කොළඹ නෙළුම් කුලුන මුදුනේ සිට බිමට පැනීමේ පැරෂුට් සංදර්ශනයක් පසුගියදා දින තුනක් පැවැත්වුණි. මෙම බේස් පැනීමේ ඉසව්ව (Base Jump) වෙනුවෙන් විදේශිකයන් තිස්පස් දෙනකු සහභාගි වූ අතර ඊට අමතරව ඔවුන්ට සහයෝගය දැක්වීම සඳහා තවත් විදේශකයන් පස්දෙනෙක් සහභාගි වූහ. ඒ අනුව එම කණ්ඩායමේ සාමාජික සංඛ්‍යාව හතළිස් දෙනෙකි. කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම විසින් මෙය සංවිධානය කර තිබූ අතර මෙම සංදර්ශනය නැරඹීම සඳහා බොහෝ ප්‍රේක්ෂක පිරිසක් පැමිණ සිටියහ.
කොළඹ නෙළුම් කුලුන මතින් මෙලෙස බේස් පැනීමේ ඉසව්වක් සංවිධානය කෙරුණේ දෙවැනි වතාවටය. ගිය වසරේ නොවැම්බර් මාසයේදී මෙහි පළමු ඉසව්ව සංවිධානය වූ අතර ඒ සඳහා සහභාගි වී සිටියේ පැරෂුට් පනින්නන් හය දෙනෙකි. එයින් වැඩි දෙනෙක් ඔස්ට්‍රේලියානු ජාතිකයෝ වූහ. දෙවැනි වරට සංවිධානය වූ මෙවර පැවති සංදර්ශනය සඳහා පැරෂුට් පනින්නන් තිස්පස් දෙනකු සහභාගි වූ අතර මෙය ජාත්‍යන්තර සංදර්ශනයක් ලෙසින් හැඳින්විය හැකිය. මේ සඳහා ඇමෙරිකාව, කැනඩාව, ජපානය, ඉතාලිය, බ්‍රසීලය ඇතුළු බොහෝ රටවල් සංඛ්‍යාවකින් පැරෂුට්කරුවෝ සහභාගි වූහ.
ඔවුහු රටවල් බොහොමයක ජීවත් වන මෙවැනි ක්‍රීඩාවේ නිරතවන්නන්ගෙන් එක්ව සැදුම්ලත් එක්තරා කණ්ඩායමක සාමාජික සාමාජිකාවෝ වෙති. ඔවුන්ගේ විනෝදාංශය වන්නේ මෙලෙස එක්ව රට රටවල්වලට ගොස් මෙවැනි ඉසව්වල නිරත වීමය. මේ බොහෝ ඉසව් ඔවුන් සිදු කරනුයේ විශාල කඳු ආශ්‍රිතවය. නමුත් නෙළුම් කුලුන වැනි ඉහළම ස්ථානයක සිට මොවුන් මීට පෙර පැරෂුට් බේස් පැනීමේ ඉසව්ව සිදුකර තිබුණේ නැත. ගිය වසරේදී මුල්ම වතාවට නෙළුම් කුලුන මතින් බේස් පැනීමේ ඉසව්වේ නිරත වූ විදේශිකයන් සම්බන්ධයෙන් ඔවුන්ට දැනගන්නට ලැබිණි. ඒ නිසාම නෙළුම් කුලුන මත සිට මෙම ඉසව්වේ නිරතවීමට මෙම ජාත්‍යන්තර බේස් සාමාජිකයන්ට අවශ්‍ය විය. ඔවුන් ඒ සඳහා කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගමෙන් ඉල්ලීමක් කර තිබුණි.
මෙවැනි සංදර්ශනයක් සංවිධානය කිරීම එතරම් ලෙහෙසි පහසු නැත. ඒ සඳහා නෙළුම් කුලුන ඉහළ කොටසේ වෙනමම කොටසක් සැකසිය යුතුය. කාලගුණය සම්බන්ධයෙන් සොයා බැලිය යුතුය. ඒ අනුව මෙම සමාගම සංදර්ශනය සඳහා ගිය වසරේ සිටම සූදානම් විය.
“ගිය වසරෙ ඉඳන් මේ සඳහා අපි සූදානම් වුණා. සියල්ල සූදානම් කිරීමෙන් පසුව අපි එම කණ්ඩායමට ආරාධනා කළා. මීට මාස දෙකකට පමණ පෙර ඔවුන්ගෙන් එක් කණ්ඩායමක් ලංකාවට පැමිණ අපි සමඟ ඒ සම්බන්ධයෙන් කතා කළා. ඒ ව්‍යාපෘතියේ සැලසුම සූදානම් කළා. ඇමෙරිකාවේ "Invision” නමින් ආයතනයක් තියෙනවා. එම ආයතනය සමඟ අපි මෙම ව්‍යාපෘතිය සංවිධානය කළා. ඇමෙරිකාවේ එම ආයතනය සමඟ ලෝකය පුරා විසිරුණු පැරෂුට් පනින්නන් සිටිනවා. එයින් තිස්පස් දෙනකු මෙයට ලියාපදිංචි වුණා." යැයි කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගමේ අලෙවි කළමනාකරු නිම්නා පීරිස් දේශයට අදහස් දක්වමින් පැවසීය.
ඒ අනුව ලියාපදිංචි වූ ඔවුහු මැයි මස 11 වැනිදා ලංකාවට පැමිණියහ. ඒ අතර කිහිප දෙනකු ඊට දින කිහිපයකට පෙර ලංකාවට පැමිණ පින්නවල දකුණු පළාත ඇතුළු ලංකාවේ කිහිප ප්‍රදේශයකම සංචාරය කොට තිබුණි. මැයි මස 12, 13, 14 යන තෙදින, නෙළුම් කුලුනේදී මෙම පැරෂුට් සංදර්ශනය පැවැත්විණි. මේ දිනවල ලංකාවේ දැඩි අව් රශ්මියක් පවතී. දහවල් කාලයේදී කොළඹ නගරයේ පවතිනුයේ දැඩි රස්නයකි. නමුත් මෙම විදේශිකයන්ට එය ගැටලුවක් වූයේ නැත. මේ දිනවල රටේ පවතින දේශගුණයට ඔවුහු කැමැත්තක් දක්වති. නිරන්තරයෙන්ම ත්‍රාසජනක ක්‍රීඩාවේ නියැලෙන්නට මෙම පිරිස වැඩි කැමැත්තක් දක්වති.
මෙම කණ්ඩායම නෙළුම් කුලුනේ සිට මීටර් 256කට (අඩි එක්දහස් එකසියයක) ආසන්න උසකින් පැරෂුට් ආධාරයෙන් බිමට පතිත වී තිබිණි. මෙම කණ්ඩායමේ කාන්තා හා පිරිමි පැරෂුට් පනින්නන් සිටි අතර කාන්තා පැරෂුට් පනින්නන් 15ක් පමණ මෙයට සහභාගි වූහ. පළමු දිනයේදී ඔවුහු නෙළුම් කුලුන මත අලුතින්ම ඒ වෙනුවෙන්ම ඉදිකොට තිබූ කොටසට ගොස් ඒ අවට නිරීක්ෂණය කළහ. පැරෂුට් මගින් බිමට පැනීමේදී යම් අත්වැරදීමකින් හෝ අදාළ ස්ථානය වෙනස් වුවහොත් හදිසි ගොඩබැසීමක් සඳහා ඔවුන් තෝරාගනු ලැබුවේ ඒ අසලම තිබූ බේරේ වැවය. හදිසි ගොඩබැසීමකදී පොළොවට පතිත වනවාට වඩා ඔවුහු ජලය මත පතිත වීමට වැඩි කැමැත්තක් දක්වති. ඒ අනුව කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම විසින් නාවික හමුදාවේ බෝට්ටු දෙකක් හදිසි අවශ්‍යතාවයක් ඇතිවුවහොත් උපකාර ලබා ගැනීම සඳහා බේරේ වැවේ සූදානම් කොට තැබීය. ඊට අමතරව හදිසි ගිලන් රථයක්ද සූදානම් කොට තිබිණි.
මෙම සියලු කටයුතු සිදුකෙරුණේ ඉතා පරිස්සමටය. ඉහළ සිට පැරෂුට් ආධාරයෙන් පහළට පනින්නට පෙර හැම පිම්මකදීම පහළ සිට කෙනෙක් සමඟ ඉහළ සිටින කෙනෙක් තාක්ෂණය මගින් අදහස් හුවමාරු කර ගත්තේය. දෙවැනි දිනයේ දහවල් කාලයේදී පමණක් නොව රාත්‍රී කාලයේදීද ඔවුහු පැරෂුට් පැනීමේ ඉසව්වේ නිරත වූහ. ඒ අනුව මේ දින තුන අවසානයේදී සම්පූර්ණයෙන්ම පැරෂුට් පිමි 188ක් අවසාන කර තිබුණි. ඇතැම්හු එක් දිනයකදී බේස් පිමි දෙකක් හෝ තුනක් සිදු කළහ. ඔවුහු ඒ හැම මොහොතකදීම සිනාමුසු මුහුණින් තම සතුට ප්‍රකාශ කළහ.
“ශ්‍රී ලංකාව හරි ෂෝක්... අපි මේ බේස් ජම්ප් කරන්න හරි කැමැතියි. මේක අපිට වෙනස් අත්දැකීමක්. ශ්‍රී ලංකාවේ මිනිසුන්ගෙන් අපිට ලොකු සහයෝගයක් ලැබුණා. අපිට ඒ හැමෝම හිනාවෙලා අත්පුඩි ගහලා ඒ අයගේ සතුට පළ කළා. ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ හිනාව හරි ලස්සනයි." යැයි ඇමෙරිකානු ජාතික ජෝන් දේශයට පැවසීය.
ඔවුන්ගේ හරි අපූරු සංකේතයකි. නෙළුම් කුලුනේ ඉහළ කොටසේ ඔවුහු කොළ පැහැති කුඩා කොළ තුනක් ඇති ප්ලාස්ටික් පැළයක් ගැට ගැසූහ. මෙම කණ්ඩායමේ සෑම කෙනකුගේම හෙල්මටයේ හෝ ඇඳුමේ එහි කුඩා අනුරුවකි. එමගින් සංකේතවත් කරනු ලබන්නේ "එම පැළය වැඩෙන්නා සේ ඔවුන්ද දවසින් දවස වර්ධනය වන" බවය. තමන්ට ලැබුණු මේ අවස්ථාව සම්බන්ධයෙන් ඔවුහු බොහෝ සේ සතුටු වූහ. දකුණු ආසියාවේදී මෙවැනි එළිමහන් ස්ථානයක් මෙතෙක් ඔවුන්ට මුණගැසී නොතිබිණි. ඔවුන් වැඩි වශයෙන් අත්දැකීම් ලබා තිබුණේ කන්දක් උඩ සිට කැලෑබද කොටසකට පැනීම හරහාය.
මෙම කණ්ඩායමට අවශ්‍ය ප්‍රධාන ආහාරවේල ඔවුන් හෝටලයකින් ලබාගත්තද අවශ්‍ය කෙටි කෑම හා සිසිල් බීම නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම විසින් සපයා දී තිබුණි. පළමු දවසේ රාත්‍රී ආහාරය ඔවුන් ලබාගෙන තිබුණේ නෙළුම් කුලුන Revolving Restaurant හිදීය. එහි රටවල් හතක් එක්කොට තිබූ ජාත්‍යන්තර බුෆේ එකටද ඔවුහු කැමැත්තක් දැක්වූහ.
මේ අතර දෙවැනි දිනයේදී විදේශිකයෙක් යම් අනතුරකට මුහුණ දුන්නේය. මෙය ත්‍රාසජනක ක්‍රීඩාවකි. මේ නිසාම තම ජීවිතයේ වගකීම තමා විසින් බාරගන්නා බවට හැම ක්‍රීඩකයාම අත්සන් කොට සහතික කරනු ලබයි. කෙසේ වුවද පැරෂුටය උඩු ගුවනේ විවෘත වීම හෝ නොවීම සම්බන්ධයෙන් සියයට පනහක අවස්ථාවක් තිබේ. දෙවැනි දිනයේදී අවසාන පිම්මට සහභාගි වූ ඇමෙරිකානු ජාතිකයා තම පිම්ම ගෙන පැරෂුටය ඇරීමට උත්සාහ කළද එය එකවරම සාර්ථක නොවීය. තුන්වැනි වර සාර්ථක වුවද එවිට ප්‍රමාද වී අවසන්ය. ඔහු එක්වරම පසුපසට ඇදී ගොස් එක තැනක වැදී තිබිණි. එහෙත් ජීවිත අවදානමක් නොවීය. ඔහුට පහුවදාම රෝහලින් පිටවීමටද අවස්ථාව ලැබුණි.
මෙම කණ්ඩායම එකී සංදර්ශනය ඉදිරිපත් කර තිබුණේ විවිධාකාර ක්‍රම මගින් අලංකාර දර්ශන මවමිනි. ඇතැම්හු පිම්ම පැනීමට පෙර තත්ත්පර කිහිපයක් ඉහළ කොටසේ කෙළවරට වී සිටියහ. ඇතැම්හු ඉහළ අහසේ පිනුම් ගසමින් තම ක්‍රීඩාවේ නිරත වූහ. පියා සහ දියණිය එක්ව පැරෂුට් ක්‍රීඩාවේ නියැළුණු අවස්ථා දෙකක්ද විය. එක් ක්‍රීඩකයකු පිම්මකදී තම පැරෂුටය විවෘත කරන හැම මොහොතකම කුඩා දුමක් පිටවිය. එයට හේතු වූයේ ඔහුගේ මිතුරකු බේස් පැනීමේ ඉසව්වකදී අනතුරකින් මිය යාමය. ඒ මිතුරාගේ අළු ඔහු ටිකෙන් ටික ඉහළ ආකාසේ දී මුදා හැරියේය. විනෝදයට බර එක් ක්‍රීඩකයකු ඉහළදී මෙන්ම තම පිම්ම අවසානයේදීත් ට්‍රම්පට් වාදනය කළේය. එවැනි සුන්දර අත්දැකීම් ගොන්නක් සමඟ එම අපූරු සංදර්ශනය අවසන් විය
විශේෂ ස්තූතිය
කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගමේ අලෙවි කළමනාකරු නිම්නා පීරිස්ට
I දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ