
මධ්‍යම රාත්‍රිය එළඹෙන්නට තිබුණේ තවත් හෝරා එකහමාරක් පමණය. අඳුරෙන් වැසුණු රාත්‍රියට හෝටල් බිමත් ප්‍රධාන මාර්ගයත් එළිවූයේ විදුලි ආලෝකයෙන් පමණි. හෝටල් බිමේ සිට ගමන් ඇරඹූ මෝටර් රථය ප්‍රධාන මාර්ගයට පිවිසියා විතරය. යාන්තමට තිරිංග ලිහිල් කරමින් කොළඹ දෙසට හරවන්නට ගිය මෝටර් රථයට තවත් මොහොතක් හෝ ගත නොවීය. කොළඹ දෙසින් වේගයෙන් ආ මෝටර් රථයක් එහි ගැටුණේ මහා ශබ්දයක් නංවමිනි.
කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ පහළ කොස්ගම ප්‍රසිද්ධ ආපන ශාලාවක් ඉදිරිපිට දී සිදු වූ මේ රිය අනතුරට මුහුණපා තිබුණේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන මහතා රැගත් මෝටර් රථයයි. අනතුරින් හිටපු අමාත්‍යවරයා සහ ඔහුගේ රියැදුරු සුළු තුවාල ලබා සිටීම හේතුවෙන් අවිස්සාවේල්ල රෝහල වෙත ඇතුළත් කරන්නට ප්‍රදේශවාසීහු පියවර ගත්හ. අනතුරට හේතු වූ අනෙක් රථයේ ගමන් කරමින් සිටි තරුණයන් දෙදෙනාට සීරීම් හැරෙන්නට තුවාල සිදුනොවූ නිසා අනතුර සම්බන්ධයෙන් සැකපිට ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබූහ.
අනතුර සිදු වූ පසුගිය 21 වැනිදා සෙනසුරාදා රාත්‍රියේ ගීතාංජන ගුණවර්ධන මහතා සිය මෝටර් රථයෙන් රියැදුරු ද සමඟ රාත්‍රී ආහාරය භුක්ති විඳීම සඳහා කොස්ගම මහගෙදර නැමැති හෝටලය වෙත ගොස් තිබුණි. එහි ටික වේලාවක් ගත කළ ඔවුන් නැවත පිටත්ව ගොස් ඇත්තේ රාත්‍රී 10.30ට පමණය. ඒ අවස්ථාවේ ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි හෝටල් පරිශ්‍රයෙන් සිය මෝටර් රථය මාර්ගයට පදවනවාත් සමඟ කොළඹ දෙසින් පැමිණි මෝටර් රථයක් අධික වේගයෙන් ගීතාංජන ගුණවර්ධන මහතාගේ රථයේ ඉදිරිපස කෙළවරක ගැටී තිබේ. සිදු වූ අනතුරෙන් මෝටර් රථ දෙකේම ඉදිරිපස කෙළවර ප්‍රදේශයට බරපතළ හානි සිදුව ඇති අතර එහි අලාභය ලක්ෂ ගණනකි. අනතුරත් සමඟ තුවාල ලැබූ හිටපු ඇමැතිවරයා සහ ඔහුගේ රියැදුරු රෝහල්ගත කරන අතරතුර කොස්ගම පොලීසියේ රථ වාහන අංශ නිලධාරීහු මෝටර් රථ දෙක පරීක්ෂාවට ලක් කරන්නට වූහ.
එහිදී කොළඹ දෙස සිට අවිස්සාවේල්ල දෙසට ගමන් කර තිබූ WP CAO 1486 අංක සඳහන් මෝටර් රථය පරීක්ෂාවේ දී එහි පසුපස කොටසේ තිබූ පාර්සල් දෙකක් දකින්නට ලැබී ඇත. පෙනුමින් තරමක් විශාල බරින් කිලෝ දෙකක් පමණ වූ පාර්සලය පිටතින් ඝන කඩදාසිවලින් ආවරණය කොට තිබුණි. පාර්සල්වල ඇත්තේ මොනවාදැයි විමසුවද පිළිතුරක් දෙන්නට මැලිවෙමින් දෙන්නාට දෙන්නා මුහුණ ලබාගනිමින් මුණිවත රකින්නට වූ අතර පොලිස් නිලධාරීහු පාර්සල විවෘත කර බලන්නට ක්‍රියා කළහ.
ඒ අවස්ථාවේ පිරිස විමතියට පත් කරමින් පෙනෙන්නට වූයේ සූක්ෂ්මව ඇසිරූ ගංජා තොගයකි.
එවැනි ප්‍රමාණයේ පාර්සල දෙකක් තිබූ අතර එම පාර්සලයක කිලෝග්‍රෑම් 2 බැගින් අසුරා තිබූ ගංජා කිලෝ 4 ක් සොයා ගැනීමට පොලීසියට හැකි විය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් එම මෝටර් රථයේ පැමිණි තරුණයන් දෙදෙනා මාලිගාවත්ත සහ තල්දූව ප්‍රදේශයේ පදිංචි 28 සහ 31 වැනි වියේ පසුවන මුස්ලිම් ජාතිකයෝ වෙති. ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේ දී හෙළි වී ඇත්තේ සැකකරුවන් පැමිණි මෝටර් රථය වත්තල ප්‍රදේශයේ කුලී රථ සපයන ආයතනයකින් වෙන් කරගෙන පැමිණ ඇති බවය. වැඩිදුරටත් අනාවරණය කොටගෙන ඇත්තේ ගංජා ජාවාරමේ නිරත වෙමින් සිටි තරුණයන් දෙදෙනා කාලයක සිට එකී ජාවාරම සිදුකර තිබෙන බවය. එසේම ඔරුගොඩවත්ත ප්‍රදේශයේ (බායි) නැමැත්තකුට අයත් ගංජා කොටස් වශයෙන් ලබාගෙන පිට පළාත්වලට රැගෙන ගොස් අලෙවි කරමින් සිටින බව ද අනාවරණය වී ඇත.
දැනට වාර්තා වී ඇති පරිදි මොවුන් පසුපස සිටින ගංජා ජාවාරම්කරුද (බායි) නැමැත්තාය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක අතර සැකකරුවන් දෙදෙනා අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. කොස්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සෝමරත්න මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ මෙහෙය වූහ.
♦ සමන්ත ප්‍රදීප් විල්තෙර
සේයාරුව I සන්දීප්