2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා

ෆෝන් ඒක ගිලගත් සුබපැතුම්පත්

 2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 525

 

අපි දෙදහස් දහසය අවුරුද්දට ආයුබෝවන් කීවෙමු. නැගෙනහිරු පෙර පුරුදු පරිද්දෙන් පායා ආවේ දෙදහස් දහසයේ මතක මීදුම අතරිනි. දැන් නමෝ විත්තියෙන් දෙදහස් දාහත උදාවී ඇත. ඈත අතීතයේ එසේ කීවද එය වසර ගණනාවක් ඈත නොව මීට වසර දහයකට පමණ පෙරාතුව වසරක් ගෙවී තවත් වසරක් උදාවීම මහත් සංතෝෂයක් ගෙන දුන්නකි. නොවැම්බර් දෙසැම්බර් සිටම ඒ ගෙවෙන්නේ වසරේ අන්තිම දවස් ටික බව ගහ කොළ සතා සිවුපාවා පවා අවබෝධ කරගෙන සිටියහ. අලුත් අවුරුද්ද වෙනුවෙන් කැලැන්ඩර් කරළියට පැමිණෙන්නේ දෙසැම්බර් මාසයේ මුල්ම දවස්වල හෝ ඊටත් සතියකට දෙකකට ඉහතදීය. 

අපි කුඩා උන් සමයේ පැරැණි කැලැන්ඩර් පොත් පිටකවරවලට යොදාගනිමින් අලුත් කැලැන්ඩර් එකතු කළේ අපමණ ආශාවකින් යුතුවය. ලොකු ඉලක්කම් සහිත දින කැලැන්ඩර්, මනහර කඳු ගංගා දියඇළි වැනි සොබා රූ සහිත කැලැන්ඩර් නළු නිළියන්ගේ රුව සහිත කැලැන්ඩර් කුඩා දරැවන්ගේ හිනා මූණු කැලැන්ඩර් මෙකී නොකී විවිධාකාර කැලැන්ඩර් වර්ග එදා නිවෙස්වල බිත්ති අලංකාර කළේය. ආයතන වලින් නිකුත්කරන කැලැන්ඩර් මෙන්ම මුදල්වලට පවා කැලැන්ඩර් නගරයේ අලෙවි විය. කැලැන්ඩර් කිහිපයක්ම ඇති නිවසක් නම් එකළ එයද ආඩම්බර වීමට කරුණක් විය. සමහර නි‍ෙවසක බිත්තිවල පාට වසාගෙන කැලැන්ඩර්කාරියෝ පැද්දි පැද්දී සිටිනායුරු අපි දැක ඇත්තෙමු.

වසරක් ගෙවී උදාවන නව වසර වෙනුවෙන් සුබපැතුම්පත්ද බොහෝ සේ හුවමාරු වූයේ පෙර කී වසර ගණනාවකට එපිට කාලයේදීය. බොහෝවිට මෙම සුබපැතුම් පත් හුවමාරු වූයේ පවුල්වල හිතමිත්‍රාදීන් අතරය. විශේෂයෙන්ම විදේශගතව සිටිනා අය වෙනුවෙන් මෙන්ම දුර ඈත වෙසෙන තම හිතවත් පවුල් වෙත මෙම සුබපැතුම් පත් තැපැල් මගින් හුවමාරු විය. නව අවුරුදු සුබපැතුම්පත්වලට පසු හුවමාරු වන්නට පටන් ගන්නේ වෙසක් සුබපැතුම් පත්ය. මීට දශක පහකට හයකට පෙර බොහෝවිට වෙසක් සුබපැතුම් පත් යැවුණේ අතින් සිතුවම් ඇඳ කවි පදයකුත් ලියා මුද්දරයක් ගසා තැපැල් කිරීමෙනි. නව අවුරුදු සුබපැතුම් පත් උපන්දින සුබපැතුම් පත් නත්තල් සුබපැතුම් හා වෙනත් විවිධාකාර සොඳුරු සිදුවීම් වෙනුවෙන් හුවමාරුවන සුබපැතුම් පත්වලට වඩා පෙරදී හුවමාරු වූයේ වෙසක් සුබපැතුම් පත්ය. මුද්‍රිත සුබපැතුම්පත් වෙළෙඳ පොළ ආක්‍රමණය කළේ ලංකාවේ මුද්‍රණ කර්මාන්තයේ දියුණුවත් සමගිනි. 

සන්නිවේදනය සඳහා නව තාක්ෂණික ක්‍රම පැමිණීමත් සමඟ තැපෑලෙන් ලියුම් හුවමාරුව ක්‍රම ක්‍රමයෙන් අඩුවන්නට විය. කාඩ්පත් හුවමාරුව අඩු වී ගියේද එහි ප්‍රතිඵලයක් වශයෙනි. මේ වනවිට සුබපැතුම් පතක් හුවමාරු කිරීම සිදුවන්නේ අල්ප වශයෙනි. බොහෝවිට කෙනකුගේ උපන්දිනයකට පවා සුබ පැතීමක් එකතු කරන්නේ මුහුණුපොත හරහාය. ඉස්සර නම් උපන්දිනයකට සුබපැතුම් එක් කරන්නේ තමන්ගේ සමීපතම අය පමණි. එහෙත් මුහුණු පොතේ කෙනකු තම උපන්දිනය සමරන්නේ නම් ඔහුට හෝ ඇයට ඔවුන් හැබෑවට කිසිදු දිනෙක නොදුටු අය පවා සුබපැතුම් එක් කරති. ඒ තාක්ෂණයේ දියුණුවය. 

උපන්දිනයට පමණක් නොව නව වසරට සිංහල අලුත් අවුරුද්දට විවිධ ආගමික උත්සව සඳහා කෙටිවචන කීපයකින් සුබ පැතීමක් කරන්නට තරම් තාක්ෂණය දියුණු වී හමාරය. 2005 වසරෙන් පසු සුබපැතුම්පත් අලෙවියට උදාවූයේ හොඳ කලක් නොවේ. එතෙක් සියලු සැමරුම් උදෙසා හුවමාරු වූ සුබපැතුම්පත් ක්‍රම ක්‍රමයෙන් අඩු වී ගියේය. මේ වනවිටත් නගරයෙන් බොහෝ ඈත පළාත් වල සුබපැතුම් පත් අලෙවි වුවද නාගරික ප්‍රදේශවල අලෙවියක් සිදුවන්නේ ඉතාම මන්දගාමී අයුරිනි. තවමත් බොහෝවිට විදේශගතව සිටිනා අය වෙනුවෙන් මෙම සුබපැතුම් පත් අලෙවි වෙයි. පෙර පරම්පරාවේ උදවිය තම දරු මුණුපුරන් හට තවමත් සුබපැතුම් පත් යවති. එවැනි සුබපැතුම් පතක් තමන් වෙනුවෙන් ද බලාපොරොත්තු වෙති. මෙය බිඳ වැටෙන්නේ තරුණ පරම්පරාව හරහාය. තරැණ පරපුරේ අය කරන්නේ ඊමේල් හරහා සහ ෆේස්බුක් සමාජ වෙබ් අඩවි හරහා ඩිජිටල් සුබපැතුම් පත් යැවීමය. නූතන තාක්ෂණයේ දියුණුවත් සමඟ මෙය ඉතා හොඳ ප්‍රවණතාවකි. මේ වනවිට ලංකාවේ කැලැන්ඩර් නිෂ්පාදනය සීඝ්‍රයෙන් පහත වැටී ඇත. බිත්ති මත්තේ එක් කැලැන්ඩරයක් හෝ එල්ලන්නට සමහරු නොකැමැත්තෝය. නගරයේ බොහෝ නිවෙස්වල බිත්තියේ හිස්කම මකන්නේ මූර්තියකින් හෝ චිත්‍රයකින් මිස කැලැන්ඩරයකින් නොවේ. 

කැලැන්ඩර්වලට සාපේක්ෂව සුබපැතුම් හුවමාරුව යම් තරමකින් සිදු වුවද මේ වනවිට එයද පහත වැටී තිබේ. තාක්ෂණයේ දියුණුව බොහෝ දේ පහසු කර දෙන බව ඇත්තය. එහෙත් සුබපැතුම් පතක ලියවෙන්නා වූ හෘදයාංගම බව ළෙංගතුකම ඩිජිටල් පණිවුඩයක ගැබ්වන්නේද යන්න සැක සහිතය. අනෙක් කරුණ නම් සුබපැතුම් පතක් යනු සදාකල් තමන් සන්තකවම තබාගත හැකි දෙයකි. කොයිතරම් තාක්ෂණයේ මහිමයෙන් ඔන්ලයින් සුබපැතුම් එක් කළත් තමා වෙනුවෙන් එක සුබපැතුම් පත් පණිවිඩයක් ලැබේ නම් එහි ඇති මිහිර තාක්ෂණයේ ඔන්ලයින් හරහා නොලැබෙන බව නම් ඇත්තම ඇත්ත කරුණකි.

තනූජා ලුම්බිණි