2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා

බාලගිරි දෝෂයේ සීල් ඒක දිගටම වදින පුංචි ඡන්දය

 2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 96

 

කුඩා දරුවන් සිටිනා නිවෙස්වල ප්‍රධාන දොරෙහි එහෙම නැතහොත් උළුඅස්සෙහි බාලගිරි දෝෂ අද නොව හෙට යනුවෙන් සටහන් කර ඇති ආකාරය අපි අනන්තවත් දැක ඇත්තෙමු. අත දරුවකු අඬනාවිටදී නිරතුරුවම එලෙස හඬන්නේ බාලගිරි දෝෂයට හසුවී ඇති නිසාවෙන් බැවින් බාලගිරි දෝෂය අද නොව හෙට යනුවෙන් එලෙස සටහන් කිරීමට අතීතයේ මව්වරු පුරුදුව සිටියහ. එය ඔවුන්ගේ විශ්වාසය පරිදි බාලගිරි යක්ෂයා රැවටීමට ඔවුන් යෙදූ උපායකි. මන්ද ඒ හෙට යනුවෙන් දවසක් නොමැති නිසාවෙනි. යමෙකුට වැඩක් පැවරූ විටදී හෙට කරදෙන්නම් යනුවෙන් පැවසූ විට එයත් හරියට බාලගිරි දෝෂය වගේදැයි ඇසීමට අතීතයේ ගැමියන් පුරුදුව සිටියේ එම වැඩේ කල්යන බව දන්නා නිසාවෙනි.

මේ බාලගිරි දෝෂය පිළිබඳව මේ මොහොතේ මතකයට නැඟුණේ ලංකා දේශපාලනයේ ඇතැම් තීරණද බාලගිරි දෝෂය මෙන් දිනෙන් දින කල්යන බැවිනි. ඊට ආසන්නම උදාහරණය වන්නේ එළඹෙන පළාත් පාලන මැතිවරණය විෂයෙහි පැනනැගී ඇති අර්බුදකාරී වාතාවරණයයි.

එළැඹෙන පළාත් පාලන මැතිවරණය අරමුණු කරගනිමින් සකස් කළ සීමානිර්ණ කමිටු වාර්තාව පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යංශයට භාරදීම ජනවාරි මස දක්වා නැවතත් කල්ගොස් ඇත.

පළාත් පාලන මැතිවරණය සඳහාවන මෙම සීමානිර්ණ කමිටුව පත් කෙරැණේ පසුගිය වසරේ දෙසැම්බර් මස පළමුවැනිදායි. පුරා වසරකට අධික කාලයක් එම වාර්තාව බාර දෙන දිනය ලෙස නම්කර තිබුණද තවමත් එය පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යංශය වෙත බාරදීමක් සිදුකර නොමැත.

පළාත් පාලන ආයතනවල මැතිවරණ පැවැත්වීම සම්බන්ධව 2012 අංක 22 නමින් පැමිණි නව පළාත් පාලන සංශෝධන පනතට අනුව කොට්ඨාස ක්‍රමයට මැතිවරණ පැවැත්වීම සඳහා තීරණය වී තිබුණි. ශ්‍රී ලංකාව නව ඡන්ද කොට්ඨාසවලට කැඩීමේ අවශ්‍යතාවයක් මතුවූයේ ඒ අනුවයි.
මේ පිළිබඳ සලකා බැලූ විෂයභාර අමාත්‍යවරයා එය විමර්ශනය කිරීමට කමිටුවක් පත්කළ අතර එම කමිටුව විසින් පසුගිය කාලයේදී මේ සම්බන්ධ වාර්තාවක් අමාත්‍යවරයාටද ලබා දෙන ලදී. එම වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ ඇති පළාත් පාලන ආයතන සංඛ්‍යාව 336කි. එයට ප්‍රාදේශීය සභා 272ක් නගර සභා 41ක් සහ මහ නගර සභා 23ක් අතුළත්ය. එම කමිටුව මගින් පළාත් පාලන ආයතන 336 කොට්ඨාස 4833කට බෙදා වෙන් කළේය.

කෙසේ වෙතත් මෙම සීමානිර්ණ කොමිෂන් සභාවේ වාර්තාව පසුගිය දෙසැම්බර් මස 27 වැනිදා පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යංශයට බාරදීමට නියමිතව තිබුණද දිස්ත්‍රික් කිහිපයක දෙමළ භාෂා පරිවර්තකයන් පරීක්ෂා නොකිරීම හේතුවෙන් එය තවත් දින කිහිපයකින් කල්ගොස් තිබේ.

මේ අතර අගමැති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ මැතිවරණ සීමානිර්ණ කොමිෂන් සභාවේ වාර්තාව අග්‍රමාත්‍යවරයාට පිළිගැන්වීම සඳහා ඉදිරි පාර්ලිමේන්තු සතියේදී දිනයක් ලබාදෙන බවයි. මෙම වාර්තාව වෙළුම් තුනකින් සමන්විත අතර සීමානිර්ණ වාර්තාව. කොට්ඨාස නිර්ණ වාර්තාව සහ සිතියම් වාර්තාව ලෙසින් අතුළත් වනු ඇති.

පෙර සකසා තිබූ සීමානිර්ණ වාර්තාවේ ඇතුළත් බහු මන්ත්‍රී කොට්ඨාසවලින් 175ක් ඉවත්කර ඇති අතර නව වාර්තාවට අනුව ඔහු ආසන 250ක් පිහිටුවා තිබේ. මන්ත්‍රීවරුන් දෙදෙනකු බැගින් ඔහු ආසන 41කින් තෝරාගැනීමක් මන්ත්‍රීවරුන් තිදෙනා බැගින් ඔහු ආසන 9කින් තෝරාගැනීමටත් යෝජනා කර ඇති අතර එයින් ආසන 07ක් කොළඹ නගර සීමාවෙන්ද, ගම්පොල සහ සමන්තුරෙන් එක බැගින්ද මෙයට ඇතුළත් කොට ඇත. එමෙන්ම මෙම වාර්තාවලට අනුව පළාත් පාලන ආයතන 4833කට බෙදා වෙන්කර ඇති අතර සභිකයන් 5092 ඒ සඳහා තෝරාපත් කර ගැනීමට නියමිතයි.

මේ නව ක්‍රියාදාමයන් සමඟින් ඉදිරියේ පැවැත්වෙන පළාත් පලාන මැතිවරණය සාර්ථක අයුරින් පැවැත්වීමට හැකිවනු ඇති බව පළාත් පාලන ආයතන කොට්ඨාස සීමානිර්ණය විමර්ශන කමිටුවේ සභාපති අශෝක පීරිස් මහතා පැවසීය.

මෙම කොට්ඨාස ක්‍රමය මීට පෙරද මේ රටේ ක්‍රියාත්මක වූ ඡන්ද ක්‍රමයක්. වතුකරයේ ජනතාව පළමු වරට තමයි මේ අත්දැකීමට මුහුණ දෙන්නේ. තම ප්‍රදේශවල කොට්ඨාස බෙදීම සිදුකළේ අපි ඉතාමත් පරිස්සමෙන්. එමෙන්ම අපි මෙමගින් බලාපොරොත්තු වන ප්‍රධානම දේ තමයි මනාප ක්‍රමයත් සමඟ නිර්මාණය වූ ඡන්දදායකයා සහ නියෝජිතයන් අතර දුරස්ථ බව අඩුවේවී යන බලාපොරොත්තුව අපිට තියෙනවා. ඔහු පවසයි.
මේ අතර පිවිතුරු හෙළඋරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පසුගිය 27 වැනිදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියාසිටියේ පළාත් පාලන ආයතන සීමානිර්ණ කමිටු වාර්තාව ගැසට් නිවේදනයක් මගින් කඩිනමින් ප්‍රකාශයට පත්නොකළ හොත් ඊට එරෙහිව රීට් නියෝගයක් ලබාගැනීමට අධිකරණය හමුවට යන බවකි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා දැනට බාධාව වී ඇත්තේද මෙම සීමානිර්ණ කමිටුවේ වාර්තාව ගැසට් මගින් ප්‍රකාශයට පත් නොකිරීමයි. මෙම වාර්තාව කඩිනමින් නොදුන්නහොත් පළාත් පාලන මැතිවරණයටද කීමට ඇත්තේ බාලගිරිය මෙන් අද නොව හෙට යන්නයි.

හසිත් අංජන

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00