2024 මාර්තු 30 වන සෙනසුරාදා

දීඝවාපියෙන් මතුවුණු රජ මාවත

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 121

පසුගිය දිනවල අම්පාරට එකදිගට ඇදහැලුණු ධාරානිපාත වැස්ස නිසා ගංගා මෙන්ම ජලාශ ද උතුරා ගියේය. වැසි හේතුවෙන් සේනානායක සමුද්‍රයේ වාන් දොරටු හයක් විවෘත කර වැඩි ජලය පිට කිරීමට කටයුතු කෙරිණි. ගංවතුර නිසා සිය ගණනක් අවතැන් වූහ. වගා පාළු විය. මේ වනවිට ගංවතුර සම්පූර්ණයෙන් බැස ගොස් අවසානය. නමුත් සෑම කළු වලාවකම රිදී රේඛාවක් ඇත්තා සේ මේ ගංවතුර නිසා මෙතෙක් ඉතිහාසයේ සැඟව තිබුණු පුරාණ උරුමයක් මතු වුණේ කවුරුත් නොසිතූ පරිද්දෙනි. එය මතුවුණේ දීඝවාපි ඔලුවිල් වරාය මාර්ගයේ පාර ගංවතුරට සේදී ගිය ස්ථානයකිනි. එහි දැකගත හැක්කේ ගල්කුට්ටි අතුරා සකස් කරන ලද මාර්ගයක ශේෂ කොටස්ය. කොන්ක්‍රීට් පාර ඒ අසලින් ඇදී යන අතර එම පාරට යටින් මෙම ඓතිහාසික ස්ථානය දැකගත හැකිය. 

දැනට වසර ගණනාවක සිට මෙම ස්ථානයේ ඇති පාර ඔලුවිල් වෙත යාමට යෑමට දිඝාවාපි වැසියන් මෙන්ම ඔලුවිල් ප්‍රදේශයේ වැසියන් ද භාවිත කර තිබේ.

පසුගියදා ඇතිවූ මහා වර්ෂාවෙන් මේ අවට පෙදෙසට ගල්ඔය පිටාර ගැලීම නිසා සැඩ පහරකින් යුක්තව වේගයෙන් ගලා ගිය ජලයට හසුව මෙම ස්ථානයේ පස්ගැලවී සේදී ගොස් ඇත. ඉන් පසුව පසට යටව පැවති කළුගල් ශේෂ මතුව තිබේ.  

මෙහිදී ක්‍රමවත්ව සම මට්ටමකට සකස් කර පිළිවෙළකට අතුරන ලද පුරාණ ගල්   දැකගැනීමට පුළුවන. මෙම ස්ථානයේ සිට ඓතිහාසික දීඝවාපි රජමහා විහාරයට කිලෝමීටරයක් පමණ දුරක් ඇති අතර මීට වසර 15 කට පමණ පෙර දීඝවාපියේ ඩෝසර කරන ලද පල්ලකාඩු පරිවාර දාගැබට ඇත්තේ මීටර් 400 ක් පමණ දුරකි.  

ඒ අනුව සමහර විට මෙය දීඝවාපි රජමහා විහාර සංකීර්ණයට අයත් පෞරාණික මාර්ගයක ශේෂයක් විය හැකිය. 

නැගෙනහිර පළාත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ අනුශාන් මුණසිංහ සඳහන් කරන්නේ මේ ස්ථානය පිළිබඳව නිරීක්ෂණ වාර්තාවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට යවා ඇති අතර ඒ ගැන ඉදිරියේ දී ස්ථානීය පරීක්ෂණයක් කිරීමට නියමිත බවකි. ඉන් පසුව මේ නෂ්ටාවශේෂ ගැන නිගමනයකට පැමිණිය හැකි බව ඔහු සඳහන් කර සිටී.   

මේ ගැන  අප සමඟ පැවසූ නුදුරින් පිහිටි මාණික්කාමඩු රජමහා විහාරාධිපති අඹගස්පිටියේ සීලරතන හිමියෝ මෙසේ කීහ: 

''අවට කිලෝමීටරයක පමණ වට ප්‍රමාණයක පැරණි නටබුන් තැනින් තැන හමුවෙනවා. මේකත් අහම්බෙන් හමුවු‍ණේ ගංවතුර හන්දයි. දීඝවාපි රජමහා විහාරයේ සිට ඔලුවිල් පුරාණ වරාය දක්වා පැවති මාර්ගයක් නටබුන් වීමටත් ඉඩ තිබෙනවා. මේ විහාරයත් වරායත් අතර සබඳතා පැවති බවයි අපට පේන්නේ. කෙසේ නමුත් පුරාවිද්‍යා නිලධාරින් පවසන්නේ මෙතන කැණීම් කර වැඩිදුර තොරතුරු සොයාගත හැකි බවයි.''

ඒ අතරම උන්වහන්සේ පැවසුවේ මේ අවට නටබුන් ලෙස පවතින මාණික්කාමඩු දාගැබ ද තවමත් කැණීම් කර සංරක්ෂණය නොකළ නිසා වැස්සට ඛාදනය වී ටිකෙන් ටික ඉතිරිව පවතින නටබුන් පවා විනාශ වන බවයි.  

මෙතෙක් ලංකාවේ හමුවී ඇති වඩාත් ක්‍රමවත් ශෛලමය පෙත්මඟ හමුවන්නේ අනුරාධපුර රිටිගල ආරණ්‍යයේය. වනය අතරින් දිවෙන එම පෙත්මඟ කළුගල් පුවරු අතුරා පිළිවෙළකට සකස් කරන ලද්දකි. කළුගල් ඇතිරෑ මාර්ග අනුරාධපුර යුගයේ පැවති බවට සාධක හමුව තිබේ. 

දීඝවාපිය අවට පෙදෙස අයත් වන්නේ පුරාණ රෝහණ රාජධානියටයි. ගල්ඔය මිටියාවතට අයත් මෙම පෙදෙස පුරාණයේ හඳුන්වා ඇත්තේ දීඝවාපි මණ්ඩල යනුවෙනි. අටුවා ග්‍රන්ථවල හා පාලි වංසකතාවල කිහිප වරක්ම “දිගාමඬුලු” යන්න පැහැදිලිව සඳහන් වේ.  එයට “ගල්හ ගංගාව'' හෙවත් වත්මන් ගල්ඔයබඩ හා දකුණු ප්‍රදේශය ද අයත් ය.  කොණ්ඩවටවන සෙල්ලිපියේ සඳහන් වන ගල්ඔයට උතුරින් පිහිටි ප්‍රදේශය “මෙතෙර දිගාමඬුල්ල” ලෙස හඳුනාගෙන තිබේ. 

I කුසුම්සිරි විජයවර්ධන
සේයාරුව I අන්තර්ජාලයෙන්