2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

අපි හරිම ස්මාට්...

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 127

දැනට දශක කිහිපයකට උඩදි අපි කතා කළේ ගෝලීයකරණය වෙන ලෝකයක් ගැනයි. හැබැයි අද අපිට ඒ වෙනුවට කතා කරන්න වෙලා තියෙන්නෙ වේගයෙන් ස්මාට්කරණය වෙමින් පවතින ලෝකයක් ගැනයි. ගල් යුගය, අයිස් යුගය හෙමින් හෙමින් පහු කරපු මිනිස්සු දැන් ස්මාට් යුගයට ඇවිත්. 

ගල් යුගයේ ගල් ආයුධ තිබ්බා වගේ ස්මාට් යුගයේදිත් මිනිස්සුන්ට උදව් වෙන පොඩි ආයුධ ටිකක් මෙවලම් ටිකක් තියෙනවා. ඒ අතර ස්මාට් ඔරලෝසු, ස්මාට් ටී.වී. වගේ ගොඩක් දේවල් තිබ්බට පෙරමුණේ රාළ තමයි ස්මාට් ෆෝන් එක. ස්මාට් ෆෝන් එකත් එක්ක තමයි අද තියෙන ස්මාට් ලෝකෙ බිහිවෙන්නෙ. 

පුංචි දුරකථන ඇමතුමක ඉඳන් හෝටලයක් බුක් කරන්න, දොස්තර කෙනෙක් චැනල් කරන්න, කොටින්ම කේන්දරේ පවා බලාගන්න මේ ස්මාට් ෆෝන් එකකට පුළුවන්. හැබැයි ඉතින් ස්මාට් ෆෝන් ගැන වැඩිහිටි පරම්පරාවෙ නම් තියෙන්නෙ ලොකු විරුද්ධත්වයක්. ස්මාට් ෆෝන් එකක් එක්ක තනිවෙච්ච කොල්ලෙක් කෙල්ලෙක් දිහා අපේ වැඩිහිටි පරම්පරාව බලන්නෙම වපර ඇහින්.

බස් එකේ කෝච්චියේ ඉඳන් ස්මාට් ෆෝන් එකට මුහුණ ඔබා ගත්තු කොල්ලෙක් කෙල්ලෙක් මේ කරන්නෙ තමන්ගෙ කෙල්ලට හරි කොල්ලට හරි ඇස්.ඇම්.ඇස් ගහන එක කියලයි වැඩිහිටියෝ හිතන්නෙ. තේරෙන භාෂාවෙන් කිව්වොත් මල් කැඩිල්ල. හැබැයි ඊට එහා ගිය ගොඩක් දේවල් මේ පුංචි උපාංගෙන් කරගන්න පුළුවන් කියලා අපේ වැඩිහිටියෝ දන්නෙ නෑ. 

බස් එකේ කෝච්චියේ එහෙමත් නැත්නම් තනි වෙච්ච ඕන වෙලාවක තරුණ පරම්පරාවේ සගයා තමයි ස්මාට් ෆෝන් එක. කෝල් ගන්න එකයි, මැසේජ් කරන එකයි ඇරුණම තව වැඩ කෝටියක් ඕකෙන් කොල්ලො කෙල්ලො ගන්නවා. ස්මාට් ෆෝන් එකක නියම ප්‍රයෝජනය විඳින සමහරු ඒකෙන් පොත් පවා කියවනවා. තව සමහරු අන්තර්ජාල ගතවෙලා නිව්ස් බලනවා. තව සමහරු සින්දු අහනවා. මේ හින්දා අද වෙද්දි ගොඩක් අයට පරිගණකය කියන්නෙ නැතිවම බැරි උපාංගයක් නෙමේ. හැබැයි ස්මාට් ෆෝන් එක කියන්නෙ හරියට මේසන් බාස්ට මේසන් හැන්ද වගේ නැතුවම බැරි දෙයක්. 

සමහර වෙලාවට ෆෝන් එකේම මූණ ඔබාගත්තු ඈයෝ දකිද්දි ටිකක් විකාරයක් වගේ තමයි. පිළිගන්න වෙනවා. හැබැයි ඒ අය තම තමන්ගෙ සතුට, දැනුම, විනෝදය එතැනින් ලබනවා කියලත් අමතක කරන්න හොඳ නැහැ. 
මීට ටික කාලෙකට උඩදි වෙච්ච සිදුවීමක් මතක් වෙනවා. කොළඹට ටිකක් දුරබැහැරින් තියෙන පන්සලකට අපි කිහිපදෙනෙක් ගියේ ලිපියකට අවශ්‍ය කරුණු ටිකක් ගන්න. කරැණු ටික සේරම ගත්තත් තව පින්තූර කිහිපයක් ගන්න ඕන වෙලා තිබුණා. අන්තිමේදී එතැන හිටපු තරුණ හාමුදුරුවෝ දුන්න උත්තරේ තමයි, මහත්තයලා යන්න. මම හෙට වෙද්දි පින්තූර ටික වයිබර් කරන්නම් කියලා. කිව්වා වගේම වැඩෙත් කෙරුණා.

ස්මාට් ෆෝන්වලින් බොහෝ දෙනෙක් ගන්න ප්‍රයෝජනයක් තමයි චැට් කිරිල්ල. වයිබර්, වට්ස්ඇප් වගේ ඒවා හරහා තනි තනි පුද්ගලයන් අතරත් කණ්ඩායම් වශයෙනුත් චැට් කරන්න පුළුවන්. 

අද කාලෙ හැමෝම කාර්ය බහුලයි. ඉතින් අඩුම තරමේ ඩිජිටල් තිරයක් හරහා හරි සන්නිවේදන වැඩ කටයුතු කරගන්න පුළුවන් නම් ඒකෙන් යම් තරමකට හරි අනිත් මිනිස්සු එක්ක තියෙන සම්බන්ධතා ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා. 
ඉතින් ගොඩක් පැතිවලින් බැලුවම ස්මාට් ෆෝන් එක කියන්නෙ යතුරක්. ස්මාට් ලෝකෙකට ඔබව අරන් යන්න පුළුවන් යතුරක්. හැබැයි ඒ යතුරෙන් හරි දොර ඇරගෙන හරි ලෝකෙට යන්න පොඩ්ඩක් ඔළුව කල්පනා කරන්නත් ඕනෙ.