2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා

පවුලේ ණය ගෙවන්න බෙල්ලේ වැල දාගත් දිලිනි

 2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 180

 

යෞවනියක සිය නි‍ෙවස තුළදී ගෙල වැළලාගෙන දිවි හානිකර ගැනීමේ පුවතින් ඉකුත් දිනක නොච්චියාගම, ළිඳවැව ගම්මානය සසලව ගියේය. මෙසේ මිය ගොස් ඇත්තේ විසි හැවිරිදි වියේ පසු වූ දිලිනි දිල්ෂාරා සෙනෙවිරත්න නැමැති තරුණියයි. විටින් විට නි‍ෙවසට එන මව්පියන්ගේ ණයකරුවන් හේතුවෙන් සිත් තැවුලට පත්වීම ඇයට දිවි හානි කරගැනීමට බලපෑ ආසන්නතම හේතුව බව පැවසේ. ඒ බව ලිපියක සටහන් කොට මෙසේ සිය ඉරණම සියතින් ලිවීමේ වේදනාබර තීන්දුවට ඇය එළැඹ ඇත. 

දිලිනිගේ මව්පියන් පවසා ඇත්තේ ලැබෙන මරණාධාර මුදලද ආධාරයෙන් ණය පියවන ලෙස ඇය සිය ලිපිය මගින් දන්වා ඇති බවය. එහෙත් ගැමියන් පවසනුයේ මරණාධාර ලෙස ලැබෙනුයේ රුපියල් ලක්ෂයකටත් අඩු මුදලක් බවය. එසේ නම් සිදුවූයේ කුමක්ද? දවස උදාවේදීත්, මළහිරු බැස යද්දීත් නිවසට එන ණයකරුවන් හේතුවෙන් ඇය ලජ්ජාවට පත්වූවා විය හැකිය. මව්පියන් අතර පවතිනවායැයි පැවසෙන ආරවුල් ඒ සඳහා හේතුවන්නට ඇතැයි සමහර ගැමියෝ පවසති.

අනුරාධපුර - පුත්තලම මාර්ගයට මායිම්ව නොච්චියාගම නගරයට කිලෝ මීටර් 06 ක් පමණ ඔබ්බෙන් පිහිටි ළිඳවැව ගම්මානය ප‍්‍රදේශයේ ඉපැරණි සාම්ප‍්‍රදායික ගම්මාන කිහිපය අතර රැඳෙන්නකි. මහවැලිය මෙහි එන්නට පෙර සිටම මෙය ජනාවාසව පැවැති බව ගැමියෝ පවසති. හේන, කුඹුර, තවමත් ශේෂව ඇති පිටිසර බව මෙහි අනන්‍යතාවයයි. කලකට ඉහත දී ප‍්‍රසන්න විතානගේ මහතාගේ පුරහඳ කළුවර සම්මානනීය සිනමා කෘතිය රූගත කළේ ද මේ ගම්මැද්දේදි බව ගැමියෝ කියති.  දිලිනිගේ මව්පියන්ද මෙහි පාරම්පරික පදිංචිකරුවන්ය. මහවැලියෙන් ලද අක්කර දෙකහමාරක කුඹුර ඉතා මෑතකදී ඇයගේ මව්පියන් විසින් ලක්ෂ ගණනකට ගමේම අයකුට විකුණා දැමූ බව ගැමියෝ පවසති. කරුණු එසේ තිබියදීත් ණය බර ඛේදවාචකයකට මඟ පෑදූයේ කෙසේද යන්න මේ කිසිවකුත් හරිහැටි නොදන්නේය.

දිලිනිගේ පියා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත අයකු බවත්, ඇගේ මවද මෑතක සිට යම් රැකියාවකට යන බවත් ගැමියෝ කියති. ළිඳවැව ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය හමාර කළ දිලිනිද පමාවකින් තොරවම නොච්චියාගම නගරයේ පෞද්ගලික ආයතනයක රැකියාවකට ගොස් ඇත්තේ පවුලේ බිඳවැටීම හොඳ හැටි දැන සිටි නිසා විය යුතුය. 

ඉකුත් දිනක ඇය සිය රැකියාවට නොගියේ උඳුවප් අඩ සඳ අඳුරු වළාවකින් වැසී ගිය රාත‍්‍රියක මැදියම තෙක් කල්පනා කොට ගත් තීන්දුව කාටත් රහසේ ක‍්‍රියාත්මක කිරීමේ අරමුණෙන්ය. එදින මව හා පියා රැකියාවන් සඳහා පිටත්ව ගිය පසු නිවසේ රැඳී ඇත්තේ දිලිනිත්, ඇගේ නැගණියන් දෙදෙනාත් පමණි. පාසල් නිවාඩුවද ලැබී ඇති බැවින් අක්කා නිවසේ රැඳීම නැගණියන්ට මහමෙරක් මෙන් වී ඇත. කෙළිදොළෙන් ගෙවී යන දවස දෑස කඳුළින් පුරවා හමාර වේයැයි මේ නැගණියන් දැන සිටියේ නැත. 

අවසන නිවස ආසන්නයේ ඇති කඩයට සිය නැගණියන් දෙදෙනා පිටත් කර යැවූ දිලිනි තම කාමරය තුළදී ගෙල වැලලාගෙන ඇත. 
වරද ඈ අතද? මව්පියන් අතද? මේ සමාජය තුළද? ඒ ප්‍රශ්නයට පිළිතුර කුමක් වුවත් සියදිවි නවාසගන්නට ගන්නා තීරණය කවර ආවේගයක් කරණකොටගෙන ගත්තත් එය අපි කිසිසේත්ම අනුමත නොකරමු. ජීවිතය යනු ඔබ මා ඉල්ලා හිඳින සියල්ලේ සංකලනයක් නොවේ. අපට රිසි නොවන දෑද ජීවිතයේ උරුමය විය හැක. ලද මනුෂ්‍ය ජීවිතයට නියම අරැත් සපයන ජයග්‍රාහකයෙක් වන්නේ දුක දින ජීවිතය ජයගත් විටය. එසේ නැතිව දුෂ්කරතා අභියෝගතා දරා නොගෙන ජීවිතය හැර දැමීම වීරත්වයක් නොවේ. එය පරාජිතකමේ ලක්ෂණයකි. කවරාකාරයෙන් සියදිවි නසාගැනීම් සමාජය සාධාරණීකරණය කරන්නට උත්සාහ කළත් ඊට කවර සමාජ විද්‍යාත්ම සිද්ධාන්ත ගෙන හැර පෑවත් අපි එය අනුමත නොකරමු.  
හැමදාමත් ඈ නෙත ගැටෙන වැව් දිය නිසලව මුළු ගමම ඛේදවාචකයක හඬින් දෙදරැම් කන්නට විය. ඉකුත් දිනක ධවල ධජ පතාක මැදින් ඇය නික්ම ගියේ මුළු මහත් ළිඳවැව ගමෙහි පමණක් නොව ප‍්‍රදේශයේ බොහෝ දෙනෙක්ගේ හදවත් කම්පාවට පත් කරමිනි. තවත් බොහෝ දෑ කළ හැකිව තිබියිදීම ඇය නික්ම ගියාය.

ණය නොමැති බව සැපයට, සතුටට හේතුවන බව බුද්ධ දේශනාවේ ද දැක්වෙන්නකි. එහෙත් අකාරුණික, මිලේච්ඡ තරගයක කොටස්කරුවන් වන සමහරකුට ඒ වග අමතකව පහසුවෙන් මිදිය නොහැකි ණය බරින් මිරිකී පීඩා විඳිති. නේක ගැටුම් මැදින් පවුල් පරිසරයේ නොතිත් බිඳවැටීමටද එයම හේතු වේ. අවසන සැනසීමට හේතුවන කිසිත් ශේෂ නොවන තරම්ය. දිලිනිගේ කතාවද ඒ සඳහා කදිම නිදසුනක් බව මෙහි ගැමියෝ පවසති.  

කතාව හා සේයාරූ - තඹුත්තේගම ප‍්‍රදීප් රණතුංග