
දරුවන් විසි දෙනකු බිහිකරමින් මුණුපුරන් මිණිපිරියන් එකසිය පනස් දෙදෙනකුගේ ආදරය, සෙනෙහස ලබන්නට තරම් වාසනාවන්ත මාතාව මෙරට වැඩිහිටි දිනයේදී උපහාර ලැබුවාය. ඇය ගලේවෙල, බඹරගස්වැව කටුපොත ගම්මානයේ අංක 394/ඒ නිවසේ විසූ හස්තිමුණි ආරච්චිගේ රොසලින් නෝනාය. 1938 මැයි මස 05 වැනිදා උපත ලැබූ රොසලින් නෝනාගේ උපන් ගම වන්නේ පොල්ගහවෙලය. වර්තමානයේදී රොසලින් නෝනා පදිංචි වී සිටින්නේ ගලේවෙල කටුපොත ප්රදේශයේය. පොල්ගහවෙල පදිංචිව ඉන්නා සමයේදී රොසලින් නෝනාගේ මව්පියෝ ඇයට මනමාලයකු යෝජනා කළහ. එවකට රොසලින් නෝනාගේ වයස අවුරුදු 15කි. තරුණ වියේ සිටි මේ මල් කැකුළට මව්පියන් යෝජනා කළේ කෝට්ටපොළ ප්‍රදේශයේ සිටි වයස අවුරුදු විසි එකක ඉලන්දාරියෙකි. ඔහු නමින් ජී. ජිනදාසය.
මව්පියන්ගේ ආශීර්වාදය ඇතිව රොසලින් නෝනා ජිනදාස සමඟ කෝට්ටපොළට පදිංචියට ගියාය. ජිනදාසට හරි හමන් රැකියාවක් තිබුණේ නැත. ඔහු වතුවල මුරවැඩ කළේය. කලක් ගොවිතැන් කළේය. ඇතැම් දිනවල කුලී වැඩ කළේය. නමුත් ජිනදාස රොසලින් නෝනාට අසීමිතව ආදරය කළේය.
රොසලින්ගේත් ජිනදාසගේත් පුංචි පවුලට ඉස් ඉස්සෙල්ලාම එකතු වූයේ පුංචි දියණියකි. එතැන් පටන් වසරක් පාසා අලුත් සාමාජික සාමාජිකාවෝ රොසලින්ගේත් ජිනදාසගේත් පවුලට එකතු වූහ. පුංචි පවුල ලොකු විය. නමුත් කටුමැටි ගහපු පොල්අතු සෙවිලි කරපු පුංචි නිවහන කාලයක් යනතුරුම ලොකු වූයේ නැත.
විශ්වාස කරන්න.... රොසලින් නෝනා දරුවන් විසි දෙනෙකුගේ මවක් වූවාය. එයින් දරුවන් දහනව දෙනකුම බිහිවූයේ රොසලින් නෝනාගේ කුඩා පොල්අතු නිවහනේය. බාලම සහෝදරයන් සහෝදරියන් බිහිකරන්නට ගමේ වින්නඹු මාතාවට උදව් වූයේද වැඩිමහල් දියණිවරුන්ය. බාලම පුතණුවන් පමණක් කුරුණෑගල මහ රෝහලේ ඇඳක බිහිවූවත් අනිකුත් දරුවන් දහනවයම බිහිවූයේ පොල්අතු ගෙපැලේ පුංචි ඇඳක් මත එලන ලද රෙදි කෑල්ලකය.
දරුවන් පස් දෙනෙකු අඩු වයසින් රොසලින් නෝනාගේත් ජිනදාසගේත් හීන බිඳ මොලොව හැර ගියෝය. අද වෙද්දී දරුවන් විසි දෙනාගෙන් ජීවත්වන්නේ දරුවන් පහළොස් දෙනකු පමණි. රොසලින්ගේත් ජිනදාසගේත් ඊළඟ බලාපොරොත්තුව වූයේ තම දරුවන් රැකබලා ගැනීමය. ඒ වෙනුවෙන් ඔවුන් නොවිඳිනා දුකක් වින්දෝය. පුතණුවන් දහතුන් දෙනෙකුත් දියණියන් හත් දෙනෙකුත් ලබන්නට තරම් රොසලිනුත් ජිනදාසත් වාසනාවන්ත වූහ. නමුත් ඔවුන් උස් මහත් කර ගැනීමට ලොකු ජීවිත අරගලයකට ඔවුහු මුහුණ දුන්හ.
ජිනදාස එදාවේල හම්බ කරන්නට උදේ පාන්දර ගෙයින් එළියට බහිද්දී ඇතැම් විට ඔහුගේ කුස පිරෙව්වේ කහට උගුරක් පමණි. දරුවන් එකින් එක පවුලට එකතුවෙද්දී ජීවන වියදම අහස උසට නැග්ගේය. ඔවුහු ජීවත්වීමේ අරගලයක නිරත වූහ. ජිනදාසත් සමඟ පසුකාලයේදී රොසලින්ද කුලී වැඩ වෙනුවෙන් මහන්සි වූවාය. දරුවන් ලොකු වෙද්දී රොසලින් පවුලේ වැඩිමහල් දරුවන්ට බාල දරුවන් බාර දී ජිනදාස සමග තැනින් තැන ගොස් කුලී වැඩ කළාය. එවිට කුඩා දරුවන්ගේ කුස පිරෙව්වේ වැඩිමහල් අක්කලාය. දර පැලුවේ අයියලාය. ඒ තරමට ඔවුහු දුක් වින්දෝය. රොසලින්ට එවකට දවසේ මහන්සියට ලැබුණේ රුපියල් එකයි සත පනස් පහකි. ජිනදාසට දවසේ මහන්සියට ලැබුණේ රුපියල් දෙකයි සත දොළහකි.
දරු පැටව් විසි දෙදෙනෙක් අම්මාත් තාත්තාත් ජීවත්වූයේ මහ මන්දිරයක නොවේ. කුඩා පොල් අතු ගෙයින් රාත්‍රියට දැල්වෙන කුප්පි ලාම්පු එළිය මේ අඳුරු ජීවිත ආලෝක කළේය. ඉඳහිට ලාම්පු තෙල් ගන්නට මුදල් නොමැතිව ලාම්පු කුප්පිය නිවෙද්දී ජිනදාසත් රොසලිනුත් රාත්‍රී ආහාර ගත්තේද එළියේ හිඳ අහසේ හඳ එළියෙනි.
ජීවිතේ දුක සතුට සිනහව පිරිණු පුංචි කැදැල්ල දවසක අළු විය. ළිපේ තිබූ ගින්දර ළඟ තිබූ රීප්පයකට ඇවිලී පොල් අතු පැල ගිනි ගත්තේය. අහළ පහළ ගම්වාසීන් පිහිටට ආවත් ගෙපැල බේරාගන්නට නොහැකි විය. පුංචි දරුවෝ මර ලතෝනි දුන්හ. වැඩිමහල් දරුවන් පුංචි පැටව් උස්සාගෙන ගෙයින් එළියට පැන හිස් ලූ ලූ අත දිව ගියෝය. ජිනදාසත් රොසලිනුත් ගමේ මිනිසුත් එකතු වී ගින්න නිවන්නට උත්සාහ දැරුවද අවසානයේදී ඉතිරි වූයේ අළු ගොඩක් පමණි.
ඒ වනවිට ඉඩමේ එක් පැත්තක රොසලින්ගේත්, ජිනදාසගේත් මහන්සියෙන් තවත් අලුත් නිවසක් ගොඩ නැඟෙමින් පැවතුණි. නමුත් ගෙයි කිරි උතුරුවා ගෙට ගෙවදින්නට පළමුව පුංචි ගෙපැල ගිනි ගැනීම නිසා අම්මාත්, තාත්තාත් පුංචි පැටව් ටිකත් හරිහැටි වහළක් නැති වැඩ නිම නොකළ ගෙදර පදිංචියට ආහ. ගමේ ගැහැනු රොසලින්ගේ පවුලේ අයට පුළු පුළුවන් හැටියට ඇඳගන්නට රෙදි කෑලි ටිකක් තෑගි කළෝය.
ජිනදාස කල්පනා කළේය. දරුවන් වෙනුවෙන් මහන්සි වූයේය. රොසලින්ද පිරිමියෙකු සේ හරි හරියට ජිනදාසට උදව් කළාය. රොසලින් පොල්වතුවල පොල් ඇහිඳින්නට ගියාය. වතු උදලු ගෑවාය. ගොයම් කැපීමට ගියාය. අද මෙන් එකල දියුණු නොවීය. හැමදෙයක්ම දෑතේ මහන්සියට පින්සිදුවන්නටය. ඇය අව්වට පිච්චුණාය. වැස්සට ඇති තරම් තෙමුණාය. නමුත් ඒ වැස්සට රොසලින්ගේ ධෛර්යය සෝදා දමන්නට හැකියාවක් නොලැබිණි.
වැස්සට තෙමෙන තෙමෙන වාරයක් පාසාම ඇයට නව පන්නරයක් ලැබුණි. ඇතැම් දිනවල අම්මාගේ පස්සෙන් ගාටන පුංචි පැටව්ද ඇති තරම් තෙමුණෝය. අම්මා වත්තක උදලු ගාන තෙක් ගස්වල ගෙඩි කා බඩ පුරවා ගන්නට තරම් පුංචි එවුන් මේ ගහකොළට උරුමකම් කීහ. ඇති පදම් මේ පොඩි එවුන්ගේ කුස පුරවන්නට ගහකොළවල එකල ගෙඩි හටගත්තේය. රොසලින්ද කුලී වැඩ කරද්දී දවල්ට කුසගිනි නිවාගන්නට ඇතැම් කාලවලදී හරිහමන් කෑමක් නොතිබුණි. ගමේ කඩෙන් බටර් විස්කෝතු හතරක් පහක් පොඩි කොළ කෑල්ලක ඔතාගෙන යන රොසලින් එයින් තම කුසගින්න නිවාගත් දවස් අනන්තය. ඒ තරමටම ඇය දුක් වින්දාය.
අද රොසලින්ගේ වයස අවුරුදු අසූවකි. ජිනදාස අද ඉන්නේ රෝද පුටුවේය. හරකෙකු බඳින්නට ගොස් කඹේ පැටලී වැටී අද ඔහු එකතැන් වී සිටී. රොසලිනුත් ජිනදාසත් තම දරුවන්ට පුළු පුළුවන් හැටියට අධ්‍යාපනයද ලබා දුන්නෝය. ඇතැම් දරුවන් ඉගෙනීම හතර පහ පන්තියෙන් නතර වුවද රජයේ සේවයේ යෙදෙන දරුවන් දෙදෙනෙකු ඇතුළුව තවත් දරුවන් කීපදෙනෙකුද හොඳින් උගත්තෝය. ඒ වෙනුවෙන් රොසලිනුත්, ජිනදාසත් පුදුමාකාර දුකක් වින්දෝය.
අද රොසලින් තම දරුවන්ගේ ආදරය, සෙනෙහස ලබමින් නිහඬ ජීවිතයක් ගත කරයි. සෑම උදෑසනකම අවදි වී තම කටයුතු තනියම කරගන්නා රොසලින් නෝනා මල් පහන් පූජා කොට බුදුන් නැමදීම සිරිතකි. තම දහතුන්වන දියණියගේ නිවසේ ජීවත්වන රොසලින් නෝනාට ඒ අවට සිටිනා තවත් දරු මුණුපුරන් කීපදෙනෙකුගේ රැකවරණය නිරන්තරයෙන්ම හිමිවෙයි.
ඇස් පෙනීම මඳක් දුර්වල වුවද අදටත් රොසලින් නෝනා හදන කෑම බීම පුදුමාකාර ලෙස රසවත්ය. රොසලින් සාදාදෙන ගලේ අඹරණ ලුණු මිරිසයි බතයි වුවද තවමත් මෙම දරුවන්ට රජ බොජුන්ය. අද අක්කර පහක පොල්වත්තක දරුවන් පස් දෙනෙකු ළඟ ළඟ ගෙවල් සාදා ජීවත්වීම රොසලින්ගේත් ජිනදාසගේත් සැනසිලිදායක ජීවිතවලට මහත් සැනසුමකි. ඔවුහු නිතර නිතර රොසලින් ගැන සොයා බලති. සෑම පෝයකටම ගමේ පන්සලට ගොස් රොසලින් නෝනා සිල් සමාදන් වන්නීය.
අද රොසලින්ගේත් ජිනදාසගේත් ජීවිත සැහැල්ලුය. දරුවන් විසි දෙනෙකු එක්ක මහා ජීවිත අරගලයක් කොට ජීවිතේ වෙහෙසවුණ, අප්‍රමාණ කටුක අත්දැකීම් ලැබූ ඒ ගැහැනිය සිත ජීවිතේ අරගල වෙනුවෙන් හෙලූ දහඩිය, කඳුළු කොයිතරම් නම් ප්‍රමාණයක් මේ මහපොළොව දරාගන්න ඇත්ද...? දරුවන් මහමඟ දමා යන අම්මලා හා පවුලට දරුවන් වැඩියි කියමින් වෛද්‍ය ක්‍රම මගින් දරුවන් පාලනය කරන අම්මලා සහ ඇඟේ ෂේප් එක යනවා කියමින් දරුවන් සීමාකරන අම්මලා අතර රොසලින් නෝනා මව් රැජනකි.
I දිශානි ජයමාලි කරුණාරත්න