2024 අගෝස්තු 10 වන සෙනසුරාදා

බංගලි වළලු ගෙන එන්නයි පොරොන්දුව

 2024 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 143

බංග්ලාදේශ අගමැතිනිය, ෂීක් හසීනා දැන් රටෙත් නැත. දශක දෙකක කාලයක් රට පාලනය කළ ඇයට, අවසානයේ දිවි ගලවාගෙන පලා යාමට උදව් වූයේ හෙලිකොප්ටරයකි. දහසක් දෙනා වට කරගෙන සිටියත්, අවසානයේ තනියට ඉතිරි වූයේ සොහොයුරිය පමණි.

ඇයට විරුද්ධව අරගල කළ සරසවි ශිෂ්‍යයෝ පැන, ඇගේ අසුනේ පමණක් නොව යහනේ ද හිඳ, ඡායාරූප ගත්හ.

අරගලයේ පසුපසින් ඇදුණු පිරිස් අගමැතිනියගේ නිවසේ වූ සකලසබ්බමනාව කොල්ල කෑහ. ඇගේ උඩු ඇඳුම් පමණක් නොව යට ඇඳුම් පවා ගෙන ගියහ. එළුවකුට කුකුළකුට තාරාවකුට පවා නිදහස ලැබුණේ නැත.
අරගලවල ස්වභාවය මෙයයි. ඉදිරිපස කණ්ඩායමක් මෙන්ම පසුපස කණ්ඩායමක් ද සිටී. අවසානයේ දී දෙවැනි කණ්ඩායම පාලනය කළ නොහැකි තැනකට පත් වෙයි.

ෂීක් හසීනාගේ පියා වන ෂීක් මුජිබර් රහමන් යනු, ජාතියේ පියා ලෙසින් විරුදාවලි ලත් නායකයෙකි. පකිස්ථානයෙන් මිදී, බංග්ලාදේශයක් පිහිටුවා ගැනීමේ මූලික වූයේ ඔහුගේ විමුක්ති ව්‍යාපාරයයි. බංග්ලා බන්ධු නොහොත් ‘බංග්ලාදේශයේ මිත්‍රයා’ ලෙසින් ද ඔහු ජනාදරයට පාත්‍ර වුණි.

‘බංග්ලා බන්ධු’ සිය දේශය තුළදී දෙවරක් මිය ගියේය. පළමු අවස්ථාව, 1975 දී හමුදා කුමන්ත්‍රණයකට පසුව, ඝාතනය කිරීමෙනි. දෙවනුව, පසුගියදා සිදු වූ ශිෂ්‍ය අරගලයේ දී, බැකෝ යන්ත්‍ර යොදාගෙන ඔහුගේ ප්‍රතිමාවේ හිස ගසා දැමීමෙනි!
අරගල හටගන්නේ, ජනතා විරෝධය උත්සන්න වීමෙනි. එහෙත් බොහෝ විට, ඒවාට හිසක් නැත. සිරි ලංකාවේ අරගලයේ දීද සිදුවූයේ, කොහේවත් තිබූ හිසක් ගෙනැවිත්, කිරුළු පැළදීමය. අරාබි වසන්තයට ද සිදු වූ දේ, දැන් පැහැදිලිය.
දේශපාලන කාටූනයක දැක්වුණු පරිදි, බංග්ලා ශිෂ්‍යයෝ, මුජිබර් රහමන්ගේ (ජාතියේ පියා) ප්‍රතිමාවේ හිසට, කුළුගෙඩි පහර දෙමින් සිටිති. ඒ බලා සිටින සාමාන්‍ය වැසියෙක් ශිෂ්‍යයකුට ළංව මෙසේ අසයි.
“අනේ ඇයි ඒ ප්‍රතිමාව විනාශ කරන්නෙ?”

“එයා ෂීක් හසීනාගෙ පියා නිසා.”

ඒ කෙසේ වෙතත්, සෑම අරගලයක්ම ඉතිහාසය තුළ ලියා තබන පාඩමක් වෙයි. ජනතා විරෝධය යනු, කිසිදු ජගතකුට නවතාලිය නොහැකි සුනාමියක් බවය. බලයෙන් උමතුව හැසිරෙන්නට ගිය සෑම පාලකයකුම, අවසානයේ දඬුවම් ලැබුවේ ජනතාවගෙනි.
බංග්ලාදේශ අරගලයේ දීද මන්ත්‍රී නිවාස ගිනි තැබීම සිදුවුණි. ඒ අතර වූ එක් කනගාටුදායක සිද්ධියක් වූයේ, එරට ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයකුව සිටි මෂ්රාෆි මොර්ටසාගේ නිවස ද ගිනිබත් කිරීමය. හේතුව වූයේ, ඔහු ද ‘අවාමි ලීග්’ පක්ෂයෙන් දේශපාලනයට පිවිස, පාර්ලිමේන්තුවට පත්ව සිටීමය.

ඉන්දියාව වැනි රටවල, ජාත්‍යන්තර ක්‍රිකට් තරග පරාජය වූ විට, ක්‍රීඩකයන්ගේ ගෙවල්වලට ගල්මුල් එල්ල කරන බව අප අසා ඇත. එනිසාම, තරග පරාජය වීමෙන් පසු, ක්‍රීඩකයන්ගේ ගෙවල්වලට පොලිස් ආරක්ෂාව ද යෙදේ.
මොර්ටාසාට නම් ක්‍රිකට් ජීවිතයේ දී එවැනි පහරදීම්වලට මුහුණ පෑමට සිදු වුණේ නැත. එහෙත්, ක්‍රිකට් සහ දේශපාලනය යනු දෙකක් බව ඔහු දැන් තේරුම්ගෙන ඇතුවාට සැක නැත.

අරගලයක් තුළ, අපේක්ෂාවන්, ඉල්ලීම් මෙන්ම කොන්දේසි ද වෙයි. ගෝල්ෆේස් අරගලයේ එක් ඉල්ලීමක් වූයේ, පාර්ලිමේන්තුවේ සිටින 225 ම එපා යන්නය. එහෙත් එය සිදුවූයේ නැත. දැන් නැවත බලය ඉල්ලා, කඳවුරු බඳින්නේ ඒ 225 මය.
මහල්ලන් වෙනුවට තරුණයන් දේශපාලන පිටියේ ඉදිරියට ගැනීම තවත් අපේක්ෂාවක් විය. අරගලය කෙරුවේද තරුණයෝය. එය ද ඉටු වූයේ නැත. එහෙත්, දැන් හිටපු ජනපතිවරයා, තම පුතු නාමල් ඉදිරිපත් කරමින්, “අරගලයේ ඉල්ලීමක් වන, තරුණ නායකයකු ලබාදුන් බව” කියා සිටී.

බංග්ලාදේශයේ ප්‍රකට කවට කථිකයකු වන සැමී දෝහා (Sammy Doha) පවසන අන්දමට, ඔහු හාස්‍යයට ප්‍රිය කරන්නේ, ලෙඩරෝගවලට බෙහෙත් ගැනීම අනවශ්‍ය බැවිනි. සිනාසී තරවීම කෙසේ වෙතත්, සිනාසී සුවවීම ද කළ හැකි බැව් සැමී දෝහාගේ කියුමෙන් ඇඟවෙයි. කොමඩිය යනු තෙරපියකි.

දේශපාලනඥයෝ ද හොඳ විහිළුකාරයෝය. අරගලයකින් පලා ගිය නායකයකු, අරගලකරුවන්ගේම ඉල්ලීමක් ඉටු කිරීමට යාමද කෙනකු තුළ සිනහවක් උපදවන කාරණයක් ලෙස දැකිය හැකිය. “මාව එපා නම්, ඒ තැන පුතාට දෙන්න.” සැඟවුණු ඉල්ලීම එය නම්, පිළිතුර ජනතාවට බාරය.

මැතිවරණයත් සමඟම යළි යළිත් දහසක් පොරොන්දු ඇසෙන්නට වෙයි. හඳෙන් සහල් ගෙනවිත් දෙනවා යැයි කියූ කාලයේ, හඳේ තුත්තිරි ගහක්වත් හැදෙනවා දැයි අහන්නට එකෙක් සිටියේ නැතත්, ෂීක් හසීනාගේ බංගලි වළලු හෝ ගෙනත් දෙනවා යැයි පොරොන්දු දුන්නොත් ඒ පිළිගන්නට, සූදානම් එවුන් දැන් නම් අඩුය. නරියකුට බොක්ක සෝදන්නට දුන් එකකුගේ හත්මුතු පරම්පරාවවත් නැවත ඒ මෝඩකම කරන්නේ නැත.

• කපිල කුමාර කාලිංග