2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

මාස්ටර්ගේ විප්ලවය

 2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 579

ගොළු හදවතින් තුන්වැනි යාමයට නම් කේමදාස මාස්ටර්ගේ කැසට්පටය මම විශ්වවිද්‍යාල සමයේ ඇසූ වාර ගණන කොපමණදැයි මතක නැත. ඊට පසු නිකුත් වූ ඔහුගේ කිලර් කැසට්පටය ද මා මිල දී ගත්තේ මහපොළ ශිෂ්‍යත්ව මුදල්වලිනි. ඔහුගේ පිරිනිවන් මංගල්ලය ඔපෙරාව මරදාන එල්පින්ස්ටන් රඟහලේ නැරඹූ රාත්‍රිය අදටත් අමතක නොවේ.  ඊට පසු ඔහුගේ මානස විල ඔපෙරාව විශ්වවිද්‍යාලයේ දී රංගගත කිරීමට ද අපි වෙහෙස වූයෙමු.

මේ ලිපිය ලියන මොහොතේත් ආචාර්ය ප්‍රේමසිරි කේමදාසගේ චිත්‍රපට උළෙලක් චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාහලේ ප්‍රදර්ශනය කෙරේ. කේමදාසගේ චිත්‍රපට සංගීතය නව ඉසව්වක් කරා ගෙනයාමට ධර්මසිරි බණ්ඩාරනායකගේ හංස විලක් සහ තුන්වැනි යාමය චිත්‍රපට ඉවහල් විය. අපි ධර්මසිරි බණ්ඩාරනායක ඇමතුවේ ඔහු කේමදාස සිනමා උළෙල සඳහා සූදානම් වන අවිවේකී මොහොතකය.

“මම හිතන්නේ කලා නිර්මාණ ක්‍රියාවලිය තුළ පවතින විප්ලවීය ගුණය ඔහුගේ නිර්මාණවලින් ප්‍රේක්ෂක හදවතට දැනෙන්න පටන් ගත්තා. නාට්‍ය කලාව, සිනමාව, සාහිත්‍ය කලාවෙන් මේ දැනීම ලබාගන්නවා. ඒ ලබාගන්නා දැනුම තුළ තමයි, අපට කලාකරුවා පිළිබඳව අර්ථවත් විග්‍රහයක යෙදිය හැක්කේ. ඒ විග්‍රහයට සමස්ත කලාකරුවන් සියලු දෙනා හසුවෙනවා. තරමක් එපිටට ගිහින් විමසා බැලුවොත් ඒ විග්‍රහයට හසුවන කලාකරුවන් අතර සදාතනික විශිෂ්ටයන් ඉන්නේ ස්වල්පයයි. ඒ අතරින් මහාචාර්ය සරච්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා වැනි විද්වතුන් නාට්‍ය කලාවේදීන් චිත්‍රසේන නර්තන කලාවේදීත්, සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හා ධර්මසේන පතිරාජත් සංගීතයේදී ප්‍රේමසිරි කේමදාස හා අමරදේවත් මුල්තැන ගත්තා.

කේමදාස චිත්‍රපට සංගීතයට පිවිසුණේ සිරිසේන විමලවීරගේ රොඩී කෙල්ල චිත්‍රපටයෙනි. ඊට පසු ආචාර්ය ලෙස්ටර්ගේ නිධානය සහ ගොළු හදවත චිත්‍රපටවලට නිර්මාණය කළ සංගීතය විචාරකයන්ගේ පැසසුමට ලක් විය. ඔහු සංගීත ක්ෂේත්‍රය තුළ කේමදාස සලකුණ පිහිටුවීය. එතෙක් හින්දි සහ දකුණු ඉන්දියානු ආභාෂයෙන් නිර්මාණය වූ සිංහල චිත්‍රපට සංගීතයට නව මානයක් ලැබුණි. ඒ ගැන තවදුරටත් අදහස් දක්වන ධර්මසිරි බණ්ඩාරනායක,

“ප්‍රේමසිරි කේමදාස අපි මේ කතා කරන සංගීත ක්ෂේත්‍රය තුළ පැවති සම්ප්‍රදායන්වලට එරෙහිව නව මාවතක් සොයා ගියා. ප්‍රේක්ෂකයන්ට එය වැඩිපුර දැනෙන්නේ සිනමාවෙන්. සිනමා සංගීතයට තේමා සංගීතය නමැති නව ආර හඳුන්වාදෙන පුරෝගාමියා ඔහුයි. ඔහු හෙළි පෙහෙළි කළ මඟ ගමන් කරන්නට තවමත් කිසිවකු සිනමා සංගීත ක්ෂේත්‍රය තුළ දී අපට හමු වී නැහැ. ගොළු හදවත, නිධානය, හංස විලක්, තුන්වැනි යාමය ඊට සාක්ෂි දරනවා. මේ සුවිශේෂතාවය තුළින් ප්‍රේමසිරි කේමදාස හෙළි කළ ගමන් මඟ තව තවත් පුළුල් කිරීම සිනමා කලාවේ අභිවෘද්ධියට අත්‍යවශ්‍යයි.”

උදුම්බරා හිනැහෙනවා (බඹරු ඇවිත්), හෙමින් සැරේ පියාවිදා (හංස විලක්) ආදී චිත්‍රපට ගීත කොපමණ වාර ගණනක් ඇසුවත් වින්දනය වැඩිවෙනවා මිස අඩුවීමක් නොවන්නේ එහි සංගීතයේ විශ්වීය ගුණය නිසාවෙනි.

දිළිඳු පවුලක දරුවන් 13 දෙනෙකුගේ බාලයා ලෙස කේමදාස උපන්නේ 1937 ජනවාරි 25 දා වාද්දුවේදීය. සංගීතයට ඔහු ඉමහත් කැමැත්තක් තිබුණත් ඔහුට ඒ සඳහා වත්කමක් තිබුණේ නැත. අඩුම මුදලකට තිබුණු බටනලාවක් මිලදීගෙන ඔහු එය වැයීමට පුරුදු වුණේය. සිනමාව මතු නොව සරල ගීතය, සංධ්වනිය, ඔපෙරාව, වේදිකා නාට්‍යය හා ටෙලිනාට්‍යය තුළ ඔහුගේ ප්‍රතිභාව සලකුණු විය. “මහාසාර සඳහා ඔහු නිර්මාණය කර තිබුණු සංයුක්ත වාදනය ඒ නාට්‍යයේ රසයට අපූරු ලෙසට යෝග්‍ය වී යයි මට සිතුණි. කේමදාස සූරීන් නිර්මාණය කරන ලද සංගීතයෙන් නාට්‍යයේ අර්ථය ඉස්මතු වී ආවේ යයි මට සිතුණි.” මහාචාර්ය සරච්චන්ද්‍ර සඳහන් කරයි. මහාසාරට අමතරව හිත හොඳ අම්මන්ඩි මරාසාද්, නැට්ටුක්කාරී, අංගාරා ගඟ ගලාබසී, ඒකා අධිපති, මකරාක්ෂයා, සාක්කි හා සත්‍යාංගනාවී ආදී වේදිකා නාට්‍ය රාශියක් ඔහුගේ සංගීතයෙන් ඔපවත් විය. නාට්‍ය අංගරචකයකු වශයෙන් ප්‍රකට කලාකරුවකු වන බුද්ධදාස ගලප්පත්ති අප සමඟද  අදහස් දැක්වූයේ මෙලෙසිනි.

“මම කේමදාස මාස්ටර්ගේ සංගීතයට කොච්චර කැමතිද කියනවානම් ඔහු පවත්වාගෙන ගිය සංගීත මංජරියේ හාර්මෝනියම් ඉගෙනගන්නත් ගියා. මාස්ටර් මගේ කවිවල රසිකයෙක්. ගීතයකටත් ඔහු මගේ කවියක් යොදාගත්තා. ඔහුගේ ඔපෙරා දෙකකට මම අංගරචනයෙන් සහභාගි වුණා.

මෙරට සංගීතලෝලී, සංගීත ප්‍රිය සුවහසක් රසික ප්‍රජාව මෙන්ම, සැබෑ ප්‍රබුද්ධ සංගීත රසාස්වාදයට හිතැති, පුරුදු පුහුණු වී සිටින ප්‍රබුද්ධ හෝ විදග්ධ ජන සමූහය අතර ඔහු කේමදාස මාස්ටර්. සංගීත ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම සංගීත නිර්මාණ ක්ෂේත්‍රයේ මාස්ටර් ඔහුමයි. බෙග් මාස්ටර්, අමරදේව මාස්ටර් ගායක ලොව මාස්ටර්ලා ලෙස හැඳින්වුවත්, චිත්‍රපටයකදී වේදිකා නාට්‍යයකදී රූපවාහිනී නාට්‍යයකදී සංගීතය කාගෙද, සංගීතය මාස්ටර්ගෙ යයි පිළිතුරක් ලැබුණහොත් එය අනිවාර්යයෙන්ම කේමදාසගේ. ඔහු අවිවාදාත්මකව සිංහල චිත්‍රපට සංගීතයෙහි, Maestro මයිස්ට්‍රෝය. මාස්ටර්, සංගීත යුග යාත්‍රිකයායි.

ගොළු හදවතින් ඇරැඹි, වාසනා, නිධානය, ලොකුම හිනාව, සිරි මැඳුර, බඹරු ඇවිත් හා හංස විලක් යන චිත්‍රපට සංගීත සංයෝජන හා ඇතැම් චිත්‍රපට සඳහා නිර්මාණය කරන ලද ගීත ප්‍රේක්ෂක ශ්‍රාවක මතකය අත්නොහැර සිටින බව අපි දන්නවා. ගොළු හදවත හෝ නිධානය වැනි චිත්‍රපටයක පසුබිම් සංගීතය පමණක් අප මතකයෙහි නින්නාද දෙන්නේ, ඒ චිත්‍රපට එකදු ගීතයකින් හෝ තොර වූ ඒවා බව අපට සිහිපත් කරමින්. චිත්‍රපටයක කලාත්මක හා සිනමාරූපී සංගීතය පිළිබඳ කතාබහ කිරීමට ගීත අවශ්‍යමද? ගොළු හදවත චිත්‍රපටයේ තේමා සංගීතය ඊට නිසි පිළිතුර සපයනවා. චිත්‍රපටය පුරා වරින් වර ඇසුණු තේමා ගී වාද්‍ය ඛණ්ඩය පසුගිය දශක කිහිපය පුරා නව නිර්මාණ රුසක් ප්‍රතිනිර්මාණයෙහිලා දායක වූ අයුරු අපට සිහිගන්වනවා. ඒ රංගන ලීලා ඇතුළත් ජවනිකා නෙක ප්‍රසංග තුළ අපි දැක තිබෙනවා.”

ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට සංගීතයේ ඇති වැදගත්කම මතුකර දුන් පුරෝගාමියා වශයෙන් ද කේමදාස සලකුණ වේ. ජයන්ත චන්ද්‍රසිරිගේ දඬුබස්නාටානය හා වෙදහාමිනේ ඒ අතර ඉදිරියෙන් සිටී. ඇල්ල ළඟ වලව්ව, පුරසක්මන, ගඟුලෙන් එගොඩට, අසල්වැසියෝ වැනි ටෙලිනාට්‍යවල සංගීතය ද තවමත් අප සිත්වල නින්නාද දෙයි.

 කුසුම්සිරි