ගුවන්තොටුපොළ සිගරැට් ජාවාරම
ශ්‍රී ලංකාවේ දුම්වැටි නිෂ්පාදනය හා අලෙවිය එදා - මෙදා තුර ඒකාධිකාරී අයිතියක් ලෙස තවමත් බ්‍රිතාන්‍යයට අයත් දුම්කොළ සමාගම සන්තකයේ තබාගෙන සිටී. වර්තමානයේ මෙම දුම්වැටි මහා ජාවාරමක් බවට පත්ව, එය රටම වෙලා ගනිමින් පවතී. මෙය ශ්‍රී ලංකාවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුෙපාළ මුල් කර ගනිමින් ක්‍රියාත්මක වෙමින් තිබේ.
මෙම දුම්වැටි ජාවාරමටද, ආර්ථික විද්‍යා න්‍යායක් උපයෝගී වී තිබේ. එනම් ජාත්‍යන්තර වශයෙන් වෙනත් රටවල දුම්වැටි මිල සාපේක්ෂ වශයෙන් පහළ මට්ටමක පවතිද්දී, අපගේ ශ්‍රී ලංකාවේ දුම්වැටි මිල ඉහළ ගියහොත්, මෙම ජාවාරම ඉබේම සක්‍රීය වීමට පටන් ගන්නේ ජාවාරම්කරුවන්ගේ මඟ පෙන්වීම මතය. ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන් විදේශ ගත වන්නේද මෙම න්‍යාය මතය. එනම් විදේශීය ශ්‍රම වෙළෙඳපොලේ සාපේක්ෂව වැඩි වැටුප් ගෙවන විට, ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝද ශ්‍රී ලංකාව හැරදා වෙනත් විදේශීය රටවල් කරා වැඩි වැටුපට එම රටවලට සංක්‍රමණය වෙති.
එමෙන්ම වර්තමාන කූඨ ජාවාරම්කරුවෝද, කාලයෙන් කාලයට තම ආර්ථික වාසි තකා විවිධ ජාවාරම් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුෙපාළ ඔස්සේ ක්‍රියාත්මක කරති. වඩාත් සුලභව ගුවන් තොටුපොළ ඔස්සේ ක්‍රියාත්මක වූයේ රත්තරන් ජාවාරමයි. මේ සඳහා ඔවුහු රන් කුට්ටි හෝ අර්ධ වශයෙන් වැඩ නිම නොකළ ස්වර්ණාභරණ යොදා ගත්හ. මේවා විශේෂයෙන්ම ඉන්දියාවේ චෙන්නායි, ඩුබායි වැනි නගර කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක විය. ජාත්‍යන්තර වශයෙන් රත්තරන් මිල පහළ ගියවිට මෙම ජාවාරම්කරුවෝ ශ්‍රී ලංකාවෙන් රත්තරන් තොග පිටින් පෙරකී නගර කරා පිට කිරීමට පෙළඹී සිටියහ .
එමෙන්ම ශ්‍රී ලංකාවට සාපේක්ෂව ජාත්‍යන්තර වශයෙන් රත්තරන් මිල ඉහළ ගොස් ඇති විට තොග පිටින් රත්තරන් ශ්‍රී ලංකාවට ගෙන ඒමටද ඔවුහු ක්‍රියා කළහ. ඒ සඳහා විවිධ උපක්‍රම මෙන්ම, ගුද මාර්ග ද උපයෝගී කර ගැනීමට තරම් ඔවුහු සූක්ෂම වී සිටියහ .
2016 ශ්‍රී ලංකාවේ අය - වැය ලේඛනයට මාස දෙකකට පමණ පෙරදී , ශ්‍රී ලංකාවේ සිගරැට් මිල එකවරම විශාල ලෙස ඉහළ ගිය අතර, යළිත් 2016 අය - වැය ලේඛනයේ නිර්දේශ මතද සිගරුට් මිල යළි ඉහළට නැගීමක් දක්නට ලැබුණි. ඒ අනුව වර්තමානයේ සිගරැට්ටුවක මිල රුපියල් 50/= පමණ සීමාවේ පවතී.
එහෙත් ජාත්‍යන්තර වෙළෙඳපළේ සාමාන්‍ය සිගරැට්ටුවක මිල රුපියල් 2.50 ක තරම් අඩු මට්ටමක පවතින බැව් කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ ප්‍රකාශකයෙක් අනාවරණය කළේය. මේ තත්ත්වය ජාවාරම්කරුවන් සලිත කරන්නට සමත්ව තිබේ. ඔවුන් සියලු ජාවාරම් පසෙකලා මෙම සිගරැට් ජාවාරමට අත ගැසීමට පෙළඹී සිටින ප්‍රධාන ආර්ථික විද්‍යත්මක පසුබිම් සාධකය බවට පත්ව තිබේ. මෙම සිගරැට් විශේෂයෙන්ම චීනය සහ ඩුබායි යන රට සහ නගර වල නිෂ්පාදිත ඒවා වන අතර, ප්‍රධාන වශයෙන් චීනයේ නිෂ්පාදිත ටොප් මවුන්ටන් වර්ගයේ සිගරැට් බහුලවම මෙම ජාවාරමට යොදාගන්නා සිගරැට් වර්ගය වී තිබේ.
ශ්‍රී ලංකාව තුළ දුම්වැටි නිෂ්පාදනය හා බෙදාහැරීම සඳහා නීතිමය බලය ඇත්තේ බ්‍රිතාන්‍යයට අයත් ලංකා දුම්කොළ සමාගමට පමණි. එයින් පරිබාහිරව කිසිවකු දුම්වැටි විදේශයන්ගෙන් ගෙන්වීම, බෙදාහැරීම සිදු කළහොත් එය නීතිවිරෝධී වෙයි. මීට පෙරද එකල රජයේ ප්‍රබල අමාත්‍යවරයකුගේ මූලිකත්වයෙන්, කටුනායක නිදහස් වෙළඳ කලාපයේ බෙල්ජියම් සමාගමක නිපදවන දුම්වැටි තොගයක්, ප්‍රමාණයෙන් කුඩා කර, සුරුට්ටු වර්ගයක් ලෙස හඳුන්වා ශ්‍රී ලංකාවේ වෙළඳෙපාළට යොමු කිරීමට තැත් කළ මුල් පියවරේදීම, ලංකා දුම්කොළ සමාගම අධිකරණය යොදාගෙන එම දුම්වැටි වෙළඳෙපාළ තුළින් ඉවත් කිරීමට පියවර ගත්තේ, ශ්‍රී ලාංකික වෙළඳ පළට මෙම දුම්වැටි යළි පිවිසීමට සපුරා තහනම් කරමිනි. මෙවන් පසුබිමක් තුළ මෙම ජාවාරම්කරුවන් ඉතා සූක්ෂම ක්‍රම, කටුනායක ගුවන්තොටුපොළ තුළ, මෙම විදේශීය නිෂ්පාදිත සිගරුට් මෙරටට ගෙන ඒමට යොදා ගනිමින් තිබේ.
එසේ වීමට හේතුව කටුනායක ගුවන් තොටුපොළෙන් ශ්‍රී ලංකාව තුළට රැගෙන එන සියලුම දෑ රේගුවේ දැඩි සුපරීක්ෂාවට ලක්වීමයි. එනිසා මෙම ජාවාරම්කරුවන්ගේ පළමු ප්‍රයත්නය රේගු නිලධාරීන්ගේ අවධානය වෙනතකට යොමු කොට, ගුවන් තොටුපොළින් මෙම සිගරැට් තොග පිට කර ගැනීමටයි. මෙසේ මෙම සිගරැට් ජාවාරමට වැඩිපුරම යොමු වී සිටින්නේ ඉන්දියානු ජාතිකයන් පිරිසකි. ඊට අමතරව ශ්‍රී ලාංකික සුළු ජන වර්ගයකට අයත් පිරිසක්ද මෙම ජාවාරමට එක් වී සිටිති. මොවුන් මීගමුව පෙරියමුල්ල ප්‍රදේශය මුල් කර ගනිමින්, මුළු ශ්‍රී ලංකාව පුරාම මෙම සිගරැට් බෙදාහැරීමේ ජාලයක්ද පවත්වාගෙන යන බව පොලීසියට අනාවරණය වී තිබේ. ඔවුන් වැඩි වශයෙන්ම මෙම සිගරැට් රැගෙන පැමිණෙන්නේ ඉන්දීය නගරවල සිට පැමිණෙන ගුවන් යානාවලය. මෙම ගුවන් යානාවල, බොහෝ රෙදිපිළි වෙළඳාමේ යෙදෙන පිරිස් ද පැමිණීම සුලභව සිදුවෙයි.
එහෙත් මේ පිරිස් සමඟ මෙම සිගරුට් ජාවාරම්කරුවන් එකම ගුවන් යානයෙන් පැමිණියද, ඔවුහු ගුවන් තොටුපොළේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණ ප්‍රදේශය ආශ්‍රිතව පැය ගණනාවක් රැඳී සිටිති. මැද පෙරදිග ඩුබායි, කුවේට්, බහරේන්, ඕමාන්, සෞදි අරාබිය ආදී රටවල සිට පැමිණෙන ගුවන් යානා වල මගීන් සමඟ මිශ්‍ර වෙමින්, කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ග්‍රීන් චැනල් ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යෑමට තැත් කරති. මෙය රේගු ඇසට වැලි ගැසීමේ උපක්‍රමයකි.
ඔවුන්ගේ අනෙක් උපක්‍රමය වන්නේ මැද පෙරදිග සේවය කර පැමිණෙන ගෘහ සේවිකාවන්ට, මෙම සිගරැට් තොග ලබාදී, ගුවන් තොටුපොළෙන් පිටකර ගැනීමට ඔවුන්ගේ උපකාරය ලබා ගැනීමයි. මේ සියල්ල අසාර්ථක වනවිට, ඔවුහු තම සිගරැට් තොග, කාටූන් වලින් ඉවත් කොට, පැකට් වශයෙන් එක දෙක, තමන් රැගෙන එන රෙදි - පිළි අතර සඟවා ගනිමින් ගුවන් තොටුපළෙන් පිටකර ගැනීමට උත්සාහ දරති. එසේම ගුවන් තොටුපළ රේගුවට අමතරව මෙවැනි වැටලීම් සිදු කිරීමට මෙන්ම භයානක ඝනයේ මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීමට, ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ද ගුවන් තොටුපොළ තුළ ක්‍රියාත්මක වෙමින් සිටිති.
මෙම දෙපාර්ශවටම අමතරව ගුවන් තොටුපොළින් කුමන ආකාරයකින් හෝ යම් ද්‍රව්‍යයක් පිට කළහොත්, ඒවා අත්අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීහු සිවිල් හා රාජකාරි නිල ඇඳුමින්, පැය 24 පුරා ගුවන් තොටුපළ තුළ කටයුතු කරමින් සිටිති. ඒ අනුව මෙම ජාවාරම්කරුවන් තම සිගරැට් තොග සමඟ කෙසේ හෝ ගුවන් තොටුපොළෙන් පිටමං වුවද, ඔවුන් ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීන්ට කොටු වීම සුලභව සිදු වෙමින් පවතී. මේ අතරේ මෙම සිගරැට් ජාවාරම්කරැවන් තම නීතිවිරෝධී සිගරැට් තොග කටුනායක ගුවන් තොටුපොළින් පිටකරන සුවිශේෂී උපක්‍රමයක් මෙම පොලිස් නිලධාරීන් පසුගියදා අනාවරණය කරගෙන තිබුණි.
එනම් මෙම ඉන්දීය ජාතික ජාවාරම්කරුවෝ රටෙන් බැහැරට යෑම සඳහා අවශ්‍ය සියලු නිත්‍යනුකූල ලියකියවිලි සමඟ ගුවන්තොටුපළට පැමිණ, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අනුමැතිය සහිත මුද්‍රා තබාගෙන, අදාළ ගුවන් යානය පිටත්ව යනතුරු, ගුවන් තොටුපොළ ගුවන්යානා වේදිකා අසල රැඳී සිටිති. එහෙත් ගුවන් යානාවකට ගොඩ නොවෙති. යළිත් මැද පෙරදිග සිට පැමිණෙන ගුවන් යානා පැමිණීමත් සමඟ, එම මගීන් සමඟ මිශ්‍රවෙමින් රට තුළට පැමිණෙන මගීන් සේ ගුවන් තොටුපොළෙන් රට තුළට පැමිණීම මේ ජාවාරමයි.
මෙසේ පිටත්ව යෑමට නියමිත ගුවන් යානයට නොනැග සිටිමින්, මැද පෙරදිග සිට ගුවන් යානයක් පැමිණෙනතුරු ගතවන කාලය තුළ කරන්නේ කටුනායක ගුවන් තොටුපොළ තුළ පිහිටි තීරුබදු රහිත සාප්පු සංකීර්ණයෙන් සිගරැට් තොග පිටත්ව යන ගුවන් මගියකු ලෙස පෙනී සිටිමින් මිලට ගෙන සඟවා ගැනීමයි. පසුව මැද පෙරදිග සිට පැමිණෙන ගුවන් මගියකු සේ ඔවුහු ගුවන් තොටුපොළෙන් පිටව යති. මෙම ක්‍රියාදාමය සඳහා ඇතැම් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මෙන්ම, තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ ඇතැමුන්ගේද, මනා සහයෝගයක් මෙම ජාවාරම්කරුවන් ලබාගෙන ඇති බැව් ගුවන් තොටුපොළ පොලීසිය අනාවරණය කරගෙන තිබේ.
ඊට අමතරව සෘජුවම ගුවන් තොටුපොළ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයන් ලවා මෙන්ම, ගුවන් තොටුපොළ සුළු සේවක පිරිස් ලවාද, මෙම ජාවාරම්කරුවෝ සිගරුට් තොග, ගුවන් තොටුපොළෙන් පිට කර ගනිති. ගුවන් තොටුපොළ පොලීසියට මේ ගැනද තොරතුරු ලැබී ඇති බැව් පොලිස් ප්‍රකාශක වැඩිදුරටත් අනාවරණය කළේය. මේ ආකාරයට ගුවන් තොටුෙපාළ තුළින් පිටකරන සිගරැට් තොග පොලිස් අත්අඩංගුවට පත් වූ විට ඒවා එම පිරිස්ද සමඟ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කරන පොලීසිය, පසුව අධිකරණ නියෝග මත මෙම සිගරැට් තොග රාජසන්තක කර, දඩ මුදල් ද අය කර ගැනීමෙන් අනතුරුව මෙම ඉන්දීය ජාතිකයන් රටින් පිටුවහල් කරනු ලබයි. එහෙත් සුළු කාලයකින්, යළිත් මෙම ඉන්දීය ජාතික පිරිස් , කටුනායක ගුවන් තොටුපළින් සිගරැට් තොග සමඟ පිටතට පැමිණ පොලීසියට කොටු වීම කනගාටුදායක මෙන්ම සුලභ සිද්ධියක් බවට පත්ව තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකාවේ පිට පළාත්වල මෙම විදේශීය සිගරැට් පිළිබඳව පාරිභෝගික ජනතාව මෙන්ම, ව්‍යාපාරික ප්‍රජාවද එතරම් දැනුම්වත් නොමැති අතර, අඩු මිලට මෙම සිගරැට් ලබාදීම, එම ප්‍රදේශවල මෙම සිගරැට් ප්‍රචලිත වීමට හේතු වී තිබේ. එසේම මෙම සිගරැට් ජාවාරම පිට පළාත්වල මැඬලීමට නීතිය ක්‍රියාත්මක කරන අංශද තවමත් හරිහැටි දැනුවත් නොවී ඇති බවද ගුවන් තොටුපොළ පොලිස් ප්‍රකාශක වරයා පැවසීය. විශේෂයෙන් ගුවන් තොටුපොළ තුළ ගුවන් යානා පිවිසුම් වේදිකා ඇතුළු ආගමන විගමන දෙපාර්තමේන්තු මෙන්ම රේගු පරිශ්‍රද ආවරණය වන පරිදි සමස්ත ගුවන් තොටුපොළම CCTV කැමරා මගින් නිරීක්ෂණය කිරීමේ පහසුකම්ද ගුවන් තොටුපළ තුළ ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවක්ද වර්තමානයේ පැනනැගී තිබේ .
මේ පිළිබඳව මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියලාල් දසනායක, මීගමුව සහකාර පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේ උපදෙස් මත කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්නක කොබ්බෑවල, පොලිස් පරීක්ෂක රත්න කුමාර, පොලිස් පරීක්ෂක අනූෂ රූපසිංහ, පොලිස් සැරයන් 27667 රාජපක්ෂ, පොලිස් කොස්තාපල්වරුන් වන 5546 අබේරත්න, 67273 ආලෝක සහ 88765 දිසානායක යන මහත්වරු විශේෂ පරීක්ෂණ වැඩ පිළිවෙළක් කටුනායක ගුවන් තොටුෙපාළ තුළ හා ඒ අවට ක්‍රියාත්මක කරමින් සිටිති.
♦ කටුනායක ටී.කේ.ජී. කපිල