
“කකුල් ගෙවෙනකම් ලෝකේ වටේ ඇවිද්දත් අපිට ඕනකරන දෙයක් හොයාගන්න බැහැ. හැබැයි එක දවසක් පිටකොටුවේ කරක් ගැහුව නම් ඕනම එකක් හොයාගන්න පුළුවන්.” පිටකොටුවේ විකිණෙන නා නා ප්‍රකාර දේවල් ඒවා නිපදවන බව කියන චීනයටත් වඩා ලාබය. ලංකාවේ පමණක් නොව ලෝකයේ පවා නොමැති ඕනෑම භාණ්ඩයක් පිටකොටුවෙන් සොයාගත හැකි බව බොහෝ දෙනා දනිති. ඇපල්, දොඩම්, මුද්දරප්පලම්, රටඉඳි ගෙඩියේ සිට, සෙල්ලම් බඩු, රෙදිපිළි, ඔරලෝසු, විදුලි උපකරණ දක්වා මේ න්‍යාය පොදුය.
පිටකොටුවේ පාර දෙපස ඇති තට්ටු ලෑලිවල විකිණෙන මෙම ගැජමැටික් බොහෝදුරට වැඩකරන්නේ ඒ අවස්ථාවේ පමණය. එසේ නොමැතිනම් පිටකොටුවෙන් මිලදී ගන්නා උපකරණ සතියක් පමණ යනවිට ක්‍රියාවිරහිතය. ලාබයටත් පහසුවටත් වාසියටත් ගන්නන් වාලේ බඩු ගන්නා ඇතැමුන් තමන්ගේ පොකැට්ටුවට තට්ටු වී ඇති බව දැනගන්නේ බොහෝකල් ගිය පසුවය.
පිටකොටුවේ සහ ඒ ආශ්රිත ප්‍රදේශ රැසකම අඩු වැඩි වශයෙන් විකිණෙන ප්‍රමිතියෙන් තොර විදුලි උපකරණ, ජංගම දුරකතන, ඔරලෝසු, දුරකතන උපාංග යන එකී නොකී මේ සියල්ලම විකිණෙන සහ විකුණන ආකාරය සොයා ගමන් කිරීමට අප තීරණය කළේ එබැවිනි.
මෙලෙස ප්‍රමිතියකින් තොරව බඩු විකුණන පළමුවන හරස් වීදිය අපගේ ගවේෂණයේ පළමු මාර්ගය විය. මාර්ගය දෙපස මුළුමනින්ම අවහිර වන සේ සකසා ඇති එහා මෙහා ගෙන යා හැකි ලී තට්ටු, පදික වේදිකාව පමණක් නොව පළමුවන හරස් වීදියේ මාර්ගයෙන් අඩක් පමණ වැසී යන සේ අවහිරව ඇත.
“ගෙදර වැඩට ඕනම කෑල්ලක් පනහයි. ටෙස්ටර්, මිටි, නියං, අඬු ඕනම එකක් පනහයි. අද විතරයි හෙට නෑ ලාභ කළා ලාභ කළා” ලෑලි තට්ටුවක උඩ සිට එක් වෙළෙන්දෙක් බෙරිහන් දෙයි. බොහෝ පිරිස් ඒ ස්ථානයට එක්ව සිටියේ කඩිගුලක් ඇවිස්සුණු ආකාරයටය.
දෙපස අඩියෙන් අඩියට ලෑලි තට්ටු මත හතු පිපෙන්නාක් මෙන් තබා ඇති මේ සියලු උපකරණ ලොව අංක එකේ ජනප්‍රිය වෙළෙඳ නාමයෙන් යුත් උපකරණය. බැලූ බැල්මකට වෙනසක් පවා අඳුනගත නොහැකි එම උපකරණවල ඇති එකම වෙනස්කම වන්නේ විකුණන මුදල පමණි. ලෑල්ලෙන් ලෑල්ලට විවිධ මාදිලියේ විකුණන මෙම බඩුවල ප්‍රමිතිය මෙන්ම මෙම උපකරණවල වගකීම ගැන ප්‍රශ්නයක් අපට තිබුණද එම වෙළෙඳසැල් අසල රැස්වී සිටි පුද්ගලයන්ට ඒවා ගැන වගේ වගක් නොමැති වීම අපට මහත් පුදුමය දනවන කාරණාවක් විය.
ඝෝෂාකාරී මෙන්ම කලබලකාරී වටපිටාවක් ඇති මෙම ස්ථානවල වෙළෙඳුන් කිහිප දෙනෙකුගෙන් අපි අදහස් විමසුවෙමු. ඒ සඳහා ඉඩ ලැබුණේ බලවත් ඉල්ලීමකින් අනතුරුවය.
තමන්ගේ අනන්‍යතාවය තහවුරු නොකළ ඔවුන් අප ඇසූ පැනයන්ට පිළිතුරු දුන්නේ මහත් කලබලකාරී ස්වරූපයෙනි.
“පිටකොටුව කියන්නේ හොඳ නරක දෙකම එක සමානව තියෙන තැනක් කියන එක රහසක් නෙවෙයිනේ. ඒ වගේම තමයි කොළඹට ගියොත් මොකක් හරි ගැජමැටික් එකක් කීයක් හරි අඩුවට ගන්න පුළුවන් කියලා මේ ලංකාවේ ඕන කෙනෙක් දන්නවා. ඒක කමිසයක්, කලිසමක් වෙන්න පුළුවන්. කොණ්ඩ කපන මැෂින් එකක් වෙන්න පුළුවන්. සීඩී එකක්, ටෙස්ටරයක්, නියනක්, ටූල් බොක්ස් එකක් ඕනම එකක් වෙන්න පුළුවන්නේ. ඒවා ගන්න කියන නිසා තමයි මිනිස්සු එන්නේ අපි ළඟට. සමහර ඔය ගම්වල බිස්නස් කරන අය පාන්දර ලෑලි තට්ටුවට ඇවිල්ලා තොගේට අපෙන් බඩු අරන් යනවා. අපි දන්නවා ඒ අරං යන්නේ ගමේ විකුණන්න කියලා. එහෙම කියලා අපි ඒ අයගෙන් වැඩි ගාණක් ගන්නේ නැහැ. මේ විකුණුන ගානටම තමයි ගන්නේ. වරායෙන් අරහෙන් මෙහෙන් ලොට් එක පිටින් එන බඩු තමයි අපිත් අරගෙන විකුණන්නේ. පහුගිය දවස්වල වැස්ස එක්ක එච්චර ලොකු බිස්නස් එකක් තිබ්බේ නැහැ. හැබැයි දැන්නම් හොඳයි බිස්නස්වල වරදක් නැහැ. මේ අපි විකුණන්නේ ඉලෙට්‍රිකල් බඩු නිසා වැඩියෙන් ඒවා ඔක්කොම අවුල් යනවා. අනික කී දෙනෙක්ට මේ වගේ ජරාව දෙන්න ඕනද එහෙම දුන්නේ නැත්නම් අනවසර වෙළෙන්දෝ කියලා හරි පදික වේදිකාවේ වෙළෙඳාම් කළා කියලා හරි නඩුවක් දෙනවා. අනික අපි මේ ඔක්කොම විකුණන බඩු බාල බඩුම නෙවෙයි. හොඳ ඒවත් තියෙනවා. රුපියල් විස්සට, තිහට, පනහට අරන් ගිහින් මාසයක් පාවිච්චි කරත් ඇතිනේ.

ප්‍රේමචන්ද්‍ර කුමාර - ඇහැලියගොඩ
“කොටුවේ තියෙන කිසිම දෙයක් ගන්න හොඳ නෑ හොයන්නේ බලන්නේ නැතුව. මම අනන්තවත් වතාවක් ඔය ලෑලිවල තියෙන ඒවා අරන් ගිහින් තියෙනවා. ටෙස්ටර්, මිටි, හැබැයි ඒ එකක්වත් දවස් දෙක තුනකට වඩා පාවිච්චි කරන්න බැහැ. අනික මේ වගෙන් ගන්න ටෙස්ටර්වලින් එහෙම ගෙදර ස්විච් එකක්වත් ටෙස්ට් කරන්න හොඳ නෑ. මට කරන්ට් එකත් වැදුණා. මම ආයෙම එදායින් පස්සේ කොටුවෙන් කිසිම දෙයක් ගන්නේ නෑ. ලාබෙට තිබ්බට ඒවායේ කිසිම කොලිටියක් නෑ. කීයත් ගියත් කමක් නෑ හොඳ තැනකින් ඕන ගන්න.”
සැබැවින්ම මෙම පදික වේදිකාවේ අලෙවි කරන භාණ්ඩවල ප්‍රමිතිය තිබේද නැද්ද යන්න සම්බන්ධව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල් නයනා සතරසිංහ මහත්මියගෙන් අපි විමසීමක් කළෙමු.
“දැනට වෙළෙඳ පොළේ තියෙන භාණ්ඩවල තත්ත්වය පිළිබඳව සහතිකයක් හැටියට ක්‍රියාත්මක වන්නේ SLS සහතික ලාංඡනේ විතරයි. ඒ පාලනය කරපු තත්ත්වයන් යටතේද මේ භාණ්ඩ නිපදවන්නේ කියන එක බලලා තමයි අපි මේ ලාංඡනය ලබා දෙන්නේ. ඒ වගේම තමයි ඒ නිෂ්පාදනවලට ලාංඡනය ලබාදුන්නට පස්සේ අපි ඒවා කොලිටි එක තියෙනවද කියලා බලනවා. මේ පදික වේදිකාවේ විකුණන ඒවායේ ප්‍රමිතිය සම්බන්ධව අපිට වගකීමක් දරන්න බැහැ. පාරිභෝගිකයන් විමසිලිමත් විය යුතුයි හැමවිටකදීම තමන් ගන්නා භාණ්ඩය පිළිබඳව”.
මෙම කතා සියල්ල සැබෑය. විවිධ විද්‍යුත් උපකරණ හදන චීනයට වඩා අඩුමිලට පිටකොටුව තුළ සැරිසරන අපට ඕනෑම දෙයක් ලෑලි තට්ටුවලදී මිලදී ගත හැකිය. දේශීය පාරිභෝගිකයන් පමණක් නොව ඇතැම් අවස්ථාවල විදෙස් පාරිභෝගිකයන් පවා මෙහි ලෑලි තට්ටු අසල අපට දැකගත හැකි වන්නේ එම නිසා විය යුතුය.

කලකදී චීනයෙන් එන බඩු චීනයට වඩා මෙරට ගණන් අඩු මොකදැයි චීන්නුන් පවා විමසුවහොත් ඒ ගැන පුදුම විය යුතු නැත.
පිටකොටුවේ ක්‍රමය මේකය. අද විකුණන බඩු හෙට නැත. ගැරන්ටි, වොරන්ටි මෙන්ම සේෆ්ටිද මේ බඩුවල නැත. ඇතැම් ඉලෙක්ට්‍රික් බඩු ක්‍රියා කරන්නේ අප එය මිලදී ගන්නා ලෑලි තට්ටුවේදී පමණි. පිටකොටුවේ ඇති හැමදෙයක්ම මෙහෙමයැයි අප කියන්නේ නැත. නමුත් එලෙස ගන්නා බොහෝ බඩු සඳහා නෝ ගැරන්ටි, නෝ වොරන්ටි, නෝ සේෆ්ටි බව අමතක නොකළ යුතුය.
හසිත් අංජන
සේයාර I විල්තෙර