
කොළඹ කුණුවන තරමටම කුණු ප්‍රශ්නය දරුණු වූයේ කාලයක් තිස්සේ බැරිබර දරාගෙන සිටි මීතොටමුල්ලේ කුණු කන්දෙන් කොටසක් පොළොවට සමතලා වීමත් සමඟය. මෙතෙක් කල් කුණු තට්ටු පිටින් ගොඩ ගැසූ කුණු කන්දට කුණු දැමිය නොහැකි වූ නිසාම නගරයේ තැන් තැන්වල කුණු කඳු ගොඩගැසුණු අතර කොළඹ සුරපුරය කුණු පුරයක් බවටම පත්වෙමින් තිබිණි. කුණු කන්ද නාය ගොස් දින හතක් පමණ ගතවීමෙන් පසුව නැවතත් කුණු ඇදීම ආරම්භ වූ අතර විශාලම ගැටලුව බවට පත්ව තිබුණේ රැගෙන යන කුණු ගොඩ ගසන්නේ කුමන ස්ථානයේද යන්නය. මේ අනුව අවස්ථා කිහිපයකදී විවිධ ස්ථානවලට කුණු රුගෙන ගිය අතර එලෙස කුණු රැගෙන ගියේ විවිධ පුද්ගලයන්ගේ විරෝධතාවන්ද මධ්‍යයේය.
කුණු ප්‍රශ්නය කෙමෙන් විසඳී යන බවට බොහෝ දෙනෙකු සිතුවද පසුගියදා කොළඹ නගරයේ ස්ථාන කිහිපයක විශාල වශයෙන් කුණු ගොඩ ගැසීමත් සමඟ එම ගැටලුව නැවතත් උඩු යටිකුරු විය. කැළිකසළ හා අපද්‍රව්‍ය අනවසරයෙන් ගොඩගැසීම හේතුවෙන් පැනනැගී ඇති ගැටලු මොනවාදැයි සොයාබැලීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද පසුගිය 18 වැනිදා කොළඹ පිටකොටුව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර මෙහිදී බෝධිරාජ මාවතේ සහ ශ්‍රී ලංගම බස්නැවතුම්පොළ අසල ගොඩගසා ඇති කැළිකසළ අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.
කොළඹ නගරයේ සහ තදාසන්න නගරවල ගොඩගැසී තිබෙන කැළිකසළ දින තුනක් ඇතුළත ඉවත් කරන්නැයි බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතාට මැති ඇමැතිවරුන් තදින් අවවාද කරන්නේද මේ අතරවාරයේය. මෙහිදී කොළඹ හා තදාසන්න නගරයන්හි කුණු ගොඩ ගැසීම සම්බන්ධයෙන් ඇමැතිවරැන් මහඇමැතිවරයාට දොස් පැවරූ බවද වාර්තා වේ.
කෙසේ වෙතත් තැන තැන ගොඩගැසුණු කුණු ගොඩවල් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ අවධානය යොමුවීමත් සමඟ කුණු ඇදීමේ ක්‍රියාවලියද වේගවත් වූ අතර ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට ගිය අපට දැකගන්නට හැකිවූයේ දැඩිව දැනෙන හිරු රශ්මිය පවා නොතකා කුණු එකතු කිරීමේ කටයුත්තේ නිරතව සිටි පිරිස්ය.
කොළඹ කැත කරන්න ලොකු කුණු මලු දැමීම සංවිධානාත්මක වැඩක්
ඔවුන් සමඟ කතා කරන්නට බොහෝ දේ පැවතියද අප මුලින්ම අදහස් විමසීමක් කළේ කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් පී.කේ.ඒ. අනුර මහතාගෙනි.
කසළ ඉවත් කිරීම පසුගිය කාලෙදි සිද්ධ වුණා. හැමෝම කියන්නේ ඒක හරි ලස්සනට සිද්ධ වුණා කියලයි. නමුත් පහුගිය කාලෙ සිද්ධවුණේ කසළ හංගා තැබීමයි. වෙනත් විදිහකින් කියනවා නම් කසළ පොළොවට දාලා වැහුවා. ඒක කසළ බැහැර කිරීම නෙමෙයි. හොඳට මුදල් තිබෙන බටහිර රටවල අය මේ කසළ කියන එක ඉතා හොඳ තත්ත්වයකට ගේනවා. ඊළඟට සාමාන්‍ය රටවලුත් කසළ කළමනාකරණය කරනවා. කොළඹ මහ නගර සභාව වන අපට අලුතෙන් පත්වුණ රජයේ උපදෙසුත් එක්ක සිද්ධවෙලා තියෙනවා කසළ කළමනාකරණය විද්‍යාත්මකව කරන්නට. අපි දැන් කරන්නේ විද්‍යාත්මක කසළ බැහැර කිරීමේ කටයුත්තක්. තව අවුරුදු එකහමාරකින් පමණ ඉතා විශිෂ්ට ආකාරයේ කසළ කළමනාකරණය සිද්ධ වෙනවා. මෙගා පොලිස් වැඩසටහන හා සම්බන්ධව එම වැඩසටහන මේ වනවිටත් ක්‍රියාත්මක වෙනවා.
එදා කසළ හංගපු එක කරන්නේ නැතිව අපි කරන්නේ විද්‍යාත්මකව කසළ බැහැර කිරීමට කටයුතු කිරීමයි. තාම අපි ඉන්නේ මෙම වැඩසටහනේ ප්‍රාථමික අවධියේ. මේ ප්‍රාථමික අවධියේ ඉඳලා තමයි අපි ජනතාවට කියන්නේ නිවෙස්වලින් බැහැර කරන කසළ කොටස් දෙකකට දෙන්න කියලා දිරන හා නොදිරන වශයෙන්.

දිරන කසළ අරගෙන අපි ඒක පොහොර සෑදීම සඳහා වෙන් කරනවා. ඒවා ආපසු මිනිස්සුන්ට අවහිරයක් නොවන පරිදි තමයි ඒ බැහැර කිරීම සිදුවෙන්නේ. මේ වනවිට කොළඹ නගරයෙන් එකතුවන කුණුවලින් ටොන් 400ක් අපිට දිරන කුණු වශයෙන් එකතු කරගන්නට හැකිවෙලා තියෙනවා. මෙම කසළ ප්‍රමාණය වෙන් කරද්දී අපට නොදිරන කසළ ටොන් 100ක් පමණ හමුවුණා. එම කසළ අපෙන් ලබාගත්තා පහත් බිම් සංවර්ධන ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව විසින්. ඒ අය එම කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.
එක් පිරිසක් කැමැත්තෙන්ම කසළ වෙන්කරද්දී එලෙස කසළ වෙන්කරන්නට අකමැති පිරිසකුත් ඉන්නවා. ඇත්තටම මේක ඉතා පහසු වැඩක්. තමන්ගේ ගෙදර මැටි කෝප්පයකට, නෑඹිලියකට වගේ ඉතිරිවන කසළ ටික කොටස් දෙකකට වෙන්කර ගන්න අකමැති මිනිස්සු ඉන්නවා. ඒක සමාජමය ප්‍රශ්නයක්. මානසික ප්‍රශ්නයක්. ඒ අය මොකද කරන්නේ කසළ මල්ල ගෙනල්ලා පාරට විසි කරනවා. මේක වැරැදියි.
අපි ඉල්ලන්නේ කසළ වර්ගීකරණය කරලා අපිට ලබාදෙන්න කියලයි. එහෙම දුන්නට පස්සේ කොළඹ නගරය පිරිසුදු වෙනවා. පරිසරය පිරිසුදු වෙනවා. නමුත් මේකට විරුද්ධ වෙන කොළඹ නගර සීමාවේ කණ්ඩයමකුත් නගරයෙන් බැහැර කණ්ඩායමකුත් කුණු බැහැර කිරීම සිදුකරන්නේ නැහැ. පහුගිය දවස්වල කුණු ගොඩගසා තිබුණු තැන්වල තිබුණේ සාමාන්‍ය නිවෙස්වලින් ඉවත්කරන කුණු නෙමෙයි. ලොකු පොහොර උරවලට පටවලා ගෙනත් දාලා තිබුණා. මම විශ්වාස කරනවා සංවිධානාත්මකව කසළ බැහැර කිරීමක් කරනවා කොළඹ නගරය අපිරිසිදු කිරීමට.
අපි මෙතනදි ජනතාවට ආයාචනයක් කරනවා අපේ හඬට ඇහුම්කන් දෙන්න. කොළඹ නගරයට පිරිසිදුව තියාගන්න. සියලු දෙනා කසළ වෙන්කරලා ලබාදීලා අපට සහයෝගය ලබාදෙන්න කියලා.
පරිසරයට හිතැති බොහෝ පිරිස් මේ වනවිටත් කසළ වෙන්කොට ලබාදීමට කටයුතු කරන අතර නාගරික කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසූයේ එලෙස කසළ වෙන් නොකරන හා වෙනත් ප්‍රදේශවලින් රැගෙනවිත් කසළ බැහැර කරන පිරිස් සඳහා නීති මගින් කටයුතු කිරීමට පියවර ගන්නා බවයි.
එසේම ඒ මහතා වැඩිදුරටත් පැවසූයේ පාරේ තැන් තැන්වල කසළ බෑග් විසි කරමින් ගිය පුද්ගලයන් කිහිප දෙනෙකුම දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිරියේදී CCTV දර්ශන සමඟ ඔවුන් මාධ්‍ය වෙත ඉදිරිපත් කරන බවයි.
කොළඹ නගරය තුළ දෛනිකව එක්රැස්වන කසළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 500ක් පමණ වන අතර ඒවා බැහැර කිරීම සිදුවෙන්නේ මුතුරාජවෙල පිහිටි ඉඩම් ගොඩකිරීම් හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් භූමියකටය. මුතුරාජවෙල ආරම්භ කිරීම නියමිත කොම්පෝස්ට් අංගණය දිරායන කසළ මෙට්‍රික් ටොන් 400ක් සහ අලුතින් නිර්මාණය කෙරෙන සනීපාරක්ෂක කසළ රඳවනයක් වෙත නොදිරන කසළ මෙට්‍රික් ටොන් 100ක් වශයෙන් බැහැර කිරීම සිදුකෙරේ.
මේ වනවිට කොළඹ නගරයේ ජනතාවකගේ කසළ වර්ගීකරණය සඳහා සියයට 75ක පමණ සහාය ලැබෙන අතර මට පෙර කොළඹ නගරය තුළින් දෛනිකව එකතු වූ මෙට්‍රික් ටොන් 1000ක් පමණ වූ කුණු ප්‍රමාණය ජනතාවගේ කසළ කළමනාකරණය කිරීම් නිවැරදි අවබෝධය හමුවේ අඩුවී ඇති බවද කොළඹ නගර සභාව සඳහන් කරයි.

කොළඹ නගරයේ දෛනිකව සිදුකෙරෙන කසළ එක්රැස් කිරීම සඳහා කොළඹ නගර සභාවේ සේවකයන් 1200ක් කසළ එක්රැස් කරන රථ 50ක්ද පෞද්ගලික අංශයේ ආයතන දෙකකින් වාහන 40ක්ද එම ආයතනවලින් සේවකයන්ද යොදවා ඇත.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පෙන්වා දෙන්නේ රට තුළ විශාල කසළ අර්බුදයක් මතුව තිබෙන්නේ නිසි කසළ කළමනාකරණ වැඩසටහනක් ක්‍රියාත්මක නොවන නිසා බවයි. ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ කැළි කසළ ප්‍රශ්නයට විසඳම් ලබාදීම සඳහා හරිත මාතෘ භූමි වැඩසටහන ක්‍රියාත්මක කරන බවත්, රටට හා පරිසරයට ආදරය කරන ඕනෑම අයකුට මේ සඳහා සක්‍රියව දායක විය හැකි බවයි.
පසුගිය දිනවලදී ගොඩගැසී තිබූ කුණු මේ දිනවල ලහිලහියේ බැහැර කිරීම සිදුකරන අතර කොළඹ නගර සභාවේ කුණු බැහැර කිරීමේ කණ්ඩායම් මෙන්ම තවත් පෞද්ගලික ආයතනයක කණ්ඩායමක්ද ඊට සහභාගි වී ඇති ආකාරයත් නගරය තුළදී අපට දක්නට ලැබිණි. මෙහිදී මිනිසුන් විසින් ලබාදෙන කුණු දිරන හා නොදිරන වශයෙන් කොටස් දෙකකට බෙදා ලබාගන්නා අතර එසේ වෙන්කර නොමැති කසළ එකතු කරන පුද්ගලයන් විසින්ම වෙන්කර රථවලට පැටවීම සිදුකෙරේ.

අපට බැණලා සමහරු කුණු දානවා
මෙහිදී අපට අදහස් දැක්වූ තොටළඟ රේණුකා.
“සමහර අය කුණු වෙන්කරලා දෙනවා. ඒත් සමහර අය එහෙම කරන්නේ නෑ. ඉතින් කුණු වෙන්කරලා දෙන්න කිව්වම සමහර අය අපිට බණිනවා. රණ්ඩුවට එන වෙලාවලුත් තියෙනවා. ඇත්තටම මිනිස්සු පව් තමයි. ඒ අයට කුණු දාන්න තැනක් නෑ. ඒ මිනිස්සුන්ගේ ගෙවල්වල පොඩි දරුවො ඉන්නවා. ලෙඩ රෝග බෝවෙනවා. ඒක නිසා මේ ප්‍රශ්නයට විසඳුමක් තියෙන්න ඕනෙ.
ඇත්තටම අපිට මේ රස්සාවෙන් සුළු පඩියක් හම්බවෙන්නේ. අපි වැඩකළොත් තමයි පඩි තියෙන්නේ. නාවොත් පඩි නෑ. නගර සභාවට වඩා අපි තමයි මේ පාරවල්වල මහන්සි වෙන්නේ. අපිට මේ වැඩේ කරන්න ගොඩක් ලේසියි මිනිස්සු ඒවා වෙන්කරලා දෙනවා නම්. මේවා වෙන්කරන්න බෑග් හොයාගන්න ඕනෙත් අපිමයි. ගොඩක් වෙලාවට මේවයේ පණුවො ඉන්නවා. ගඳ ඒ පැත්තෙවත් ඉන්න බෑ. අපිත් මිනිස්සුනෙ. අපිටත් පොඩි දරුවො ඉන්නවා. අපිත් මේවා අල්ලලා අල්ලලා ගිහින් ගෙවල්වල උයාගෙන කනවා. මෙහෙම කුණු වෙන් කරන්න ගිහින් පහුගිය දවස්වල අපේ කීපදෙනෙකුම වමනෙත් දැම්මා අප්පිරියාවට. ඉතින් ඒකයි අපි කියන්නේ ගෙවල්වලින්ම කුණු වෙන්කරලා දෙන්න කියලා.
කුණු එකතු කිරීමද ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව තේරෙන්නේ මෙවැනි දේ ඇසෙද්දීය. මේ අතර මරදාන ප්‍රදේශයේද කුණු ඇදීමේ කටයුතු සිදුකෙරෙන අතර එහිදී හමුවූ කමලා මහත්මිය අපිට පැවසුවේ එක දවසකට ඉඳුල්ද අනෙක් දවසේ පොලිතින්ද වශයෙන් දින දෙකකට කුණු රැගෙන යන බවය.
මේ අතර ලෙච්චමී අප සමඟ පැවසුවේ නගර සභාවෙන් කියන ආකාරයට කුණු වෙන්කර භාරදීම ඔවුන් විසින් සිදුකරන බවය. එසේම දිනකට සැරයක් කුණු රැගෙන යාමට පැමිණෙන බවද ඇය පැවසීය.
“අපි නම් කුණු එකතු කරලා තියෙනවා. ඒත් ඉතින් අද ආවෙත් නෑ. ඒවා අරන් යන්න. අපි වෙනම තමයි කුණු එකතු කරන්නේ. ඒ අය දවස ගානේ එනවා නම් අපිට ලේසියි. කුණු ටිකක්වත් අයින් කරගන්න බැරි ආණ්ඩුවක් ගැන මොනවාද ඉතින් කතා කරන්නේ.” මෙලෙස පැවසුවේ අප හා කතා කළ චන්ද්‍රෙස්නය.
කොළඹ පසුගිය දිනවල තැන් තැන්වල ගොඩගැසී තිබූ කුණු ගොඩවල්වල ප්‍රමාණය මේ වනවිට අඩුවී ඇතත් ඇතැම් ජනතාවගේ ක්‍රියා කලාපය මත නිවෙස් ඉදිරිපිට දිනකට එකතු කරන කුණු ප්‍රමාණය නම් තවමත් අඩුවී නැත. මෙම ගැටලුවට ජනතාවගේ ලැබෙන සහයෝගයක් වශයෙන් තම නිවෙසින් බැහැර කරන කුණු ප්‍රමාණය යම් මට්ටමකින් හෝ අඩුකර ගැනීමට හැකියාව ඇත්නම් එය පරිසරයට මෙන්ම රටටද කෙරෙන මහඟු සත්කාරයකි.
♦ හේමමාලා කුමාරි රාජකරුණා
සේයාරූ | සුමුදු හේවාපතිරණ
වෙන් කරලා කුණු දෙනවා නම් ගැටලුව විසඳෙනවා
බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය
“ඇත්තටම මෙතන කුණු ඇදීමේ වරදක් සිදුවුණේ නෑ. මුලදී අපි කොළඹ මහනගර සභාව තුළ කසළ දිරන හා නොදිරන ලෙස බෙදිමක් කරලා ලබාගත්තේ නෑ. කොළඹ මහනගර සභාව ඇරුණම අනිත් තැන්වල කුණු බෙදලා වෙන්කරලා ඉල්ලුවනෙ. ඊට මීතොටමුල්ල සිදුවීමෙන් පස්සෙ මම ලිඛිත නියෝගය දුන්නා කුණු බෙදලා වෙන්කරලා ගන්න කියා.
කෝට්ටේ, කැලණිය වැනි ඇතැම් ප්‍රදේශවලත් සිද්ධ වුණා. නමුත් දැන් මේ වෙද්දි ඒ කුණු ටිකත් අපි ඇද්දා. අපි මෙතනදි ජනතාවගෙන් ඉල්ලන්නේ කුණු බෙදා වෙන්කරලා ලබාදෙන්න කියලයි. වෙන රටවල්වල මේ දේ කරනවා. ඇයි අපේ රටේ එහෙම කරන්න බැරි. මෙතනදි ජනතවගේ අතේ විශාල වගකීමක් තියෙනවා. අපි හැමදාම එකම විදිහට ඉඳලා හරියන්නේ නෑ. අපි වෙනස් වෙන්න ඕනෙ. ජනතාව නියමිත ආකාරයට කුණු ලබා දෙනවා නම් කුණු බැහැර කරන එක විශාල පහසුවක්.”