2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

මාසෙකට දවසක් ගැහැනුන්ටම පමණයි

 2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 805

ගැහැනු ළමයකුගේ ආර්ථවය ආරම්භ වනුයේ ඇයගේ ජීවිතේ මල්වර වීමත් සමඟය. එය අවසන් වන්නේ ඇයගේ ආර්ථව අභාවයත් සමඟය. එනම් බොහෝවිට ඇයගේ වයස අවුරුදු පනහ ඉක්ම වූ විට මෙම ආර්ථව අභාවය හෙවත් ආර්ථවහරණය දැකිය හැක. මෙම මල්වරවීමත් ආර්ථවහරණයත් අතර කාලය තුළදී ඇයගේ ජීවිතේ සුන්දරතම කාලය ලෙස හැඳින්විය හැක. මේ කාලය තුළදී ඇය දරුවන් ලැබ මව් පදවිය සඳහා ඉතා සුදුසුම කාලයද ගෙවයි.

ඔසප්වීම පිළිබඳව කාන්තාව ඉතා සැලකිලිමත් විය යුතුවේ. ඔසප්වීම වෙනස්වීම තුළින් බොහෝ කාන්තාවෝ විවිධ අපහසුතාවලට ලක්වෙති.

• අධික වේදනාව.

• අධික ස්ථුලතාවය.

• බෙල්ල හා ශරීරයේ නැමීම් ආශ්‍රිතව තැන්වල ඇතිවන අඳුරු පැහැය.

• මුහුණ අඳුරු පැහැය ගැනීම.

• නිකට යට රෝමකූප තැනින් තැන ඇතිවීම.

• බෙල්ල මහත් වීම.

• අධික තරහ යාම.

• අධික නිදිමත.

• ඔසප්වීම ඇතිවූ විට ඇතිවන දින ගණන වැඩිවීම.

මේ පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් පසුගිය දිනෙක අපි ඔබට ඉදිරිපත් කළෙමු. මෙවර අපි “අපේ වෙදකම” තුළින් ඔබට ඉදිරිපත් කරන්නේ ඔසප්වීමේදී ඇතිවන අධික වේදනාව සම්බන්ධවය.

අධික වේදනාව

ඔසප්වීම සිදුවන දිනවලදී හෝ ඊට දින කිහිපයකට පෙර හෝ දින කීපයකට පසුවද ඇතැම් කාන්තාවන්ට තුනටිය ආශ්‍රිතව, යටිබඩ ආශ්‍රිතව හෝ උදරය ආශ්‍රිතව අධික වේදනාවක් පවතී නම් ඒ පිළිබඳව සැලකිලිමත්වීම ඉතා වැදගත්ය.

මේ අධික වේදනාව ඇතිවීම නිසා පැලෝපීය නාල හරහා පහළට යොමුවිය යුතු රුධිරය නාල අතරින් ගමන් කිරීමට පෙළඹේ. එහි ප්‍රතිඵලයක් ලෙසින් ලේ කැටි නාල හරහා ගමන්කොට ඩිම්බ කෝෂ අවට තැන්පත් වේ. මේ තැන්පත්වීම හේතුවෙන් මාසයක් පාසා මාස් වීම හේතුවෙන් තැන්පත් වී ඇති ලේ කැටිවලට යාමට තැනක් නොමැතිකම නිසා ඒවා එක තැනකට ගොඩ ගැසෙයි. අවසානයේදී මෙම ගර්භාෂගත ග්‍රන්ථි ලෙසින් හඳුන්වන තත්ත්වයට පත්වේ. මෙය ඇතිවනු ලබන්නේ අධික වේදනාව මඟිනි. ඇතැම්විට මෙය ගර්භාෂය තුළටම ගමන් කෙරේ. එහි ප්‍රතිඵලයක් ලෙසින් ගර්භාෂයේ බිත්ති රළු වීමක් සිදුවේ.

ඔසප්වීම ඇති දිනවලදී කිසිසේත්ම වේදනාවන් ඇති නොවන තවත් එක් දිනක් පමණක් වීම අවශ්‍යය. මාස්වීම දිනවලදී සාමාන්‍ය දිනවල මෙන් කිසිදු වෙනසක් සිදුනොවිය යුතුය. ඇතැම් කාන්තාවන්ට මේ කාලවලදී යටිබඩ කැක්කුම, කොරවීම, තුනටිය ආශ්‍රිතව ඇතිවන වේදනාව ආදී තත්ත්වයන් ඇතිවිය හැක. නමුත් ඒවා අසාමාන්‍ය සිදුවීම් වේ. ඒවා වෙනත් රෝගයක රෝග ලක්ෂණයක් විය හැක. ඒ සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ ප්‍රතිකාර ලබාගන්න.

මෙය පාරම්පරික රෝග ලක්ෂණයක්ද විය හැක. ඔසප්වීමේදී අධික වේදනාව මවට ඇතිවීමේදී එම තත්ත්වය ඇගේ දියණියටද ඇතිවිය හැකි ප්‍රවණතාවය වැඩිය. බොහෝ කාන්තාවෝ මෙම රෝග ලක්ෂණය සඳහා වේදනා නාශක ඖෂධ ගැනීමට පුරුදුව සිටිති. නමුත් වේදනා නාශක මගින් වේදනාව යටපත් කිරීම කිසිසේත්ම නොකළ යුතුය.

ප්‍රතිකාර

• අධික උෂ්ණ සහ අධික සීතල ඇති කෑම ආහාරයට ගැනීමෙන් වළකින්න. අලුත් එළවළු සමඟ පළතුරු මේ කාලයේදී වැඩිපුර ආහාරයට ගන්න.

• කිරි අල වැනි ආහාර මේ කාලයේදී ආහාරයට ගන්න එපා. එමෙන්ම ඉස්සන්, දැල්ලන්, අච්චාරු, අන්නාසි, දෙල් වැනි ආහාරද මේ කාලයේදී වැඩිපුර ගැනීමෙන් වළකින්න.

• මේ කාලවලදී සමබර කෑම වේලක් ගැනීමට අමතක නොකරන්න.

• වැඩිපුර මඳ උණුසුම් ජලය පානය කරන්න.

• මේ දිනවල අධික වේදනාවක් ඇතිවේ නම් නොසලකා හරින්න එපා. ඒ සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ උපදෙස් මත අවශ්‍ය ප්‍රතිකාර ලබාගන්න.

• අමතක කරන්න එපා. නිරෝගී කාන්තාවගේ ඔසප් දිනවලදී කිසිසේත්ම වේදනාවක් හට නොගනී.