ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ස්ට්‍රෝබෙරි වගා ආදර්ශ ගම්මානයක් ස්ථාපිත කෙරිණි. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මූලික කොට ස්ථාපිත කරවූ මෙම ආදර්ශ ගම්මානය නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇත.
“ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වගා බිම්වලට යමින් විවිධ බෝග වගා කරන ගොවි මහතුන් මුණගැහෙනවා. ඔවුන්ගේ අදහස් හා යෝජනා පිළිබඳව අපි තොරතුරු එක්රුස් කරනවා. නුවරඑළියට ආවේණික වූ කැපුම් මල් ව්‍යාපාරය සාර්ථක බෝග වගාවක්. කැපුම් මල් වැඩි වශයෙන් වගා කරන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ. ඒ ව්‍යාපාරයට එකතු වුණු බොහෝ ගොවි මහතුන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජීවත් වෙනවා. ඒ වගේම ස්ට්‍රෝබෙරි සාර්ථක ලෙස වගා කළ හැකි වන්නේත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පමණයි. මේ වන විටත් නුවරඑළියේ ස්ට්‍රෝබෙරි වගා කරන ගොවි මහතුන් ඉන්නවා. නමුත් වැඩි පිරිසක් එයට යොමුවන්න කැමැත්ත හා උනන්දුව තිබුණද මේ වන විට හේතු කිහිපයක් නිසා සිදුවූ බාධා වීම හේතුවෙන් වගාවට යොමු නොවුණු ගොවි මහතුන් බොහොමයක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වාසය කරනවා." යැයි නුවරඑළිය ගොවිජන සංවර්ධන නිලධාරී පී.එම්.එන්.ජේ. බාලසූරිය මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.
මේ පිළිබඳ අප ගොවීන් සමඟ සිදු කළ අදහස් හුවමාරුවකදී අනාවරණය වූයේ එවැනි වගා සඳහා යොමුවීමට සුදුසු ස්ට්‍රෝබෙරි පැළ නොමැතිවීම ප්‍රධාන ගැටලුවක් වූ බවය. එමෙන්ම මේ වගා සඳහා ආරක්ෂිත ගෘහයක් යෙදීම සඳහා අවශ්‍ය මුදල් ද ඔවුන් සතු නොවීය.
ස්ට්‍රෝබෙරි වගාව සඳහා යොමුවීමේදී මූලික වැඩ කටයුතු කර ගැනීමට විශාල මුදලක් වැය කිරීමට සිදුවේ. ආර්ථික මට්ටමින් අඩු ගොවීන්ට ඒ සඳහා එකවර මූලික මුදල් යෙදීමට විශාල ගැටලුවක් විය. මේ වන විට ස්ට්‍රෝබෙරි වගාව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිදු කරනු ලබන අතර බොහෝ දෙනෙක් මහා පරිමාණයෙන් මෙම ව්‍යාපාරය සිදු කරති. නමුත් කුඩා පරිමාණයේ ගොවි මහතුන්ට එවැනි මූලික බරපැන දැරීමට නොහැකිය. මේ අනුව මෙම ස්ට්‍රෝබෙරි ව්‍යාපෘතිය සඳහා උපකාර ලබාගැනීමට අවශ්‍ය ඒ සඳහා උනන්දුවක් ඇති ගොවීහු මේ සඳහා සම්බන්ධ වූහ.
“මේ සම්බන්ධයෙන් අපි ගොවි මහතුන් හා කතාබහ කරමින් යන අතරතුර දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය කොමසාරිස්තුමිය සමඟ ද කතා බහ කළා. එතුමිය ප්‍රධාන කාර්යාලයට මේ පිළිබඳව දැනුම් දුන්නා. ඉතා ඉක්මනින් මේ සඳහා අනුමැතිය ලබාදීමට ඔවුන් කටයුතු කළා." යැයි බාලසූරිය මහතා දේශයට පැවසීය.
මෙම ස්ට්‍රෝබෙරි වගාව සඳහා ගොවි මහතුන් සම්බන්ධ වූයේ එලෙසය. ඔවුන්ගේ සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ආයෝජනයෙන් මෙම වැඩසටහන ආරම්භ විය. මෙහිදී සුළු පරිමාණ ගොවීන් හට පැවති ප්‍රධානම ගැටලුව වූයේ මේ සඳහා සාරවත් ස්ට්‍රෝබෙරි පැළ ලබා ගැනීමය. සාමාන්‍යයෙන් ස්ට්‍රෝබෙරි එක් වගාවකින් අස්වැන්න වාර තුනක් පමණ ලබා ගැනීමෙන් පසු අස්වැන්න අඩු වේ. ඒ හේතුවෙන් මේ සඳහා සාරවත් මව් ශාකවලින් පැළ ලබාගත යුතුය. එහිදී නැවතත් අස්වනු තුනක් ලබා ගැනීමෙන් පසුව යළි විදෙස් රටවලින් සාරවත් ස්ට්‍රෝබෙරි පැළ ගෙන්විය යුතුය.
මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ ස්ට්‍රෝබෙරි වගාව මහා පරිමාණයෙන් සිදු කරන ආයතන බොහෝ විට විදෙස් රටවලින් සරු පැළ ගෙන්වන අතර වසර අවසානයෙන් පසුව එම පැළ ඉවත් කොට නැවතත් විදෙස් රටවලින් සාර්ථක ලෙස පැළ ගෙන්වීම සිදු කරයි. නමුත් කිසි විටෙකත් ඔවුන් කුඩා පරිමාණ ගොවීන්ට මෙම සාරවත් පැළ ලබා දෙන්නේ නැත. කෙසේ වෙතත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් විදෙස් රටවලින් සුදුසු සාර්ථක පැළ දහඅට දහසක් ගෙන්වීමට කටයුතු කළේය. මෙම වැඩසටහනේ මූලික අදියර සඳහා ගොවි මහතුන් හතළිහක් තෝරාගෙන තිබිණි.
“නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජීවත්වෙන ගොවීන්ට මුලින්ම අපි ගොවි සංවර්ධන ජාලය හා ගොවි මට්ටමේ නිලධාරීන් හරහා මේ අදහස ඉදිරිපත් කළා. මේ සඳහා සියලුම ගොවීන්ට සහභාගි වෙන්න අමාරුයි. මේ සඳහා එක් ගොවියකු ලක්ෂ පහක් ආයෝජනය කළ යුතු වුණා. ඇතැම් ගොවීන්ව බැංකුවලට සම්බන්ධ කොට ණයක් ලබාදීමේ වැඩපිළිවෙළක්ද අපි සූදානම් කළා. ඒ අනුව ඔවුන් ගොවිජන බැංකුවේ එම මුදල තැන්පත් කළා. එය දෙපාර්තමේන්තුවට දැනුම් දීමෙන් පසුව දෙපාර්තමේන්තුවෙන් ලබාදෙන සියයට පනහ කොටස කඩිනමින් ලබා දුන්නා. එක් ගොවි මහතකු ලක්ෂ පහක් තැන්පත් කර ඇති අතර ඉතිරි මුදල දෙපාර්තමේන්තුව තැන්පත් කළා. පසුව මෙම ගොවි මහතුන් කණ්ඩායම ආරක්ෂක ගෘහය තුළ පසුගියදා පැළ සිටුවීම සිදු කළා." යැයි නුවරඑළිය ගොවිජන සංවර්ධන නිලධාරී පී.එම්.එන්.ජේ. බාලසූරිය මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.
මෙම එක් ආරක්ෂිත ගෘහයක් ප්‍රමාණයෙන් වර්ග අඩි දහසකි. එම කොටස තුළ පැළ හාරසිය විස්සක් සිටුවා ඇත. මෙම ආරක්ෂිත ගෘහ සියල්ලටම අවශ්‍ය දෑ මේ වන විටත් සපයා අවසානය. ඒ අනුව මේ සඳහා වසරකට අවශ්‍ය පොහොර ඇතුළු සියලුම දෑ ඔවුන් ලබා දී තිබේ. පැළ සිටුවා මාස තුනකින් මෙහි ස්ට්‍රෝබෙරි අස්වැන්න ලබාගත හැකිය. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ට්‍රෝබෙරි ගම්මානය වේ. එමෙන්ම මෙම ස්ට්‍රෝබෙරි ගොවි මහතුන්ගෙන් බහුතරයක් ඒ ආසන්නව ජීවත් වෙති. නමුත් නුවරඑළිය ගොවිජන සේවා බල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් විසිනමයක් පිහිටා ඇත. ඒ නිසා මෙම ගොවීන් හතළිස් දෙනාටම එකම වසමක් ලබාදීමට නොහැකි විය. නුවරඑළිය ඉඩම් පරිභෝජනයත් සමඟ මේ සඳහා අවශ්‍ය ඉඩ පහසුකම් සහ ලක්ෂ පහක් මේ සඳහා බැර කළ යුතු වීමත් සමඟ මෙම වැඩසටහන සම්බන්ධ ගොවීන් කිහිප දෙනෙක් ඒ අදාළ ප්‍රදේශයෙන් පිටත ජීවත් වෙති.
මේ සඳහා එක් ගොවියකු ලක්ෂ පහක් ආයෝජනය කළ අතර රජය විසින් අටලක්ෂ හතළිස් දහසක් වෙන්කර ඇත. ඒ අනුව එක් ගොවියකු වෙනුවෙන් දහතුන් ලක්ෂ හතළිස් දහසක් වෙන් වී තිබේ. ඉදිරියේදී ස්ට්‍රෝබෙරි වගාවෙන් ලැබෙන අස්වැන්න විදෙස් රටවලටද ලබාදීමට සූදානමක් පවතී. මෙම ස්ට්‍රෝබෙරි ගොවීන් හතළිස් දෙනා එකතු කොට ගොවි සංවිධානයක් පිහිටුවා ඇති අතර ඒ හරහා මෙම අස්වැන්න ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇත. වර්තමානයේදී ස්ට්‍රෝබෙරි අධික මිලක් වැයකොට මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට සිදුවේ. නුවරඑළියේ කුඩා ස්ට්‍රෝබෙරි පැකැට්ටුවක් රුපියල් 700ටත් අධිකය. ස්ට්‍රෝබෙරි වගා කිරීම අඩුවීමත්, මහා පරිමාණ ව්‍යාපාර මිල ඉහළ නැංවීමත් මෙම මිල වැඩිවීමට හේතු වී තිබේ. නමුත් මෙම ව්‍යාපෘතිය හරහා ලැබෙන අස්වැන්නත් සමඟ සාධාරණ මිලකට දේශීය ස්ට්‍රෝබෙරිවල රස බැලීමට නුදුරේදීම අප පාරිභෝගිකයන්ට අවස්ථාව උදාවනු ඇත.
විශේෂ ස්තුතිය
නුවරඑළිය ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස් බී.එච්.ඒ. දිල්හානි මහත්මියට.
I දිශානි ජයමාලි කරුණාරත්න