2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

ඡන්දෙ ඉල්ලුවේ වත්තේ කොස් ගස් විකුණලා

 2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 195
ඔබේ රාජකාරි වගේම පෞද්ගලික ජීවිතේදීත් ලබාපු අමතක නොවන සිදුවීම් එහෙමත් ඇතිනේ. ඒ ගැනත් මතක් කරමුද? මම ගල්ගමුවේ පුංචිබණ්ඩාට යෝජනා කළෙමි.
 
“අපේ පොල්ගහවෙල ප්‍රදේශය අයත් වුණේ දඹදෙණි ආසනයටනේ. මේ සිද්ධිය වනවිට මට ඡන්ද අයිතියත් තිබුණාද කියා මතක නෑ. ඒ මහමැතිවරණයට දඹදෙණිය ආසනයේ යූ.එන්.පී. එකෙන් ඉදිරිපත් වුණේ අයි.ජී. සේනානායක මහත්තයා. කොමියුනිට්ස් පක්ෂයෙන් පියසේන විමලරත්න මහත්තයා ඉදිරිපත් වුණා. මම වැඩ කළේ විමලරත්න මහත්තයාට. අපි ඉතිං ඒ මහත්තයාට ඡන්දය ඉල්ලලා ගෙවල් ගානේ ඇවිද්දා. පොඩි පොඩි රුස්වීම් තිබ්බා. කවි කොළත් ගහලා මිනිස්සු අතර බෙදා දුන්නා.”
 
“ඒ කවි කොළවල තිබුණ කවියක් දෙකක් මතක නැද්දයි මම විමසූවිට ඔහු යට කවිය කීය.
 
පීඩතයින්ගේ දුක - සැප නොබලා ඉන්න
 
ධනපති කුහකයින් පලවා හරිමින්න
 
තුටු නම් සදාකල් සුව සැප ලැබ ඉන්න
 
පියසෙන් විමලරත්නට ඡන්දය දෙන්න
 
පියසේන විමලරත්න මහත්තයා සල්ලි හොයාගත්තේ වත්තේ තිබුණ කොස් ගස් වගයක් විකුණලා. රුපියල් හැත්තෑ පහක් විතර මුදලක් තමයි මගේ මතකයේ හැටියට ඇප මුදල් තැන්පත් කළේ. කොහොම හරි විමලරත්න මහත්තයා ඡන්දයෙන් පැරදුණා.
 
“අද ඔය යාන්ගල්මෝදර කිට්ටුව තියෙන මහමෙවුනා සේනාසනය තියෙන වත්ත එදා හැඳින්වූයේ කැන්දගොල්ල වත්ත කියලා. මේ වත්ත අයිතිව තිබුණේ පෙරකදෝරු මහත්තයෙකුට. පොල් හා රබර් තමයි වගා කරලා තිබුණේ. අපේ ගමට හරිම කිට්ටුයි.
 
ඔය කැන්දගොල්ලවත්තේ වැඩබලන කොන්දොස්තර මහත්තයෙක් පත්කරලා හිටියා. මෙයා කට්ටි ශුද්ධ කරන්න (රබර් කිරි කැපීම) එන බැඳපු ගැනියක් එක්ක සම්බන්ධයක් ඇති කර ගත්තා. මේක ගෑනිගේ මනුස්සයාට ආරංචි වුණා. දවසක් මේ මනුස්සයා කැත්තකුත් අරං ඇවිත් කැත්ත උස්සලා කොන්දොස්තරගේ බෙල්ලටම කොටලා. බෙල්ල වෙන්වෙලා පැත්තකට විසිවෙලා. පස්සේ මිනිහා පාරට ඇවිත් කැත්ත කරකවමින් හූ කීවා. ඊළඟට පොලීසියට ගිහින් බාරවුණා. මිනිහා අවුරුදු 06කට හිරේ ගියා.
 
මේ සිද්ධිය වුණේ මගේ පුංචි කාලේ. දවසක් අපි නාට්‍ය බලන්න අල්ලපු ගමක පින්කම් පොළට ගියා. පාන්දර හතරට විතර ආපහු ගෙදර එන්න ආවා. අපි හතර දෙනෙක් දැන් පයින්ම පාර දිගේ එනවා. ඔය පාරේ හොල්මං තියෙන තැනක් තිබෙනවා.කියලා වැඩිහිටියන් අපට කියලා තියෙනවා. හඳත් හොඳට පායලා. ඒත් අර හොල්මන තියෙන තැන කිට්ටු වෙන්න කිට්ටු වෙන්න හිතට බයක් දැනුණා. හරියටම එතැනට එනකොට අපිට පේනවා පාර අයිනේ හිටපු මිනිහෙක් තාලයට ඔළුව හොල්ලනවා. මූණ සුදුම සුදුයි. අපි කෑ ගහගෙන දිව්වා. හැබැයි උදේ ආයි එතෙන්ට අපි ගියා. බලනකොට කොළ පතක් වැටිලා ඒක ගහක රැඳිලා. කොළපතට සුළඟ වදින කොට ඒක හෙලවෙනවා ඕං හොල්මන!
 
කොටි සිරිමා බෝධියට ගහන දවසේ මම හිටියේ අනුරාධපුරයේ ස්ටේෂම ළඟ වැඩ බිමක. එක පාරටම වෙඩි හඬක් ඇහුණා. ඒත් එක්කම කොටි ඇවිල්ලා කියන ආරංචිය පැතිර ගියා. අපි ආයුධ වැඩබිමේම දාලා දිව්වා. ඒ දුවලා අඟුරු මඩුවේ හැංගුණා. ආයි ඒකෙන් එළියට ආවේ කොටි ගියා කියන ආරංචිය ලැබුණාට පස්සේ. එදා ඉතිං ආයි වැඩක් නෑ. හවස ගෙදර ආවා.
 
බණ්ඩාරනායක මහත්තයා (දිවංගත අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක) දවසක් අනුරාධපුරයේ රුස්වීමකට ආවා. රැස්වීමට යන්ඩ නම් මට බැරි වුණා. ඒත් රැස්වීමේ කරපු කථා අපි අහගෙන හිටියා. වැඩ බිම තිබ්බේ රැස්වීම තිබුණු තැනට කිට්ටුව. සිරිමාවෝ මැතිනි පුතෙකු බිහිකළා කියන පණිවිඩය බණ්ඩාරනායක මහත්තයාට ලැබිලා තියෙන්නේ ඒ රැස්වීමේ ඉද්දී. අනුරාධපුරයේ සිටිද්දී පුතකු ලැබුණ බවට පණිවිඩය ලැබුණු නිසා පුතාට අනුර බණ්ඩාරනායක නම තිබ්බා කියලා කථාවක් තියෙනවා. “අනුරාධපුරය” නමේ මුල කොටස අරන් “අනුර” කියන නම දැම්මලු.”
 
පොල්ගහවෙල ප්‍රදේශයේ ගමක උපන් ඔබ ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිය තෝරාගන්න හේතුව මොකක්ද? මම ඔහුගේ අවධානය වෙන ඉසව්වකට යොමු කළෙමි.
 
“විවාහයක් සමඟ තමයි ගල්ගමුව, මහගල්කඩවල ප්‍රදේශයේ පදිංචි වුණේ. බිරිඳ මහගල්කඩවල පදිංචිකාරියක්. ඒ නිසා මමත් ඇගේ ගමේ පදිංචි වුණා. අපේ විවාහය සිදුවුණේ ප්‍රේම සම්බන්ධයක් මත.
 
සෙනරත්ගම ස්ටේෂන් එකේ ඉදිකිරීම් වගයකට අපි අනුරාධපුරයේ සිට ආවා. මෙහේ මගේ යාළුවෙක් හිටියා. එයාගේ ගෙදර නතර වෙලා තමයි මම වැඩට ගියේ. ඒ කිට්ටුව ගෙදරක ගෑනු ළමයෙක් හිටියා. එයා ගැන අදහසක් මට ඇති වුණා. අපි කථාබහ කරලා යාළු වුණා.
 
එතකොට එයා ඉස්කෝලේ යනවා. ඇහැටුවා වැව මහා විද්‍යාලයට තමයි ගියේ. ඇහැටු වැව, ගල්කඩවල ගෙදරක නතර වෙලා තමයි ඉස්කෝලේ ගියේ. දවසක් මම එයාව මුණ ගැහෙන්ඩ ඕන කියලා හිතලා ඇහැටු වැවට ගියා. නැවතිලා හිටපු ගෙදරට යනකොට එයා ඉස්කෝලේ ඇතුළේ ඉඳලා දුවගෙන පාරට ආවා. ඇවිත් මට කීවා “මොකටද මෙහාට ආවේ. ඉක්මනට යන්ඩ. “සර්ලා” දැක්කොත් මම ඉවරයි.” කියලා කියාගෙන කියාගෙන ගියා. මාත් ටිකක් කතා කරන්න හිතාගෙන ගියේ. ඒත් බැරි වුණා. අරන්ගිය ටොෆි ටික එයාට දීලා මම ආපහු ආවා.”
 
“කොහොම හරි එයා ඉස්කෝලේ ගිහින් ඉවර වුණාට පස්සේ අපි බැන්දා ඒ 1962 අවුරැද්දේ. දෙන්නාගේම වැඩිහිටියන්ගේ කැමැත්ත මත තමයි විවාහය සිද්ධ වුණේ.”
 
“මුල් කාලේ හරියට අපි දුක් වින්ඳා. පොඩි පඩියක්නේ ලැබුණේ. ගෙයක් දොරක්වත් හරියට නෑ. පොල් අතු දිරපුවාම ආයි පොල් අතු වහන්න ගන්න සල්ලි නෑ. වැහිදාට තෙමෙනවා. දරුවන් පස් දෙනෙක්නේ. ඒ අයත් පොඩි අය. දරුවන්ට අසනීපයක් හැදුණාම ඒ අය වඩාගෙන අපි දෙන්නා පයින්ම ගල්ගමුවට යනවා. මහගල්කඩවල හන්දියේ හයර් දුවන කාරයක් තිබුණා. ගල්ගමුවට හයරයක් යන්න රුපියල් හතරක් ගන්නවා. ඒත් සල්ලි නැති නිසා අපි පයින්ම ගල්ගමුව ඉස්පිරිතාලයට යනවා. කූපන් හාල් ටික ඒ කාලේ ලැබුණ නිසා යන්තම් පිරිමැසීමක් තිබුණා.
 
මුල් කාලේ පොලියටත් සල්ලි ගත්තා රේල්ලුවේ අයට පොලියට සල්ලි දෙන ගෑනු කෙනෙක් අනුරාධපුරයේ හිටියා. රුපියල් 100ක් ණයට ගත්තොත් ඊළඟ මාසෙට ණය මුදලයි පොලිය රුපියල් දහයක් හෝ විස්සක් දෙන්න ඕන. මේ පොලී නෝනා අපට පඩි තියෙන දාට පඩි දෙන තැනටම එනවා. ණය ගෙවන්න බැරි වෙන අය පොලී ගෑනි දැක්ක ගමන් ගේට්ටුව උඩින් පැනලා දුවනවා. මම නම් ඉතිං එදාටම ණය පොලී ගෙව්වා. ඕක තමයි අපේ අතීතය.” යි කියමින් ඒ.ඒ. පුංචිබණ්ඩා මහතා නිහඬවිය.
 
 කථාව/ පින්තූර - ගල්ගමුව - නිහාල් ජයවීර