සබරගමුව පළාත් සභාවේ හා නැගෙනහිර පළාත් සභාවේ නිල කාලය අවසන් විය. උතුරුමැද පළාත් සභාවේ කාලය තවත් දින දෙකක් ඇතුළත අවසන් වීමට නියමිතය. පළාත් සභා තුනේම නිල කාලය අවසන් වූ පසු ඔක්තෝම්බර් 02 වැනිදා නාමයෝජනා කැඳවා දෙසැම්බර් මස මුල් සතියේ මැතිවරණය පැවැත්වීමේ සූදානම් මැතිවරණ කොමිසම පසුවිය. නමුත් රජයේ ස්ථාවරය වූයේ පළාත් සභා මැතිවරණ සියල්ල එකම දිනයක පැවැත්විය යුතු බවයි. ඒ සඳහා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. ඒවන විට රජයේ සැලැස්ම වී තිබුණේ ප්‍රථමයෙන් නිල කාලය අවසන්වන පළාත් සභා ආණ්ඩුකාරවරුන් යටතට පත්කිරීමය. නමුත් අධිකරණය 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයකට යාම අවශ්‍ය බව තීන්දු කළේය. එනිසා එකම දිනක මැතිවරණ පැවැත්වීම සඳහා වන යෝජනාව ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නැවැත්වීමට සිදුවිය.
අනතුරුව පළාත් සභා ඡන්ද ක්‍රමය වෙනස් කළ යුතුය යන යෝජනාව තුනෙන් දෙකක බහුතරයකින් පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුව සම්මත කරගත්තේය. එහිදි පනහට පනහ කේවල කොට්ඨාස ක්‍රමයෙන් සහ අනුපාත ක්‍රමයෙන් නියෝජිතයන් තෝරාගත යුතු බවත්, කාන්තා නියෝජනය අවම සියයට 25ක් විය යුතු බවත් යෝජනා විය. කෙසේ වෙතත් නව මිශ්‍ර ක්‍රමයකින් මැතිවරණය පැවැත්වීමට නම් සීමා නීර්ණය කඩිනමින් සිදු කළ යුතුය. මාස හතරක් ඇතුළත සීමා නීර්ණය අවසන් කර දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා පක්ෂ මහජන අදහස් විමසීම සඳහා මාස දෙකක් ඇතුළුව මාස හයකින් මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව තීරණය කළේය. ඒ අනුව පළාත් සභා මැතිවරණය ලබන වසර මාර්තු මාසයේ පැවැත්විය හැකි බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි. එනිසා සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසයේ දී නිල කාලය අවසන් වන සබරගමු, උතුරු මැද හා නැගෙනහිර යන පළාත් සභා තුන නැවත පළාත් සභා මැතිවරණය පැවැත්වෙන එම පළාත් ආණුඩුකාරවරුන් යටතේ පාලනය වීමට ඉඩ හැරේ.
පළාත් සභාවක නිල කාලය අවසන් වූ පසු ආණ්ඩුකාරවරයාට පැරෙන බලතල මොනවාද? සභාවක රාජකාරී සියල්ල ආණ්ඩුකාරයා විසින් පමණක් විසින් ක්‍රියාත්මක කිරීම කොතරම් ප්‍රයෝගිකද? මෙසේ කිරීම පළාත් සභා පනතට අනුකූලද? නිශ්චිත කාල සීමාවකින් තොරව පළාතක් ආණ්ඩුකාර පාලනයකට නතු කිරීම කොතරම් ප්‍රජාතන්ත්‍රවාදීද? සභාවක් නොමැතිව පළාත් සභා යාන්ත්රණයට සිදුවන්නේ කුමක්ද? ආදිය සම්බන්ධයෙන් නිල කාලය අවසන් වන පළාත් මහඇමැතිවරු, අනෙකුත් මහඇමතිවරු සහ හිටපු ආණ්ඩුකාරවරයකුගෙන් අප අදහස් විමසීමු.
පරිපාලන වැඩට ගැටලුවක් නැහැ
බස්නාහිර පළාත් මහඇමති ඉසුර දේවප්‍රිය
දැනට පළාත් සභා කල් ඉකුත් වීමත් සමග පළාතේ මහඇමතිවරය සතු සියලු බලතල ආණ්ඩුකාරවරුන්ට පැවරෙනවා. සාමාන්‍යයෙන් පළාත් අමාත්‍යංශවලට ඇමැතිවරු පත්කරන්නේත්, මුදල් දෙන්නේ සහ අනෙකුත් දේවල් ලබා දෙන්නේත් මහඇමැතිගේ එකඟතාවය මත. ඒ අනුව අමාත්‍යංශවලට තියෙන බලතලත් අමාත්‍යවරයාට තියෙන බලතලත් ආණ්ඩුකාරවරුන්ට පැවරෙනවා. ආණ්ඩුකාරවරයා පළාත් ප්‍රධාන ලේකම් ඇතුළු අනෙකුත් ලේකම්වරු හරහා පරිපාලන කටයුතු ඉදිරියට ගෙනියන්න පුළුවන්. ගැටලුවක් වෙන්නෙ නෑ. ආණ්ඩුකාරවරයා සහයෝගය දෙන්න අමාත්‍යංශවල ලේකම්වරුන්ට අමතරව ප්‍රධාන ලේකම්වරයාත් ඉන්නවා. එතකොට පරිපාලන කමිටුවක් වශයෙන් හැදිලා කැබිනට් මණ්ඩලය ගත්ත තීරණ සහා අමාත්‍යංශ ගත්තු තීන්දු පරිදි පරිපාලන කටයුතු කරන්න පුළුවන්. ආණ්ඩුකාරවරයා මේ කරුණු තනිවම කරන්න බාධාවක් නෑ. සභාවක් නැති නිසා සභාවේ අනුමැතිය ලබා ගැනීම ගැටලුවක් නෑ. ඒවගේ පළාතට අදාළ අලුත් යෝජනා ක්‍රියාත්මක කිරීම බාධාවක් වෙන්නෙත් නෑ.
පඩි ගෙවන - බිල් ගෙවන වැඩ තමයි අයිති
මධ්‍යම පළාත් සභා මහඇමැති සරත් ඒකනායක
ව්‍යවස්ථාව හැටියට පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩලයේ සහ මහඇමතිවරුන්ගේ උපදෙස් අනුව තමයි ආණ්ඩුකාරවරු වැඩ කරන්නේ. නමුත් සභාව නැතුව ගියාම ආණ්ඩුකාරතුමා තමාට කටයුතු සියල්ල තනිව කරන්න වෙනවා. සාමාන්‍යයෙන් ආණ්ඩුකාරවරයාට පළාත් සභාව විසිරවූ පසු ලැබෙන්නේ මූල්‍ය බලතල සහ පරිපාලනය සඳහා තිබෙන බලතල. ඒකාලය ඇතුළත පඩි ගෙවීම්, ආරම්භ කළ වැඩවලට අදාල බිල් ගෙවීම් කළ යුතු වෙනවා. ඊට අමතරව එදිනෙදා රාජකාරි කටයුතු, රජය සමඟ සහසම්බන්ධතාවය ගොඩනැගීමේ කාර්යයත් ආණ්ඩුකාරවරයාට තිබෙනවා. හැබැයි සංවර්ධන කටයුතු සහ අනෙකුත් වැඩ ආරම්භ කිරීම සම්බන්ධයෙන් සීමාවක් තියෙනවා. ඔහුට අවකාශය ලැබෙන්නේ අයවැයේ සම්මත කරගත් දේවල් සම්බන්ධයෙන් පමණයි. පොදුවේ ආණ්ඩුකාරවරයාගේ කාර්යය හුදු අත්සන් කිරීම පමණයි. එනිසා විසුරවා හරින පළාත් සභාවල ප්‍රධාන ලේකම්තුමා ඇතුළු අමාත්‍යංශ ලේකම්වරු නිලධාරින් හැටියට ඉහත කාර්යයන් කරනු ලබනවා. පාර්ලිමේන්තුව විසින් පවරන කාර්යයන් තිබුණ සභාව විසින් ආරම්භ කළ වැඩ සහ මුදල් ගෙවීම් තමයි ඒ විදිහට නිලධාරීන් විසින් කෙරෙන්නේ.
නැගෙනහිර පළාත් සභාව විසුරුවා හැරියාට පස්සේ 1997 සිට 2008 වෙනකම් අවුරුදු දහයක්ම හැම දෙයක්ම කළේ මහආණ්ඩුවෙන්. ඇත්තටම ආණ්ඩුකාර පාලනයක් තිබ්බෙ නෑ. ඔහු කළේ සම්බන්ධීකරණ කාර්ය විතරයි. මේවගේ වෙලාවක දී පළාත් සභාවට වෙනම මුදල් ප්‍රතිපාදන වෙන් කරන්නෙ නෑ. එතකොට පළාත් සභා පිහිටුවලා තිබෙන පරමාර්ථය ඉෂ්ඨ වෙන්නෙ නෑ.
භාරකාර ඇමැති මණ්ඩලයක් ඕනෑ
උතුරැ මැද පළාත් සභාවේ මහඇමැති පේෂල ජයරත්න
තිබුණු නීතිය අනුව පළාත් සභාවක කාලය අවසන් වුණොත් සති දෙකක් ඇතුළත නාමයෝජනා කැඳවලා දින හැටක් ඇතුළත මැතිවරණය පවත්වලා ඊළඟ සභාව පිහිටුවන්න ඕනෑ. නමුත් මේ ඇතිවෙලා තියෙන්නේ ඊට වඩා වෙනස් තත්ත්වයක්. මැතිවරණයක් පැවැත්වෙන දිනයක් නිශ්චිතව නෑ. ඒවගේම කොට්ඨාස බෙදීමට සීමානීර්ණ කමිටුවක් පත්කරලා සීමා නිර්ණය කරලා අලුත් ක්‍රමයකට මැතිවරණය තියන්න තමයි මේ සූදානම් වෙන්නේ. එතකොට ඒකට ගතවෙන කාලය කොච්චරද කියලා අපිට කියන්න බෑ. සාමාන්‍ය ක්‍රමය යටතේ ආණ්ඩුකාරවරයා තමයි ඒ බලතල ඒ මාස දෙකේ ක්‍රියාත්මක කළේ. නමුත් මේ විදිහට කාලය දීර්ඝ වුණොත් ආණ්ඩුකාරවයෙක් මේ බලතල ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගිකයි ද කියන ප්‍රශ්නයක් මතුවෙනවා., අමාත්‍යංශ පහක ඒවා, දෙපාර්තුමේන්තු 25ක් විතර වැඩ තියෙනවා. ඒවායේ කාර්යක්ෂමතාවය පිළිබඳව ප්‍රශ්නයක් එන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒකට කුමක් හෝ විසඳුමක්, වෙනම යන්ත්‍රයක් හෝ අඩුම තරමේ භාරකාර අමාත්‍ය මණ්ඩලයක් විදිහට හිටපු අමාත්‍ය මණ්ඩලය පවත්වාගෙන යාම හෝ වෙනත් උපක්‍රමයක් යොදන්න වෙයි කියලා අපි විශ්වාස කරනවා.
ඇත්තටම සභාවක්ම ඉඳලත් කරන්න අමාරුයි. ඒකෙත් අකාර්යක්ෂමතාවයන් ගොඩක් තියෙනවා. එහෙම එකේ ආණ්ඩුකාරවරයාට පැවරෙන සියලු බලතල ප්‍රායෝගිකව තනිවම කරන්න අමාරුයි. මිනිස්සුන්ට සමීපම සේවාවන් රැසක් තියෙන්නේ පළාත් සභාව යටතේ. විශේෂයෙන්ම අධ්‍යාපනය හා පාසල් පද්ධති පළාත් සභාවට අයත් වෙනවා. පාසල් දසදහසෙන් 352ක් හැරුණාම විට සෙසු පාසල් සියල්ල පළාත් සභාව යටතට පැවරෙනවා. සෞඛ්‍ය නිලධාරි කාර්යාලත් ග්‍රාමීය රෝහල් සියල්ලත් පළාත් සභා යටතේ තමයි තියෙන්නේ. ප්‍රජා සෞඛ්‍ය සියට සියක් පැවරිලා තියෙන්නෙ පළාත් සභාවට. සෑම මහජන සේවයක්ම උඩින් නිරීක්ෂණය වුණාට බිම ක්‍රියාත්මක කිරීම, සමාජ සේව කටයුතු, ළමාරක්ෂකණ සේවා, පළාත් මාර්ග, මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා, පෞද්ගලික ප්‍රවාහන සේවා යන සියල්ල පළාත් සභාව යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ සියල්ල දීර්ඝ කාලයක් ආණ්ඩුකාරවරයා යටතේ තිබුණොත් අවුල් වියවුල් හැදෙයි. ප්‍රාදේශීය සභා නගර සභා පළාත් සභා මගින් අධීක්ෂණය කරලත් කොමසාරිස්, පළාත් ඇමති, මහඇමති ඉදලත් පහුගිය කාලේ යම් යම් අඩුපාඩුකම් තිබුණා. ඒනිසා අපි කියන්නේ භාරකාර අමාත්‍ය මණ්ඩලයක් විදිහට මේ තිබෙන පළාත් අමාත්‍ය මණ්ඩලයම ඊළඟ නාම යෝජනා පවත්වනකම් ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි.
අන්තර්කාලීන ඇමැති මණ්ඩලයකට ප්‍රතිපාදන නෑ
දකුණු පළාත් සභා මහඇමැති ශාන් විජයලාල්
දැනට පවත්නා නීතිය අනුව පළාත් සභාවක පළවෙනි රැස්වීම තියලා අවුරුදු පහක් ගිය තැන පළාත් සභාව ඉබේ විසිරෙනවා. නමුත් සභාවේ සභාපතිවරයා ඒ තනතුරේ දිගටම ඉන්නවා. ඒ හැර අනිත් සියලු තනතුරු අවලංගු වෙනවා. එතකොට තනිකරම පාලන බලය ආණ්ඩුකාරයාට යනවා. ඒ නිසා සියලු පළාත් සභාව පවතින වකවානුව තුළ පැවැති සියලු බලතල ආණ්ඩුකාරවරයාට පැවරෙනවා. ඒවගේම ප්‍රධාන ලේකම්වරයා ඇතුළු නිලධාරින් පිරිස පළාත් සභාව තුළ දිගටම ක්‍රියාත්මක වෙනවා.
සභාව නැති වකවානුව තුළ අලුත් සංවර්ධන කටයුත්තක කිරීමට, යෝජනා ක්‍රියාත්මක කිරීමට සභාවේ අනුමැතිය අවශ්‍ය වෙන්නේ නෑ. ඒ සඳහා නිත්‍යනුකූලව ආණ්ඩුකාරවරයාට බලය පැවරෙනවා.
ආණ්ඩුකාරයෙක් යටතේ පළාතක් පාලනය වන කාලයක් පිළිබඳව කොහේවත් සඳහන් වෙලා නෑ. හැබැයි පළාත් සභාව විසුරවා ගිය තැන ඡන්දය තියලා ඉක්මනට මහජන නියෝජිතයන් පත්කිරීමට පනතෙන් අපේක්ෂා කරනවා. මේ වතාවේ තිබෙන්නෙ දැනට පළාත් සභා ඡන්ද විමසීම් පනතට ගෙනෙන ලද සංශෝධන තුළ අලුත් ඡන්ද ක්රමයේ කළ යුතු වෙනස්කම්, සීමා නීර්ණය සහ කාන්තා නියෝජනය වැඩිකිරීම යන කාරණා. ඒ සඳහා යම් සාධාරණ කාලසීමාවක් ගත වෙනවා.
භාරකාර අමාත්‍ය මණ්ඩලයක් පිහිටුවීමට දැනට පවතින නීතිමය ප්‍රතිපාදන තුළ අවකාශයක් නෑ. මධ්‍යම ආණ්ඩුවේ විසුරුවාට පසුව භාරකාර අමාත්‍ය මණ්ඩලයක් තියෙනවා. හැබැයි පළාත් සභා පනත තුළ පළාත් සභාවක් විසුරුවා ගිය පසු අමාත්‍ය මණ්ඩලයට අන්තර්කාලීන අමාත්‍ය මණ්ඩල පත්කිරීමක් පිළිබඳ ප්රතිපාදනයක් කොතැනකවත් අඩංගු වෙන්නේ නෑ.
ආණ්ඩුකාර පාලනයක් පනතෙන්ම අයිතියි
සබරගමුව පළාත් සභාවේ හිටපු මහඇමැති මහීපාල හේරත්
පළාත් සභා පනත හැටියට ජනතාව දුන්න කාලය වර්ෂ පහකින් අවසන් වෙනවා. අවසන් වුණාට පස්සේ පනතේ ප්‍රකාර ඒ බලය ඊළඟට යන්නේ ආණ්ඩුකාරවරයාට. සබරගමුව පළාත් සභාවේ ඒ තත්වය හැම මැතිවරණයකට පෙරම සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ වතාවෙත් ජනතාව දීපු කාලය අවසන් වුණාට පස්සේ ඒ පනතේ ප්‍රකාර බලය සබරගමු පළාතේ ආණ්ඩුකාරවරයාට ගිහිල්ලා තියෙනවා. ආණ්ඩුකාරයට වගකීම දීලා තියෙන්නේ ජනාධිපතිතුමා විසින්. ඒනිසා ආණ්ඩුකාරවරයා තමන්ගේ කාර්යභාරය ඉෂ්ඨ කරයි. මම පාර්ලිමේන්තුවේ අවුරුදු 10ක් සහ පළාත් සභාවේ අවුරුදු 14ක් සිටි කාල කාලපරිච්ඡේදය තුළ පවතින පනතේ ප්‍රකාරව ජනතාව දුන් කාලය තුළ තමයි ක්‍රියා කළේ. ඉතින් ඒ විදිහට මැතිවරණය එන තෙක් පාලනය කිරීම ආණ්ඩුකාරවරයාට පනතෙන්ම තිබෙන අයිතියක්.
වහාම ඡන්දයකින් පළාත් සභාවට බලය දිය යුතුයි
උතුරු පළාත් සභාවේ හිටපු ආණ්ඩුකාර මේජර් ජනරාල් පී.ඒ්. චන්ද්‍රසිරි
ප්‍රජාතන්ත්‍රවාදිව යම් කිසි දෙයක් කරනවා නම් නැවත වහාම ඡන්දයක් තියන්න බලය පළාත් සභාවටම ලබාදෙන්න ඕනැ. ඒ තමයි ප්රජාතන්ත්රවාදය. නැතුව ආණ්ඩුකාරවරයෙක් යටතේ දිගටම පළාත් සභාවක් තිබීම නිවැරදි නෑ. අත්‍යවශ්‍ය හේතුවක් යුදමය තත්ත්වය වැනි අවස්ථාවල නම් කමක් නෑ. එහෙම කිසිදෙයක් නැතුව රටේ සාමය තියෙද්දි නිකම් ආණ්ඩුකාරවරයෙක් යටතේ සාමාන්‍යයෙන් පළාත් සභාවක් පාලනය වෙන්නෙ නෑ. පළාත් සභා ක්‍රමයට එය අනුකූල නෑ. උතුරු පළාත යුද්දෙ කාලේ ආණ්ඩුකාරයෙක් යටතේ තිබුණා ඒ තිබුණු දේශපාලන වාතාවරණය අනුව. යුද්දය අවසන් වුණාට පස්සේ 2013 ඡන්දය තිබ්බා. මගේ දැනුම අනුව දැන් ආණ්ඩුකාරවරයෙක් යටතේ පාලනය කරන්න තරම් හේතුවක් නෑ. ඡන්දයක් තියන්න පුළුවන්. 20වැනි සංශෝධනය රජයේ අවශ්‍යතාවය අනුව සම්මත කරගත්ත දෙයක්. මහජනතාවගේ අවශ්‍යතාවයක් නොවෙයි ඒක. රජයේ අවශ්‍යතාවය අනුව කරපු දෙයක්. මීට ඉස්සෙල්ලා ඡන්ද ඕන තරම් තියලා තියෙනවා. එහෙම එක දවසක ඡන්දය තියන්න ඕන කියලා නෑ. අවුරැදු 25ක්ම පළාත් සභා ක්‍රමය හරියට ගියෙ නැද්ද?
I සකීෆ් සාම් තන්වීරි