2024 ජුනි 08 වන සෙනසුරාදා

කාලගුණෙන් අපි තාමත් පනස් හතේ

 2024 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 119

අධික වැසි සහ ගංවතුර හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 262ක පවුල් 33,422කට අයත් පුද්ගලයන් 130,021 කට අධික සංඛ්‍යාවක් ආපදාවට ලක්ව ඇති බවත් පුද්ගල මරණ 26ක් සිදුව ඇති බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පසුගිය 4 දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඇතැම් ප්‍රදේශවල දැනටත් පවතින ගංවතුර තත්ත්වයන් හේතුවෙන් 4 දා උදෑසන වන විට සුරක්ෂිත මධ්‍යස්ථාන 116 ක පවුල් 2368 ක පුද්ගලයන් 9248ක් රඳවා සිටින බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. අප්‍රේල් සහ මැයි මාසවල දැඩි රස්නයෙන් පීඩා විඳිමින් සිටි ජනතාවට ජූනි මාසයේ මුලදී මහ වැස්සේ ප්‍රතිවිපාක එසේ විඳින්නට සිදුවිය.

20 වැනි ශතවර්ෂයේ ආරම්භයේ සිට, 1902, 1913, 1925, 1931, 1940, 1947, 1957, 1963 සහ 1978 සහ 2014 දී රටේ විශාල පෙදෙසකට බලපෑ ප්‍රධාන ගංවතුර ඇතිවිය. මෙවර හදිසියේ කඩාවැටුණු වැස්ස ගම් නගර යට කරමින් ගලා ගියේ කිසිවකුත් නොසිතූ අන්දමිනි. මේ ගැන කල්තියා අනතුරු ඇඟවීම් කිරීමට කාලගුණ විද්‍යා බලධාරින්ට උපකරණ නැති බවත් කියැවිණි. මේ අල්ල පනල්ලේ රටට මහා විනාශයක් කළ 1957 මහ ගංවතුර ගැන පරණ ලේඛන අවුස්සන මට හමුවූයේ ඒ ගැන රචිත පර් යේෂණ ලිපියකි. එහි සඳහන් කරුණ අදටත් වැදගත් බව අමුතුවෙන් කිවයුතු නොවේ. 

&තත්ත්වය පැහැදිලිව අවබෝධ වූයේ නම් ජනතාවට අනතුරු ඇඟවීමට සහ පූර්වාරක්ෂාව ගැනීමට බලධාරීන්ට ප්‍රමාණවත් කාලයක් ලැබී තිබුණේ නම්, බොහෝ මරණ (වාර්තා වන මරණ සංඛ්‍යාව 171 කි.) වළක්වාගත හැකිව තිබුණි. ගංවතුර සමයේදී ඇතැම් ස්ථානවල දෛනික වර්ෂාපතනය මිලිමීටර් 400 ඉක්මවන බව වාර්තා විය. එවැනි වර්ෂාපතනය අතිශයින් දුර්ලභ වන අතර එවිට ඒ ගැන උපරිම අවධානය යොමු කළ යුතුය.* (Comparison of 2014 Flood with the Devastating Flood in 1957 in the Dry Zone of Sri Lanka (Eng. Ms. P. Hettiarachchi, B.Sc. Eng. (UoM, Sri Lanka), M.Sc. Hydrology (IHE, Netherlands), C. Eng. (MIESL))

කෙසේ වුවත් නිශ්චිත කාලගුණ අනාවැකි දැනගැනීමට පුත්තලමේ සවි කරන රේඩාර් පද්ධතියක් ගැන කතාවක් පසුගිය දිනවල ඇදී ගිය අතර හෙට අනිද්දා වනවිට ලංකාවේ කවදත් සිදුවන සේ එය යට යාමට ඉඩ තිබේ. අපට සිතුණේ ලංකාව 1957න් එහාට තවමත් ගොස් නැති බවයි. ලෝකයේ කාලගුණ අනාවැකි ඉතා ඉහළට ගොස් ඇති කාලයක වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජල මාපක පාඨාංක දක්වමින් ගංවතුර ගැන පවසයි. 

දැන් අපි මෑත අතීතයේ සිදුවූ මහා ගංවතුර ගැන හාරාඅවුස්සා එහි විනාශයෙන් ඉදිරියට පාඩමක් ඉගෙන ගැනීමට බලමු.

1957 රටේ ඊසාන දිග තැනිතලා ප්‍රදේශය කේන්ද්‍ර කරගත් ගංවතුරෙන් මිනිස් ජීවිත 171ක් බිලිගත් අතර එය තවත් සුනාමියක් විය. උතුරුමැද පළාතේ සමස්ත වාරි පද්ධතිය ඇතුළුව විශාල දේපල සංඛ්‍යාවක් ගංවතුරේ ගසාගෙන ගියේය. වැව් අමුණු, පාලම් කැඩී ගියේය. හරකාබාන වැනසී ගියේය. 

ගංවතුර වඩාත් අහිතකරව බලපෑ‍ෙව් මහවැලි, මාදුරු ඔය, යාන් ඔය, මල්වතු ඔය, කලා ඔය, මී ඔය සහ දැදුරුඔය ද්‍රෝණි සහිත මධ්‍යම, නැගෙනහිර, උතුරුමැද සහ වයඹ පළාත්වලටය.   

දිසාපතිවරුන්ගේ 1957 වාර්ෂික වාර්තාවලට අනුව, අනුරාධපුර, පොළොන්නරුව, වවුනියාව, මන්නාරම සහ පුත්තලම දිස්ත්‍රික්කවල විශාල පෙදෙසක් සමහර ස්ථානවල අඩි 30ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ගංවතුරෙන් යට වී ඇත. දකුණු ප්‍රදේශය හැර රටේ අනෙකුත් ප්‍රදේශවල ද ගංගා උතුරා ගොස් ගංවතුර ඇතිවිය. ගංවතුරට අමතරව කුරුණෑගල, මාතලේ, මහනුවර, නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල නාය යෑම් වාර්තා විය.

සිද්ධියෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 171 ක් වන අතර නිවාස 65000 ක් පමණ අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් හානි වී ඇති බව ඇස්තමේන්තු පවයසි. ගම් වැව් 1300 කට වැඩි ප්‍රමාණයක් කැඩී ගියේ ගොවි ජනතාව අසරණ කරමිනි. ප්‍රධාන වාරිමාර්ග වැඩ 35 කට බරපතළ හානි සහ තවත් 53 කට සුළු හානි සිදුව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වාර්තා කළේය. මාර්ග, පාලම් සහ දුම්රිය මාර්ගවලට පමණක් සිදු වූ හානිය ද අතිවිශාල විය.

මෙවරත් මහ වැසි වැටෙමින් නැවතත් ගංවතුර ඇවිත්. කැලණි, කළු, ගිං, නිල්වලා ගංගා පිටාර ගලා බොහෝ පෙදෙස් යටවී තිබේ. බස්නාහිරට නම් තවමත් විටින් විට වැසි ඇද වැටේ. මතුගම අවටට මි.මී. 400කට අධික වැස්සක් වැටුණු බව වාර්තා විය. 
ඒ එක්දාස් නවසිය පනස් හතේ දෙසැම්බර් මාසයයි. වැස්ස දෙසැම්බර් මුල පටන්ම වැටෙමින් තිබුණි. දෙසැම්බරයට කොහොමත් වහින නිසා කවුරුත් මුලදී එය ගණන් ගත්තේ නැත. අද වගේ ආපදා කළමනාකරණ ඇමැතිවරු එදා හිටියේ නැත. ජංගම දුරකථන හෝ ගූගල් චන්ද්‍රිකා පරිගණක අනාවැකි තිබුණෙත් නැත. නැගෙනහිරත් රජරටත් කල්පාන්ත වරුසාවට ගොදුරු වූවා මෙන් ගම්මාන පිටින් යට වී විශාල ජලාශ ලෙස දිස්වන්නට විය. ඒ කාලෙ පුවත්පත්වල සඳහන් වුණේ ගෙවුණු අවුරුදු 500කින් මෙපිට ශ්‍රී ලංකාවේ සිදුවූ විශාලතම ස්වාභාවික විපත එය ලෙසයි.  

ගංවතුර අවසන් වන විට පළවූ වාර්තාවලට අනුව කුඹුරු අක්‌කර ලක්‍ෂ 8ක් පමණ ගංවතුරට බිලි වී විනාශ වී තිබුණි. පළමු දින කිහිපයේ පමණක් මරණ සංඛ්‍යාව 200කට වඩා වැඩි වූ බව පැවසුණි. නමුත් නිල සංඛ්‍යාලේඛන පවසන්නේ එය 171ක් ලෙසය. උදම් වූ මුහුදු රළ ගෙඩි නැගෙනහිරෙන් මුහුදුබඩ පළාත් ආක්‍රමණය කර තිබුණි. විශාල සුලි සුළං හැමීමෙන් ගෙවල්  පමණක් නොව වසර සිය ගණනක් පැරණි මහා ගස් ද බිම හෙළා රජරට එකම යුද පිටියක් බවට පත්විය. අනුරාධපුර, පොළොන්නරු ප්‍රදේශයේ අලි ඇත්තු පවා ගංවතුරට හසුවූ බව වාර්තාවල කියැවුණි.

එදා ගැලූ මහා ගංවතුරේ තරම කියාපාන සලකුණු, අදටත් අනුරාධපුර පොදු වෙළෙඳ සංකීර්ණය (මාර්කට්‌ එක) අසලින් ජය ශ්‍රී මහා බෝධියට පිවිසෙන මාර්ගයේ ගමන් කරන විට, සිංහ කණුව අසල දකුණු අත පැත්තේ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දෙමහල් නිල නිවසේ සලකුණු කර ඇති අයුරු දකින්න පුළුවන. අනුරාධපුර පූජා නගරය හා නව නගරය ඇතුළු ඒ අවට ප්‍රදේශ ගණනාවක්‌ මහා ජල කඳකින් යට වුණේ මහ වැවක් බවට පත් කරමිනි. මහසෙන් රජු (277 – 304)  විසින් ගොඩනගන ලද වැව් අතුරින් එකක් බවට සඳහන් නාච්චාදූව වැවේ බැම්ම කෙළවරකින් කැඩී යාමෙන් අනුරාධපුර පූජා භූමිය හා නව නගරය ඇතුළු අවට ප්‍රදේශ ගණනාවක්‌ ජලයෙන් යටවූ බව පැවසේ. පසුව 1958 දී මෙම ජලාශය ප්‍රතිසංස්කරණය කෙරිණි.  ධාරානිපාත වර්ෂාවෙන් කලා වැව, රාජාංගණය, පදවිය, නුවර වැව, මහකනදරාව, ඒරුවැව, මානන්කට්‌ටිය, තිසා වැව, මහවිලච්චිය හා හුරුළු වැව ඇතුළු මහ වැව් ද දෙදහසකට අධික වූ සුළු හා මධ්‍ය පරිමාණයේ වැව් මෙන්ම ඉපැරණි යෝධ ඇළද හානියට පත් විය. මල්වතු ඔය, කලා ඔය හා යාන් ඔය ද උතුරා ගියේ මිනිසුන් මෙන්ම වනසතුන්ට ද මහා විනාශයක් අත්කර දෙමිනි.  

නැගෙනහිර පළාත පිළිබඳ සැලකීමේදී මන්නාරම, මඩකලපුව මුතූර් වැනි නගර මෙම මෙම ව්‍යසනයේ ගොදුරු බවට පත් විය. මුත්තූර් නගරය මියගිය අයගේ මළ සිරුරු සහිත සොහොනක්‌ සේ වූයෙන් මිනිසුන් බොහෝ දෙනා එය අතහැර ගිය බව පැවසේ. උතුරු නැගෙනහිර දෙපළාතට ගංවතුර හැරුණුවිට සුළි සුළඟින් ද හානියට පත්විය.

අම්පාර ඉඟිණියාගල සේනානායක සමුද්‍රයේ පිටවානෙන් අඩි 07ක්‌ උසට මහා ජල කඳ ගලන්නට වුණේ මුහුද ගොඩ ගලන්නාක් මෙනි. අක්‌කර අඩි 770,000ක ධාරිතාවක්‌ රඳවාගත හැකි වැව් බැම්ම මුදුනට අඩි 3 ක්‌ ඉතිරි වන්නට සියල්ලම ජලයෙන් යටව තිබුණි. මේ ජල කඳට කෙත්වතු හරකාබාන විශාල වශයෙන් වැනසී ගියේය. අහිමි වූ ජීවිත ගැන සංඛ්‍යාලේඛන පවා නැත.

ගංවතුර රට වනසන විට අගමැති බණ්ඩාරනායක බලයට පත්වී අවුරුද්දක් පමණි.  මේ විපත ඔහුට දැඩිව දැනුණු අතර අගමැතිවරයා ආරක්ෂක අංශවලත් සහයෝගයෙන් විපත කළමනාකරණය කරගන්නට උත්සාහ දැරුවේය. රේඩියෝ සිලෝන් එකෙන් ජාතිය අමතමින් අගමැතිවරයා ජනතාව දැනුවත් කළේය. ටික දිනකින් ඉන්දියාවෙන් ද ආධාර උපකාර මෙරටට ලැබෙන්නට විය. විපතට පත්ව හුදකෙලා වූ පෙදෙස්වලට අහසින් ආධාර දැමිය හැකි ගුවන් යානා ඉන්දියාවෙන් එවා තිබුණි. වෛද්‍යවරුන් ද ලංකාවට එවීමට ඉන්දියාව කටයුතු කළේය.

ගංවතුර ආධාර ආණ්ඩුවෙන් බෙදීම ආරම්භ වූ අතර ජනතාව ද ආධාර එකතු කර විපතට පත් පෙදෙස්වලට රුගෙන ගියහ. අගමැතිවරයාගේ නියමය පරිදි විශේෂ කොමසාරිස්‌වරයකු යටතට ආධාර බෙදීමේ වගකීම බාරවුණි. කොළඹ කොඩිගහවීදියේ රාජකීය නාවික හමුදා කඳවුරේ දී මෙම ආධාර බාරගැනීම සිදුවිය. ඒවා විපතට පත් ප්‍රදේශවලට බෙදා දීම කළේ එවකට ප්‍රබලව පැවති ග්‍රාම සංවර්ධන සමිති හරහා සහ කාන්තා සමිති හරහායි.  

I කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ I අන්තර්ජාලයෙන්