2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

විෂ්ණු දෙවියන් වඩිනවලු; රෝගීන් ලක්ෂ 50ක් සුවපත් කළාලු; බුදුබව ලබනවලු; මේ කවුද?

 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 0

මහා සංඝරත්නයට කළ නොහැකි හාස්කම් බෝසත් ජානක සී සේනාධීපති උතුමානෝ කර ඇති හෙයින් ඔහු බෝසත්ම බවට මහා සංඝරත්නය ව්‍යාවහාර කරන බව නොච්චියාගම විහාරස්ථානයේ විහාරාධිපති සෝභිත හිමියන් පසුගියදා කළ ප්‍රකාශයක් මහත් ආන්දෝලනයට ලක්ව තිබේ. ආණමඩුව දිවුල්වැව විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවූ චෛත්‍යයට කොත පැළඳවීමේ උස්වයේදී පැවැත්වූ අනුශාසනාවේදී උන්වහන්සේ එසේ ප්‍රකාශ කළහ.

වාරිමාර්ග හා ජලකළමනාකරණ අමාත්‍ය පාලිත රංගේබංඩාර මහතාගේ සහ ශිරෝමි ගුණතිලක මහත්මියගේ මුල්‍ය ධන පරිත්‍යාගයෙන් කුමාර කාශ්‍යප මහා චෛත්‍ය  පූජා කරනු ලැබීය. රාත්‍රි 7.30 පමණ කොත් පැළඳවීම සිදුවූ අතර එම අවස්ථාවේදී ජංගම දුරකථනයක සටහන්වී තිබූ ඡායාරූපයක් පෙන්වමින් ජානක සී. සේනාධීපති යන අය ශබ්ද විකාශන යන්ත්‍රය භාවිත කරමින් ජනතාව හමුවේ පැවසුවේ විෂ්ණු දෙවියන් ගුරුලා පිටින් චෛත්‍යට වන්දනා මාන කිරීම සඳහා පැමිණි බවයි.

එම ප්‍රකාශය බොහෝ දෙනකුගේ විවේචනයට ලක්වීය. එම ඡායාරූපය ආලෝක ධාරාවක් තුළින් නිර්මාණය වූවක් බව ඡායාරූප ශිල්පින් පැහැදිලිවම දැන සිටියද ඒ පිළිබඳ නොදත් බොහෝ දෙනා මුලාවට පත්වූහ. මධ්‍යම රාත්‍රිය වන විට එම විෂ්ණු දෙවියන් වැඩිය බව කියන ඡායාරූපය ප්‍රොජක්ටරයක් මගින් පෙන්වීමට ඔහුගේ ගෝල බාලයින් කටයුතු කළේ මුලා වූවන් තව තවත් මුලා කිරීමේ අභිලාෂයෙන් බව පැහැදිලිය. මහා සංඝරත්නය අමතක කර බෝසත් යැයි නම් බටබැඳගත් තමාට වැඳුම් පිඳුම් ලබා ගැනීමට හැකි වන ආකාරයට වන්දනාකරුවන් මුලා කිරීමට ඔහු දක්ෂයෙක් විය.

බොරු කියමින් ජනතාව මුලා කරමින් ලෙඩුන් ලක්ෂ පනහක් සුව කර ඇති බව ඔහු පවසන්නේ අත් පත්‍රිකා බෙදාහරිමිනි. ඔහුගේ පරිවාර සේනාව මේ බව ශබ්ද විකාශන යන්ත්‍ර මගින්ද ප්‍රකාශ කරති.

වඩින්නට සිටින මෛත්‍රි බුදුන්වහන්සේ බවත් රහසින්වත් පව් නොකරන්නෙකු බවත් ජනතාවගේ හදවත්වලට කාවද්දා තිබේ. එසේ වුවද ගුරුලා පිටින් විෂ්ණු දෙවියන් පැමිණි බව කිවූ පට්ටපල් බොරුව බොහෝ දෙනෙකුගේ බුද්ධියේ විමසුමට ලක්විය. ජනතාව පමණක් නොව එම අවස්ථාවේ සිටි මහා සංඝරත්නයද මුලා කරමින් සාධු කාර පවත්වා ගැනීමටද ඔහුට හැකිවිය.

බුදු දහමටම නිගා කරමින් ලෙඩුන් සුව කරන බව කියන්නෙ ඔහු සහ ඔහුගේ ගෝල බාලයින්ය. ගිහි පැවිදි කාටත් පිරිත් සජ්ඡායනය කළ හැකිය. පිරිත් කීම බෝධි පූජා පැවැත්වීමත් අගය කළ යුතු වුවද සැබෑ බුදු දහම අනුව නොයා මුදල් උපයා ගැනීමේ අභිප්‍රායෙන් ජනතාව මුලා කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. 

දුෂ්කර ගම්වල ජීවත්වන ජනතාව බොහෝ දෙනා විවිධ දෙවිවරැන් කෙරෙහී දක්වන විශ්වාසය මෙවැනි බොරැකාරයන්ට ඔවුන් මුලාවීමටම හේතුවී ඇත. 

විෂ්ණු දෙවියන් චෛත්‍ය වැඳීමට පැමිණි බව ජානක සේනාධිපති කීවද එය ඔප්පු කළ නොහැකි අන්ධ භක්තිකයින් මුලා කරන පට්ටපල් බොරුවකි. එහි සත්‍ය පිළිබඳ විද්‍යාත්මකව ඔප්පු කළ හැකි කිසිවක් නැත. මේ පිළිබඳ ජනතාව අතර දැඩි ලෙස කතා බහ වෙමින් තිබියදී ජානක සි සේනාධීපති පිළිබඳ වර්ණනා කිරීමට ඒ තුළින් ජනතාව මුලා කිරීමට සූදානම් කර තිබූ අනුශාසනා පහ අතරින් දෙවැනි අනුශාසන කතාව ආරම්භ විය. 

නොච්චියාගම විහාරස්ථානයේ විහාරාධිපති සෝභිත හිමියෝ මෙසේපැවසූහ. 

2561 කාලය වන විට මේ සම්බුද්ධ සාසනය නගා සිටුවීමේ සහයට ජානක සී. බෝසත් උතුමාණන් මේ ලංකා පිං බිමට පහළවන බව බුදු රජාණන් වහන්සේ දැන සිටියා. ඒ අනුව පිංවතුනි අපට ප්‍රකාශ කරන්න පුළුවන් ත්‍රෛනිකායික මහා සංඝරත්නයෙන් පිදුම් ලැබූ බෝසත් ගුණෝපායට පමණක් නොව බෝසත්ම කියලා.

මේ බෝසත් උතුමා මේ පිං බිමට සම්බුද්ධ සාසනයට එතුමාගේ ජීවිත කාලය තුළදී චෛත්‍ය දෙසීයකට වඩා නිර්මාණය කරලා තිබෙනවා. ලක්ෂ ගණන් ලෙඩුන් සුවපත් කරලා තිබෙනවා. මහා ජන ගංඟාවක් නිර්මාංශ කරලා හමාරයි. අපට මේ හාස්කම කරන්න පුළුවන් වෙලා නැහැ. මහා සංඝරත්නය බුද පූජා පවත්වනවා බෝධි පූජා පවත්වනවා ඒ අවස්ථාවල අපට මෙහෙම කරන්න බැරිවෙලා තිබෙනවා. නිර්මාංශව සුදුවතින් පිරිසිදුව බුද්ධ ප්‍රසාදයට එන්න කියලා අපි කිව්වෙත් නැහැ එහෙම කිව්වත් එන්නෙත් නැහැ.

මේ යුග පුරුෂයෙක්. බෝසත් උතුමෙක්. මේ පිං බිමට බිහිකරපු අම්මා මහා මායා දේවීය වගේ 235 වාරයක් පිං දෙනවා මගෙ රත්තරං පුතා බුදු වේවා කියලා. වෙස්සන්තරතුමාගේ මෛත්‍රි බිසව වගේ ජානක සී. උතුමාණන්ගේ ස්වාමි දියණියත් මේ සංසාරෙන් එනවා. එහෙම ඇවිත් එතුමියගේ ආශිර්වාදය එතුමාට ලබාදෙනවා බුදු බවට අවශ්‍ය යුතුකම් අංග සම්පූර්ණ කරගන්න පාරමිතා සම්පූර්ණ කරගන්න. 

ජානක සී. සේනාධිපතිතුමා මේ වාගේ පින් දහම් කරලා බෝසත්වරුන්ට පාරමිතා පුරලා බෝසත්වරුන්ගේ නිත්‍ය වාසස්ථානය තව්තිසා දෙව්ලොව පහළවෙලා අනාගතයේදී ලොව්තුරා බුදු බව ලබනවා. මම නොච්චියාගම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ මගේ දායක සභාවටත් බෝසත්තුමා ප්‍රකාශය කරලා තිබෙනවා මගේ නමින් සෝභිත මහාරහතන් වහන්සේ නමින් චෛත්‍යක් ඉදිකරනවා කියලා. අපි එතුමාට බදු බව ලැබෙන්න කියලා සාධු කියමු.  

ස්වාමින් වහන්සේලා සිටියදී සැදැහැවතුන්, දායක උපාසක උපාසිකාවෝ පොරකමින් ගිහියෙකුට වැඳීම සඳහා පෝලිම් ගැසී ගමන් කළහ. වරද කාගේද යන්න ගැටලුවකි. මහකෝන්වැව විහාරාධිපති කඩවත ධම්මසිද්ධි හිමිගෙන් කළ විමසීමකදී වදාළේ මෙවැන්නකි.

බෝධි සත්ත්වයෙක් කියන්නේ බුදු වෙන්න පෙරුම්පුරන අයෙක්. බෝධි සත්වය කියන වචනය තමයි කෙටියෙන් බෝසත් කියලා කියන්නෙ. අපි කෙනකුට බෝසත් කියලා කියන්න එයා කරපු පාරමීදම් පිළිබඳ දැන ගන්න දිව්‍යඥ ඥානයක් කාටවත් නැහැ. දාන සීල භාවනා බෝධි සත්ත්ව ගුණෝපේත මූලික අවශ්‍යතාවයක් වෙනවා.

බෝසත් කියලා ස්වාමින් වහන්සේලාගේ මුවින් ප්‍රකාශ කරන ජානක සී සේනාධිපති ලක්ෂ පනහක් රෝගින් සුවකරලා තිබෙනවා කියලා පත්‍රිකාවල මුද්‍රනය කරලා ජනතාව අතට පත් කරලා තිබෙනවා. හාමුදුරුවරුන්ට ඇයි බැරි යැයි විමසූ විට උන්වහන්සේ පැවසුවේ එහෙනම් ලංකාවේ රෝහල් සේරම වහන්න පුළුවන් වෛද්‍ය විද්‍යාල වහන්න පුළුවන්. එතකොට සයිටම් ප්‍රශ්නයත් ඉවර වෙනවා. ඔය විදිහට ජනතාව මුලා කරන්නේ බෞද්ධ ජනතාවමයි. ඔය කතා ජනප්‍රියත්වය ලබාගන්න කියන කතා. ජනතාව මුලා කරන්න පහසු ක්‍රම කාලෙන් කාලෙට හොයා ගන්නවා. මේ බුදුදහමට කරන නිගාවක්. ස්වාමින් වහන්සේලාත් මුලා වෙලා ඉන්නවා නම් බරපතළ ප්‍රශ්නයක්

ගිහියන්ට වඩා පැවිද්දන් බුදු දහම රැකගන්න කටයුතු කළ යුතුයි. එසේ නොවුණ හොත් අන්තවාදී මුලධර්මවාදින් බෞද්ධයා එයාලගෙ ආගම්වලට ඩැහැ ගනී. ඔය කියන විදිහට කෙනෙකුට බෝසත් කියලා මහා සංඝරත්නය ආමන්ත්‍රණය කරනවා නම් බුදු දහම අවභාවිත කරලා කියලා තමයි කියන්න තිබෙන්නේ. යැයිද උන්වහන්සේ පැවසූහ.

මොහු සංවිධානය කරන පිංකම් පැවැත්වීමේදී කළ යුතු කරුණු 30ක් බෙදාහරින අත් පත්‍රිකාවල සඳහන්ය. ශබ්ද විකාශන යන්ත්‍ර, තෙල්, ජෙනරේටර් අනිවාර්ය වේ. චෛත්‍යට තැන්පත් කරන කුඩා බුද්ධ ප්‍රතිමා බෝධි පූජා කමිටුව යැයි කියන පිරිස රැගෙන එන අතර සෑම කෙනකුම එකක් රැපියල් දෙසීය පනහක මුදලකට මිලදී ගත යුතුය.

මේ පිංකම සඳහා එක් පවුලකට රුපියල් 15000 පමණ වැය කිරීමට සිදුවන බව ජනතාව කියයි. චෛත්‍ය ඉදිකිරීම සඳහා මුල්‍ය දායකත්වය කිසියම් අයකු විසින් ලබා දුන්නද එහි ඉදිකිරීම් කටයුතු ජනක සේනාධීපතිගේ කංඩායමේ පෙදරේරුවන් විසින් ඉදිකරන්නේ මුදලටය. චෛත්‍ය ඉදිකිරීමේ කොන්ත්‍රාත් සමාගමද ඔවුන්මය. අවසානයේදී ජනතාව මිලදී ගන්නා දහස් ගණනක් බුද්ධ ප්‍රතිමා වහන්සේලා චෛත්‍යයේ තැන්පත් කිරීම සිදුවන අතර ඒ සඳහා ජානක සේනාධිපති සහා අත් ගමන් කථන යන්ත්‍ර ලඟ තබා ගනිමින් සුදුවතින් සැරසී ඇමැති ආරක්ෂකයින් මෙන් පෙනි සිටින ගෝල බාලයින් හැර මහා සංඝරත්නයටවත් දායක සභාවේ කිසිවකුටවත් සහභාගී වීමේ අවසරයක් නොලැබී ඇත.

රෝගින් සුවකරන බවට කියමින් විවිධ ප්‍රදේශවලින් දහස් ගණනින් ජනතාව ගෙන්වා අලෙවි කරන බුදු පිළිම ඔවුන්ගෙන්ම ලබාගත යුතුය. චෛත්‍යට තැන්පත් කරන බුදු පිළිම වලට සිදුවන්නේ කුමක්ද යන්න තවත් ලිපියකින් අනාවරණය කිරීමට හැකිවනු ඇත. මේ වන විට දස ලක්ෂයක් බුද්ධ ප්‍රතිමා චෛත්‍යවල තැන්පත් කර ධාතුන් වහන්සේලාද තැන්පත් කර ඇති බව කියයි. බුද්ධ ප්‍රතිමා චෛත්‍ය තුළ තිබේද හාස්කමකින් වලින් ඉවත්වී තිබේද ඒ හාස්කම් කලේ කවුරැන්ද යන්න දැන්ම සොයාබැලිය යුතුය. 

කතාව හා සේයාරූ - රෝවන් පෙරේරා පුත්තලම