2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

පිළිකා යකා ගුද මාර්ගයේත්!

 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 4468

ආහාර මාර්ගයේ බඩවැල් සහ ගුද මාර්ගයේ ආශ්‍රිතව ඇතිවන පිළිකා තත්ත්වයන් අද වෙද්දී බහුල වෙමින් පවතී. ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මකව මෙය පැරැණි ග්‍රන්ථ ඔස්සේද කතාකර ඇත. ශරීරයේ ඇතිවන මෙවැනි තත්ත්වයන් පිළිකාමය තත්ත්වය සහ පිළිකාමය නොවන තත්ත්වය ලෙස කොටස් දෙකකට බෙදේ. නමුත් අතීතයේදී අද මෙන් මෙම පිළිකාමය රෝග තත්ත්ව බහුලව දක්නට නොලැබුණි. අතීත මිනිසුන්ගේ ජීවන රටාව, ඔවුන් ජීවත් වූ පරිසරය මෙන්ම ඔවුන්ගේ ආහාර රටාවද මෙයට හේතුවිය හැක. වර්තමානයේදී ජීවන රටාවේ ඇති බොහෝ වෙනස්වීම් නිසා මෙවැනි තත්ත්වයන් බහුලව ඇතිවේ.

ගුද මාර්ගය ආශ්‍රිතව ඇතිවන මෙවැනි පිළිකාමය තත්ත්වයන් බොහෝ වෙලාවට ඇතිවන්නේ ආහාර මාර්ගය මහා අන්ත්‍රය ආශ්‍රිතවත්, ගුද මාර්ගයට ආශ්‍රිතවත්වයි. මෙය බහුල රෝග තත්ත්වයක් වේ.

මෙවැනි රෝග තත්ත්වයන් ඇති බොහෝ රෝගීන් මෙය අර්ශස් රෝග හා පටලවා ගනිති. බොහෝවිට එවැනි රෝගීන් ප්‍රතිකාර සඳහා පැමිණෙන්නේ අර්ශස් රෝගයටය. නමුත් රෝගියා පරීක්ෂා කිරීමේදී රෝගය වන්නේ පිළිකාමය තත්ත්වයකි.
මෙවැනි රෝගවල රෝග ලක්ෂණ:

  • අධික නිදිමත ගතිය
  • ක්ලාන්ත ගතිය
  • අධික කෙට්ටුවීම
  • බඩ උදරය පුරෝදැමීම
  • වමනය යාම
  • කොන්ද ප්‍රදේශයේ වේදනාව
  • කරකැවිල්ල
  • කාලයක් තිස්සේ වැසිකිළි යාමේදී රුධිරය පිටවීම
  • උදරය ප්‍රදේශයේ ඇතිවන වේදනාව
  • වැසිකිළි යාමේදී මළ වේලීම
  • කෑම අරුචිය

වැනි රෝග ලක්ෂණ ඇතිවීම සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ. කිසිවිටකත් රෝගියාට රෝගය පිළිබඳ අර්ථකථනය නොදිය යුතුය. “මෙය අර්ශස් තත්ත්වයක්. මේක සාමාන්‍ය රෝගයක්” ලෙසින් බොහෝ රෝගීහු තමන්ගේ හිත හදාගන්නට උත්සාහ කර ගොඩ වෙදකමට යොමුවෙති.

තමුන් මෙවැනි වැරදි අවබෝධය නිසා ඔබ පත්වන්නේ ලොකු විනාශයකටය. මෙවැනි තත්ත්වයක් ඇතිවිට වෛද්‍යවරයකු වෙත යොමුවී නිසි පරීක්ෂාවකට ලක්වෙන්න. මෙය ඇතැම්විට බරපතළ මාරාන්තික තත්ත්වයක් බවට පත්විය හැක. එමඟින් ඒ අවට ඉන්ද්‍රියන්ටද හානි ඇතිවිය හැක.

මුල් අවස්ථාවේදීම මෙවැනි රෝගීන්ට නිසි ප්‍රතිකාර ලබාදීමෙන් පිළිකාව වර්ධනය වීම, පැතිරීම සහ එහි ඇති සංකූලතා පාලනය කිරීමට හැකියාවක් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සතුව පවතී. ආයුර්වේදයට අනුව ශල්‍ය කර්මයකින්ද මෙහි සුවකරගත හැක. ශල්‍යකර්ම පිළිබඳව ආයුර්වේදයේ ඇත්තේ දීර්ඝ සහ සාර්ථක ඉතිහාසයකි. මේ පිළිබඳව රෝගියාගේ අවබෝධය සහ විශ්වාසය ඉතා වැදගත් වේ.

පිළිකාවක් වැනි දෙයක් ඇතිවීමට ආහාර පාන, පාරිසරික සහ සාමාජික හේතුන්ද බලපායි. ජානමය හේතුන් නිසාද සමහර පිළිකා තත්ත්වයක් ඇතිවේ. විශේෂයෙන් මහ බඩවැල ආශ්‍රිත, ගුද මාර්ගය ආශ්‍රිතව ඇතිවන පිළිකාමය තත්ත්වයන් බොහෝවිට ජානමය හේතුද බලපායි.

විෂ සහිත, ආමය සහිත, අපිරිසිදු ආහාර මඟින්ද යම් යම් හේතුන් නිසා අපි ගන්නා කටු වර්ග, ඇට වර්ග නිසාද ගුද මාර්ගය ආශ්‍රිත ප්‍රදේශ තුවාල ඇතිවී පිළිකාමය තත්ත්වයන් ඇතිවීමට පුළුවනි. එවැනි දේ පිළිබඳව අවබෝධයක් ලබාගැනීම ඉතා වැදගත් වේ. විශේෂයෙන් බොහෝ අය මස් ආහාරයට ගැනීමේදී කටු සපා කෑමට හුරැවී සිටිති. නමුත් එම කටු හේතුවෙන් ශරීරයේ අවයවවල තුවාල සිදුවීමට බොහෝ විට ඉඩ ඇත.

මහාන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ ඇතිවන පිළිකා මාරාන්තික රෝග තත්ත්වයන් වීම වළක්වා ගැනීමට එහි මුල් අවස්ථාව හඳුනාගෙන එයට ප්‍රතිකාර ගැනීම ඉතා වැදගත් වේ.

බොහෝ වේලාවට මෙවැනි රෝගීන් මළපහ කිරීමේදීද රුධිරය විදීමක් සිදුවේ. එයට හේතුව වන්නේ එවැනි තැන් ආශ්‍රිතව හටගන්නා තුවාල ඉතා විශාල මෙන්ම වේදනාකාරී වීමය. එමෙන්ම මෙවැනි රෝගීහු බොහෝවිට ඇල්මැරුණු ස්වභාවයෙන් ජීවත් වෙති. දිගින් දිගටම රෝගියාගේ ශරීරයෙන් රැධිරය පිටවීම නිසා ඔහු ඉතා ඉක්මණින් දුර්වල තැනැත්තෙක් වේ.

මේ නිසා මෙවැනි රෝග තත්ත්වයක් ඇත්නම් ඉක්මණින් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු මුණගැසීම අවශ්‍යයි. විශේෂයෙන් ඔහුගේ නිසි පෝෂණය පවත්වාගෙන යාම ඉතා වැදගත්වේ. පිළිකාමය තත්ත්වය නිසා අපගේ ශරීරයේ ශක්තිය අධික ලෙස වැයවේ. පිළිකාවක් යනු පිළිලයකි. පිළිලයක් පෝෂණය වන්නේ මව් ශාකයෙනි. ඒ මත යැපේ. 

ඒ ආකාරයට යම් අයකුගේ ශරීරයෙත් පිළිකාවක් වර්ධනය වෙද්දී එම ශරීරයෙන් මේ සියල්ලම අවශෝෂණය කරගනී. මේ නිසා නිසි පෝෂණයක් පවත්වාගෙන යාම ඉතා වැදගත් වේ.

රෝගියා ශක්තිමත් නම් මානසික හා කායික වර්ධනය තුළින් රෝගය මැඩපවත්වා ගැනීමට තියෙන අවස්ථාව වැඩිය. එමෙන්ම ඖෂධ ප්‍රතිකාරවලදීද රෝගියාගේ මානසික, කායික වර්ධනය ඉතා වැදගත් වේ. 

ශල්‍ය කර්මයක් කළද ඒ ශරීරය රෝගියාට ඔරොත්තු දිය යුතුය. මේ රෝග තත්ත්වයකදී නිසි පෝෂණය ඉතා අත්‍යවශ්‍ය වන්නේ එනිසාය.

I දිශානි