2024 මැයි 18 වන සෙනසුරාදා

ඩිජිටල් අලෙවිකරණයෙන් ව්‍යාපාර දියුණු කර ගනිමු

 2024 මැයි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 185

අපි අද ඔබව ඉතාම වැදගත් සංවාදයක් වෙත කැඳවාගෙන යනවා. ඩිජිටල් අලෙවිකරණය පිළිබඳව බොහෝ තැන්වල කතාබහ වෙනවා ඔබ දැක ඇති. ඒත් සමස්තයක් විදිහට අපේ රටේ බහුතරයකට මේ හා සම්බන්ධ පැහැදිලි අවබෝධයක් නෑ. එනිසාම ඩිජිටල් අලෙවිකරණය පිළිබඳ මූලික දැනුමක් ඔබට ලබා දෙන්න අපි තීරණය කළා.

ඩිජිටල් අලෙවිකරණය යනු අන්තර්ජාලය, සමාජ මාධ්‍ය, ජංගම උපාංග සහ වෙනත් ඩිජිටල් නාලිකා ඇතුළු ඩිජිටල් තාක්‍ෂණය භාවිතයෙන් නිෂ්පාදන හෝ සේවා ප්‍රවර්ධනය කිරීම විදිහට සරලව හඳුන්වන්න පුළුවන්. නූතන ගෝලීයකරණ සංකල්පය ලොව පුරා සෑම තැනකම ක්‍රියාත්මක වීමත් සමඟ ව්‍යාපාරික ලෝකයේ ඩිජිටල් අලෙවිකරණය අතිශය වැදගත් දෙයක් බවට පත්වුණා.

විශේෂයෙන්ම ඉතිහාසය පුරා නිරන්තර ප්‍රවර්ධන සහ අලෙවිකරණ දුෂ්කරතාවලට මුහුණ දෙමින් නැගී සිටීමට නොහැකි වූ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අලෙවිකරණය අතිශය වැදගත් දෙයක් බවට පත්වුණේ ඉතාමත්ම වේගයෙන්. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ගෝලීය වෙළෙඳපොළට ප්‍රවේශ වීමට මේ හරහා ඉඩ අවකාශය සැලසුණා. පාරිභෝගිකයන්ගේ උපරිම අවශ්‍යතාවයට සරිලන පරිදි ඔවුන් වෙත සපයන නිෂ්පාදන සහ සේවාවන් රුචි පරිදි සකස් කිරීම සඳහා, ඔවුන් සමඟ අදාළ තොරතුරු හුවමාරු කරගැනීම සඳහා මේ ඩිජිටල් අලෙවිකරණ සංකල්පය සහ මෙවලම් ලබා දෙන්නෙ විශාල දායකත්වයක්.

ඩිජිටල් අලෙවිකරණය යනු කලාවක් මෙන්ම විද්‍යාවක් බවත්, එය නිර්මාණශීලීත්වයෙන් පිරී ඇති බවත් මෙහිදී අප අවබෝධ කරගත යුතුයි. ඩිජිටල්  අලෙවිකරණයේදී  විශ්ලේෂණයන්ට හා විද්‍යාත්මක ක්‍රමවේදයන්ට ප්‍රමුඛත්වයක් ලැබෙනවා. නූතන තාක්ෂණය සමඟ මුසුවන මෙම ක්‍රියාවලිය සහතික වශයෙන්ම ප්‍රතිඵලදායී වෙනවා.

අද අප සිටින තාක්‍ෂණය සහ නවෝත්පාදන යුගයේ ව්‍යවසායකත්වය, ව්‍යාපාර සහ අලෙවිකරණය වැනි සෑම ක්ෂේත්‍රයක්ම පාහේ වෙනස්කම් රාශියකට බඳුන් වෙලා තිබෙන්නෙ. ඉතාම කුඩා ව්‍යාපාරයක් පවත්වාගෙන යන කෙනෙක්ට වුණත් ඩිජිටල් අලෙවිකරණය හරහා ලබාගන්න පුළුවන් ඵල ප්‍රයෝජන විශාල ප්‍රමාණයක් තිබෙනවා. නමුත් අවාසනාවකට අප රටේ බහුතරය තුළ මේ හා සම්බන්ධ පැහැදිලි අවබෝධයක් නෑ. සමස්තයක් විදිහට ඩිජිටල් අලෙවිකරණයේ උපාය මාර්ග පිළිබඳ දළ හෝ අවබෝධයක් ව්‍යවසායකයෙක් තුළ තිබෙන්න ඕනෑ.

ඩිජිටල් අලෙවිකරණයේ විවිධ උපාය මාර්ග

• සමාජ මාධ්‍ය වෙබ් අඩවි (Facebook, Twitter, Linked In, YouTube etc.) (PVT) Ltd
• වෙබ් අඩවි සඳහා සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තකරණය
•  ක්ලික් එකකට බැගින් ගෙවීමේ Google දැන්වීම් (PPC) අන්තර්ගත අලෙවිකරණය
•  ඊමේල් අලෙවිකරණය
•   වෙබ් අඩවි හරහා අනුබද්ධ අලෙවිකරණය චැට්බෝට්

ඉහත ඩිජිටල් අලෙවිකරණ උපාය මාර්ග තීව්‍ර ලෙස යොදා ගැනීමට හැකි නම් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ කාර්ය සාධනය කෙරෙහි නිශ්චිත ධනාත්මක බලපෑමක් ඇතිවන බව ඉතාම පැහැදිලියි. පූර්ව ඩිජිටල් යුගයේ දී කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සම්බන්ධයෙන් දැනුවත් කිරීම් බොහෝ දුරට සීමා වී තිබුණේ පුවත්පත් දැන්වීම් සහ පත්‍රිකාවලට. ඒත් අද ඕනෑම ප්‍රාථමික ව්‍යාපාරයක සරල අදහසක් පවා ඩිජිටල් මාධ්‍ය හරහා තත්ත්පරයකින් සමස්ත ලෝකය වෙත සම්ප්‍රේෂණය කරන්න පුළුවන්.

ගෝලීයකරණය වූ ලෝකයේ තමන් සජීවීව සිටින  ස්ථානය නොසලකා පාරිභෝගිකයන්ට කැමති ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් එක් ක්ලික් කිරීමකින් මිලදී ගැනීමේ හැකියාව පවතිනවා. ඒ නිසාම නූතන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සිය ක්‍රියාකාරකම් සජීවීව සහ පැය 24/ දින 7 පුරාම ක්‍රියාකාරීව තබා ගන්න ඕනෑ. ඩිජිටල් මාධ්‍ය හරහා සිදුවන මෙම කටයුත්තේදී ඩිජිටල් අලෙවිකරණ දැනුම සහ මෙවලම් භාවිත කිරීමේ හැකියාව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සතුවීම අතිශය වැදගත්. අදාළ දැනුම අපේ ව්‍යවසායකයන්  සතුව තිබෙනවා නම් අඩු පිරිවැයකින් පාරිභෝගිකයන් වෙත සමීප වෙලා ඉහළ ලාභයක් ලබාගැනීමේ හැකියාව ඔවුන් සතු වෙනවා.

ඒ නිසාම ව්‍යාපාරයක් කරන ඕනෑම කෙනෙක් ඉහත උපාය මාර්ග පිළිබඳ දළ හෝ අවබෝධයක් ලබාගන්න උත්සාහ කළ යුතුමයි. නැත්නම් නූතනත්වය සමඟ එකතු වෙමින් යාවත්කාලීන වෙන්න ඔවුන්ට බැරි වෙනවා. කොහොම නමුත් ඩිජිටල් අලෙවිකරණයේ දැනුම සම්පාදකයන් සහ ප්‍රවීණයන්ගේ උපදෙස් ලබා ගැනීම සඳහා  ඕනෑ තරම් දැන් අවස්ථා තිබෙනවා. ඒත් දැනට අපේ රටේ පවතින නොදැනුවත් බව නිසා ඩිජිටල්කරණය, අලෙවිකරණය සම්බන්ධ දැනුම අලෙවි කිරීම කිසිදු ප්‍රමිතියක් තොරවයි සිදුවෙන්නෙ. 

ඒත් මේ හා සම්බන්ධ මූලික දැනුම සම්පාදනය කරන්නට දැන් පිළිගත් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන මැදිහත් වෙමින් සිටින බව අපි සඳහන් කළ යුතුමයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට කාර්මික සංවර්ධන මණ්ඩලයේ තොරතුරු තාක්ෂණ ඒකකය හා සම්බන්ධ වෙන්න පුළුවන්. උපදෙස් ලබාගෙන පුහුණු වැඩසටහන් සහ වැඩමුළු සඳහා සම්බන්ධ වීමේ හැකියාවත් මේ වන විට උදා වෙලා තියෙනවා.