2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා

මහවැසි ඉල්ලා යදින යාතිකා

 2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 514

 

ඉන්දියාවේ උතුරු කර්ණාටක ප්‍රාන්තයේ නියඟය හමාර කිරීමට වැසියන් පිරිසක් පසුගියදා පුරාණ චාරිත්‍රයක් අත්හදා බැලුවෝය. ඔවුහු ඒ සඳහා විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් විවාහ මංගල්‍යයක් පැවැත්වූහ. මෙහි විශේෂත්වය නම් විවාහ කරවූයේ ගෙම්බන් යුවළක් වීමයි. භජන් ගායනා මධ්‍යයේ අලංකාර ලෙස සරසා සිටි ගෙඹි යුවළ විවාහ කෙරිණි. වේද ග්‍රන්ථවල සඳහන් වන ලෙස පූර්ණ විවාහ මංගල්‍යයකින් ගෙම්බන් විවාහ කරවීමෙන් ඉක්මනින් වැසිඵල ලැබෙනු ඇතැයි සමහර ඉන්දියානු ප්‍රාන්තවල වැසියෝ අදහති. ගෙම්බන් නොනවත්වා කෑගැසීම වැස්ස ළඟ එන බවට සංකේතයක් ලෙස අප රටේ රජරට ප්‍රදේශවලද විශ්වාස කෙරේ.

සෑම වසරකම වප් මාසයේදී (ඔක්තෝබර්) රජරටට තද වර්ෂාවක් ආරම්භ වේ. ඊට පසු දිනපතා වැසි ඇදහැලී වැව් පිරී වාන් දමන්නට පටන් ගනී. ඒ අතරම කඳුකරයටද ඊසාන දිග මෝසම් වර්ෂාව හටගනී. ජලාශ පිරී ඉතිරී යයි. ඊට පසු ජනවාරියේ සිට රජරටට වියළි කාලයයි. එහෙත් මෙවර වප් මාසයේ වැස්ස සුපුරුදු පරිදි වැස්සේ නැත. වැව් පිරී ගියේද නැත. විදුලිබල සපයන ජලාශවලද ජලය පිරුණේ නැත. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන අයුරින් මාර්තු මාසය දක්වා නියඟ කාලගුණයක් පවතී.

ඉන්දියාවේ පමණක් නොව ශ්‍රී ලංකාවේද නියඟය පරදවා වැස්ස ලබාගැනීම සඳහා විවිධ අභිචාර විධි අනුගමනය කිරීම දක්නට ලැබේ. කෘෂි ශිෂ්ටාචාරයේ පදනම වූ රජරට වැව් ආශ්‍රිතව මේ හා බැඳුණු උප සංස්කෘතියක් පවතී.

මේ දිනවල රජරට ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශ ගිලගෙන තිබෙන නියඟය නිමාකර දෙන ලෙස ඉල්ලමින් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මේදී වැසි පිරිත් දේශනාවක් 24දා පැවැත්වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රදේශයේ ගොවි ජනතාව එක්ව මෙම වැසි පිරිත සංවිධානය කර තිබුණි. දිඹුලාගල සොරිවිල ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේදී වැසි ඉල්ලා පැවැත්වූ දේව පූජාවටද ජනාධිපතිවරයා සහභාගි විය. එහිදී දිඹුලාගල සහ සේනානිගල ආදිවාසී ජනයා විසින් එටට වැසි පතා කිරිකොරහ නැමීමේ සංස්කෘතික අංගයද ඉදිරිපත් කෙරිණි.

ඒ අතර 24 දාම අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අසලද වර්ෂාව පතා පින්කමක් පැවැත්විණි. රටේ සියලුම විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවලින් රැගෙන ආ පැන්වලින් ශ්‍රී මහා බෝධිය දෝවනය කිරීමේ මෙම චාරිත්‍රය විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යංශය හා ලංකා විදුලිබල මණ්ඩලය එක්ව සංවිධානය කර තිබූ අතර විෂය භාර අමාත්‍යවරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

වර්ෂාව පතා කෙරෙන චාරිත්‍ර අතර මුල්තැන ගත්තේ වැසි පිරිත සජ්ජායනයයි. ඉන් වැසි ලබාදී රටට සෞභාග්‍යය උදාකර දෙන ලෙස ඉල්ලා සිටීම සිදුවේ. එය සොබාදහමෙන් කරන ආයාචනයකි.

පසුගිය කාලයේ බදුල්ල මුතියංගන රජමහා විහාරයේ මහා සංඝරත්නය ඇතුළු පිරිසක් නමුණුකුල කන්ද තරණය කර පිරිත් දේශනා කර වැසි ලබාදෙන ලෙසට නමුණුකුල කන්දට අධිපති ලෙස සැලකෙන ඉන්දක දෙවියන්ගෙන් ඉල්ලා සිටියහ.

ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය, මහනුවර දළදා මාලිගය, කතරගම කිරි වෙහෙර ආදී රටේ බොහෝ ප්‍රධාන පෙළේ පූජනීය ස්ථානවලට වැසි පතා බාරහාර වෙති. පුදපූජා පවත්වති.

වැස්ස පමාවන බවට සොබාදහමේ නිමිතිවලින්ද නුවර කලාපයේ ගොවියා දැනගනී. කිරිල්ලු වැවේ ජලය රඳන කොටසේ බිත්තර දමන්නේ නම් වඩු කුරුල්ලා වැව් තාවුල්ලේ කුඹුක් ගස්වල පහළ අතුවල කූඩු තනන්නේ නම් වැස්ස පමා වේ. අහසේ වැහි වළාකුළු (වැහි බිත්තර) රවුම් හැඩයට පැතිරේ නම් වැස්ස හිඟය. වැහි වළාකුළු දිගවී නම් වර්ෂාව නිසැකය.

වැස්සට අධිපති දෙවියකු ලංකාවේ නැත. ඒත් ඉන්දියාවේ දේව මණ්ඩලය තුළ සිටින ඉන්දු දෙවියා වැස්සට, හෙණ පිපිරුමට සහ කුණාටුවලට අධිපතිය. ඔහු තමා අත තිබෙන වජ්‍රායුධයෙන් හෙණ පුපුරවයි. වැස්ස ලබාගැනීමේ පරමාර්ථයෙන් බලියාග පැවැත්වීමේ සම්ප්‍රදායක්ද පුරාණයේ පැවැත්විණි. වැහි බලි, සුභූති බලි සහ ශ්‍රී විෂ්ණු වර්ෂාධිපති බලි මේ සඳහා එදා පැවැත්වුණි. ඒත් අද මේ චාරිත්‍රය ඉටුකෙරෙන්නේම නැත.

රජරට නුවර කලාපයේද රාජ වන්නිපත්තුවේද හත්කෝරළේ සමහර ප්‍රදේශවලද මෙම බලි යාගය පැවැත්වුණි. වැහි බලිය පිළිබඳව කෝල්මුර කවියක සඳහන් වන්නේ මෙලෙසිනි.

අහල ගංහතක ගවයෝ නැති    වෙච්චි
පහළ වැවේ දිය පතුලට    හිඳිච්චි
ඉහළ දෙවියන්ට මඩිතිය    කැඩිච්චි
අපල දෝස වැහි බලියෙන්     ගෙවිච්චි

වැහි බලිය නිර්මාණයට බලි ඇදුරන් සහභාගි වූයේ නැත. ගොවියන් විසින්ම එකතු වී අඹා ගනිති. එහිදී මුලින්ම කෙරෙන්නේ ප්‍රධාන ගමරාළ සමඟ ගමේ කපුරාළද ගමේ සංහිඳට හෝ දේවාලයට ගොස් නියඟයෙන් වගා හානි වී සතා සතුන් විපතය පත්ව ඇති බව නොපෙනේදැයි පළි ගහ යාතිකාවක් කිරීමයි. දෙවියන් මැදිහත් වී වැහිගම්පළ මුත්තාට කියා වර්ෂාව ලබාදුන මැනවයි ඉල්ලා සිටී. එසේ නොවුණහොත් වැහි බලියක් අරින බවද එය මහත් ලජ්ජාවකට කරුණක් බවද පවසයි. කෙම්මුරයක් තුළ වැසි නොලැබුණහොත් ගමේ සියලු දෙනා එක්ව වැහි බලි පූජාව පවත්වති. රාත්‍රිය පුරා පවත්වන මෙම බලි පූජාවට කාන්තාවන්ට හා දරුවන්ට සහභාගි වීම තහනම්ය. දෙවියන් අපහාසයට ලජ්ජාවට පත් කරවන අසභ්‍ය අශීලී යෙදුම්වලින් යුත් බලියාග කවි හා කෝල්මුර කවි මෙහිදී ගායනා කෙරේ.

සමහර ගම්මානවල මෙය පවත්වන්නේ ගොවීන් නිර්වස්ත්‍රවය. එවිට එයට හෙළුවැලි බලිය යැයි කියති.

වැහැපං දෙවියා කහපන් දෙඤ්ඤං
දොරකඩ පොල්ගහ නින්දෙම  දෙඤ්ඤං
හාංඩ මීගොන් බානක්  දෙඤ්ඤං
තනිකඩ අක්කා දීගෙට දෙඤ්ඤං

සූභූති බලියේදී සුභූති නම් මහරහතන් වහන්සේගේ රූපය මැටියෙන් නිමා කෙරේ. එම බලිය ඉදිරියේ  තබාගෙන භික්ෂූන් වහන්සේ සත්නමක් තුන් වරුවක් සුභූති පිරිත සජ්ජායනා කරති. මෙහිදී උන්වහන්සේලා පිරිත් සජ්ජායනා කරන්නේ සිටගෙනය. ඊට පසු බලි රූපය ඔසවාගෙන ගොස් වැව් තාවුල්ලේ තැබීම සිදුකෙරේ.

දළදා ප්‍රදර්ශනය හා දළදා පෙරහරද වැස්ස හා බැඳී පවතී. වර්ෂ 1818 උඩරට කැරැල්ලෙන් පසුව ඉංග්‍රීසි පාලකයන් දළදා පෙරහර පැවැත්වීම හෝ දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීම නවතා දැමූහ. මේ කාලයේ රට පුරා නියඟයක් හටගත්තේය. භික්ෂූන් වහන්සේ ඉංග්‍රීසි පාලකයන්ගෙන් ඉල්ලා සිටියේ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වුවහොත් වැස්ස ලැබෙන බවය. ඒ අනුව 1828 දී වෙසක් පෝ දින දළදා ප්‍රදර්ශනයක් පැවැත්වූ බවත් ඊට පසු හටගත් මහා වැස්සෙන් මහනුවර වැව උතුරා නගරය වටා යටවූ බවත් සඳහන්ය. මේ වැස්ස දළදා වතුර නමින් හැඳින්වේ.

එදා රටේ ජනතාව ජීවත් වූයේ සොබාදහම හා බද්ධවෙමිනි. ඔවුන් පරිසරයට වින කළේ නැත. ඒත් අද වසවිස ගොවිතැනට මුදාහරිමින් ආත්මාර්ථය උදෙසා බොහෝ දෙනෙක් පෙළඹී සිටිති. එවන් යුගයක සම්ප්‍රදායික චාරිත්‍රවලින් එතරම් ඵලයක් ලැබේදැයි සැකයකි.

කුසුම්සිරි විජයවර්ධන