. ඔය රුවන් කල්පගේ ගේ තාත්තා වන සේන කල්පගේ තමයි එදා නාලන්දා විද්‍යාලයේ ක්‍රිකට් කැප්ටන්. මේ සමහර තරග අපි ජය ගත්තා. සමහර ඒවා ජය පරාජයෙන් තොරයි. කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය එක්ක ගහපු මැච් එකෙන් අපේ පාසල කවදාවත් එහෙම ජයග්‍රහණයක් අරන් නෑ. මගේ නායකත්වයෙන් තමයි ඒ ජය ලැබුවේ.
එතකොට ඔබ ඊළඟට ගුවන් හමුදාවට බැඳුණා. මම එම්. එම්. ටිකිරි බණ්ඩා මහතාගෙන් ඇසුවෙමි.

ඔව්. 1964 බිග් මැච්වලින් පස්සේ මම මලියදේවයෙන් අස් වුණා. දිසානායක සර් පොරොන්දු වූ පරිදිම දවසක් මාව ගෙන්වාගෙන දැන් එයාර් ෆෝස් යනවද කියලා ඇහුවා. මම ඔව් කීවා. එයාර් ෆෝස් එකේ ස්කොඩ්රන් ලීඩර් තනතුර දරාපු විජේතුංග කියලා ඩොක්ටර් කෙනෙක් හිටියා. එයා අපේ සර්ගේ මිත්‍රයෙක්. සර් එයාට කලින් කියලා තියෙනවා මාව ඊළඟ බැච් එකට දාලා දෙන්න කියලා එදා ඉල්ලීමක් කරලා තියෙනවා.
ඒ උදව් ඇතිව මම 1965 නොවැම්බර් මාසේ විසිහතර වැනිදා ගුවන් හමුදාවට බැඳුණා. එදා රාජකීය ලංකා ගුවන් හමුදාව කියලා තමයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව නම් කරලා තිබුණේ. ඒ කාලේ ගුවන් හමුදාවට ගන්නේ ඉංග්‍රීසි හොඳට පුළුවන්, ක්‍රීඩා කරන අය. ඒ නිසා ගුවන් හමුදාවේ වැඩිපුරම හිටියේ බර්ගර්, මැලේ, දෙමළ, ඉංග්‍රීසි වාගේ ජාතිකයන්. මටත් ඉංග්‍රීසි ලියන්න කතා කරන්න පුළුවන් නිසා ගැටලුවක් වුණේ නෑ. 

ගුවන් භට - 2 තනතුරට තමයි මම බැඳුණේ. ඉංජිනේරු අංශයේ සැකිලි ශිල්පියකු ලෙස තමයි පුහුණුව ලැබුවේ. මූලික පුහුණුව දියතලාවේදී ලැබුවා. ඊට පස්සේ කටුනායක කාර්මික පුහුණු පාසලේ මාස හයක් පුහුණුව දුන්නා.  පුහුණුවෙන් පස්සේ ගුවන් භට -1 පත්වීම ලැබුවා. වැටුප මාසයකට රුපියල් හැට අටයි. ඒකෙන් දවසකට රුපියල් දෙකක් කෑමට කපනවා. පුහුණුවෙන් පස්සේ කටුනායක හා ත්‍රිකුණාමලයේ චීන වරායේ කඳවුරුවල සේවය කළා. 1968 මාර්තුවල මං ගුවන් හමුදාවෙන් අයින් වුණා. සේවා කාලය අවුරුදු පහක් සම්පූර්ණ නැති නිසා රුපියල් 850ක් හමුදාවට ගෙවලා තමයි අයින් වෙන්න වුණේ.
අපේ අප්පච්චියි අම්මයි හමුදා සේවයට කැමති නෑ. ගෙදරට හොරෙන් තමයි මම හමුදාවට බැඳුණෙත්. ඒ නිසා ඉවත් වෙන්න කියලා නිතරම මට ගෙදරින් කීවා. මමත් අන්තිමට ඉවත් වුණා.
ඔබ ගුරු වෘත්තියට පිවිසෙන්නේ කොයි කාලෙද?

&දුෂ්කර ප්‍රදේශවල පාසල්වලට ඉංග්‍රීසි උප ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගයක් 1969 අප්‍රේල් මාසේ තිබ්බා. මමත් විභාගයට ලීවා. ඒ කාලේ ගල්ගමුව කියලා වෙනම ආසනයක් තිබුණේ නෑ. යාපහුව ආසන්නයට තමයි ගල්ගමුවත් අයත්ව තිබුණේ. යාපහුව ආසනයෙන්ම ඉහළ ලකුණු ඒ විභාගයේදී ගත්තේ මං. විභාග ප්‍රතිඵල පත්තරේ දාලා තිබුණා. (ඒ පත්තර පිටුව හේ මට පෙන්වීය.) මගේ මුල්ම පත්වීම පාළුකඩවල ජනපද විද්‍යාලයට (වර්තමාන දේවගිරිපුර වළගම්බා මහා විද්‍යාලය) ලැබුණා. මාසික වැටුප රුපියල් 200යි.

ඔය වනවිටත් ඉංග්‍රීසි ගුරු අභ්‍යාස විද්‍යාල අඩුයි. වයස අවුරුදු හතළිහ සම්පූර්ණ කරලා හිටපු ඉංග්‍රීසි ගුරුවරුන්ටත් ගුරු පුහුණුවක් නෑ. 1974 අවුරුද්දේ මහරගම ගුරු විදුහලේ ශාරීරික අධ්‍යාපන විශේෂ පුහුණුවට ගුරු සිසුන් බඳවා ගත්තා. එදා අපට තිබ්බේ කුරුණෑගල අධ්‍යාපන කොට්ඨාසයයි.  ඒ කොට්ඨාසයෙන් මං විතරයි තේරුණේ.

පුහුණුවෙන් පස්සේ ශාරීරික අධ්‍යාපන උප ගුරුවරයෙකු ලෙස ගල්ගමුව මහා විද්‍යාලයට (ගල්ගමුව යූ. බී. වන්නිනායක ජාතික පාසල) 1976 අවුරුද්දේ ජනවාරි පළමුවැනිදා ආවා. 1985 අවුරැද්ද වෙනකම් ඒ පාසලේ සේවය කළා.
1985 අප්‍රේල් හතර වැනිදා පාසල් බාර උපගුරු ලෙස මා ඇහැටුවැව මහා විද්‍යාලයට පත්වීමක් ලැබුණා. එදා විදුහල්පති තනතුර හැඳින්වූයේ ඒ නමින්. කළමනාකරණයේ අතපසුවීමක් මත මගේ සේවය 1987 අත්හිටුවා පරීක්ෂණයක් පැවැත්වූවා. එහිදී වැටුප් වර්ධක දෙකක් නතරකොට නැවත සේවයේ පිහිටවූවා. ගල්ගමුව යූ. බී. වන්නිනායක මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති ලෙස මාව පත්කළා. ඒත් මම තනතුර බාර නොගෙන විශ්‍රාම යන්න තීරණය කළා. අතපසු වීමකින් හරි මගෙන් වරදක් වුණානේ. මුදල් සම්බන්ධයෙන් ඒ වරද වුණෙත්. ඒ නිසා මම 1990 පෙබරවාරි මාසේ දොළොස් වැනිදා විශ්‍රාම ගියා.

පාසල්, රාජකාරි හා පෞද්ගලික ජීවිතයේදී ලැබූ රසවත්, අමතක නොව සිදුවීම් කීපයක් මතක් කරන ලෙස මම ටිකිරි සර්ට ඇරයුම් කෙළෙමි.

මලියදේව හිටපු විදුහල්පති ඩී. බී. දිසානායක සර්ගේ නීතිය හරි තදයි. ඒ නිසාම හොඳ විනයක් පාසලේ තිබුණා. කකුලක තුවාලයක් තිබුණොත් ඒ කකුලට විතරයි සෙරප්පු දාන්න දෙන්නෙ. අනිත් කකුලට සපත්තුම දාගෙන එන්න ඕන. ගුරුවරුන්ටත් තදේට හිටියා. සමහර ගුරුවරු එතුමාට කැමති නෑ. සර් ආපු මුල්ම කාලේ අර වාගේ ගුරුවරු ටිකක් අපට කීවා සර්ගෙ කාරය ඇතුළට රතිඤ්ඤා දාන්න කියලා. සර්ට තිබුණේ පොඩි කාරයක්. අපි කීපදෙනෙක් සර්ගේ කාර් එකට රතිඤ්ඤා දැම්මා. ආයි දවසක් සර්ගේ කාරයේ රෝදවල හුළං ඇරියා. පස්සේ සර් අපිව ඔෆිස් එකට ගෙන්නුවා. හැබැයි සර්ට හරියටම හොයා ගන්න බැරි වෙලා තියෙනවා කවුද කළේ කියලා. අපිත් කීවා අපි කළේ නෑ කියලා.

(ඉදිරි සතියට)
 නිහාල් ජයවීර