2024 මාර්තු 30 වන සෙනසුරාදා

කැලෑ බෙදාගෙන වෙන්දේසි දාන රටක්!

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 39
අපේ රටේ සුන්දරත්වය ඔප්නංවනා පරිසරය සංරක්ෂණයට දායක වන වනාන්තරවල අගය මුලින්ම නීතියට ඇතුළත් කළේ අදින් වසර 117කට පෙර සුද්දන් මෙරට පාලනය කළ කාලයේය. ඒ 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥා පනත නීතිගත කිරීමෙනි. ඒ සමඟම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ද පිහිටුවිණි. එයට අනුව රටේ වනාන්තර වැදගත්කම අනුව බෙදා ඒවායේ නීතිවිරෝධී කටයුතු වැළැක්වීමට නීති සම්පාදනය කෙරිණි. 2009 දී මේ පනතට අංක 65 දරන සංශෝධනය ද එක් විය. 

දැන් ඡන්ද කතාබහක් රටේ මතුවන කාලයේ හදිසියේ කරන්නට යන්නේ මේ පනතේ 20 වැනි වගන්තිය ඉවත් කර ආණ්ඩුවේ හෙංචයියලාට අවශ්‍ය විදිහට වනාන්තර බෙදාගෙන වෙන්දේසියේ දැමීමටය. මෙතෙක් එසේ රජයේ වනාන්තර නීතිවිරෝධී ලෙස ලබාදීමට උත්සාහ ගත් අවස්ථා රාශියක් තිබුණි. ඒ බොහෝ අත්පත් කරගැනීම් අධිකරණ තීරණවලින් අවලංගු විය. ඉන් තටු සිඳුණු බලවතුන් දැන් කරන්නට යන්නේ නීතියේ බාධක මැඩපැවැත්වීමට පනත බල්ලට දමා වෙනස් කර ගැනීමටය. හොරු රජ කරන පාර්ලිමේන්තුවක එය ඉතා පහසු බව අප අමුතුවෙන් කිව යුතු නැත. 

වන සංරක්ෂණ ආඥා පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලබාගෙන ඇත්තේ අදින් වසර පහකට වැඩි කාලයකට පෙර 2018 අගෝස්තු මස 21 වැනි දින ය. එම කැබිනට් පත්‍රිකාවෙන් ජෛව විවිධත්වය, පස, ජලය, සංස්කෘතික, ආගමික, ඓතිහාසික හා සෞන්දර්යාත්මක වටිනාකම් කෙරෙහි විශේෂ සැලැකිල්ලක් දක්වමින් මතු පරපුරේ යහපත වෙනුවෙන් වනාන්තර සංරක්ෂණය කිරීම, රක්ෂිත වනාන්තර තුළ තිබෙන ඛණිජ සම්පත් ආරක්ෂා කර ගැනීම, වනාන්තර සංරක්ෂණය පිළිබඳ වන සංරක්ෂණ නිලධාරීන් සතු බලතල ශක්තිමත් කිරීම යන කරුණු පදනම් කරගෙන පනත සංශෝධනයට අනුමැතිය ලබාගෙන ඇත. පසුව එහි මුලින් සඳහන් කළ කරුණු ඉවත දමා එම අනුමැතිය පදනම් කරගෙන පනත සංශෝධනය කර තිබේ. සංශෝධිත පනත් කෙටුම්පත සකස් කර ඇත්තේ කලකට පෙර අනුමත කැබිනට් පත්‍රිකාවේ සඳහන් අරමුණු සියල්ලම උල්ලංඝනය කරමින් වනය වනසන කැකිල්ලේ තීන්දුවක් බවට පත්වෙමිනි. 

පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශක සහ අධ්‍යක්ෂ හේමන්ත විතානගේ අප සමඟ මෙසේ පැවසුවේය: 

''මේක කරන්න ඇත්තේ නුදුරු අනාගතයේ දී පැවැත්වීමට නියමිත ඡන්ද හේතු කොටගෙන දේශපාලනඥයන්ට, තමන්ගේ හිතවතුන්ට අපේ රටේ වන භූමි පඬුරු පාක්කුඩම් හැටියට දෙන ක්‍රමවේදයක් විදිහටයි. මෙය අනාගත පරම්පරාවට අයිති අපේ ස්වභාවික සම්පත් බරපතළ ලෙස අපයෝජනයක් සිදුකිරීමට ගන්නා උත්සාහයක්. මෙම ක්‍රියාවලියට සම්බන්ධ සියලු දෙනාම සමස්ත රටටත් අනාගත පරම්පරාවටත් වගකිව යුතුයි. වන සංරක්ෂණ ආඥා පනතට ගෙන ඒමට බලාපොරොත්තු වන මේ පරිසර විරෝධී, මානව විරෝධී සංශෝධන අපි සම්පූර්ණයෙන් හෙළා දකිනවා.

මෙහි පවතින භයානක කරුණක් වන්නේ වෙනත් රජයේ වනාන්තර මේ දක්වා විශේෂ ආරක්‍ෂාවක් ලබාගත් වන සංරක්ෂණ ආඥා පනතේ 20 වැනි වගන්තිය සම්පූර්ණයෙන්ම එම ආරක්ෂණයෙන් ඉවත් කර අමාත්‍යවරයාට අවශ්‍ය විදිහට ඒවා විවිධ විවිධ කටයුතු කාරණා සඳහා ලබාදීමට මේ අලුත් සංශෝධනය මගින් ඉඩ සලසා තිබීමයි.''   

ආණ්ඩුවෙන් පැවසෙන්නේ රජයේ වනාන්තර ආයෝජන ව්‍යාපෘති සඳහා ලබාදීමට මින් පහසු වන බවය. වෙනත් රටවල නම් ආයෝජකයන් එන්නේ කම්හල්, නිෂ්පාදන අංශ ඇති කිරීමටය. අපේ රටට ගෙන්වාගන්නට යන්නේ වනාන්තර විනාශ කරන ආයෝජකයෝ වෙති. එහෙත් අවසානයේ ආයෝජකයෝ බවට පත්ව ඇත්තේ ද දේශපාලන ඥාතිහු වෙති. 

වන සංරක්ෂණ ආඥා පනතේ වගන්ති වෙනස් කිරීමට අදාළ සංශෝධන පනත මේ වන විට සකස් කර අවසන් ය. එහි 20 වැනි වගන්තිය මගින් රක්ෂිත නොවන, අනාගතයේ දී රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට යෝජිත වනාන්තර විශාල ප්‍රමාණයක් රජයට අයත් වෙනත් කැලෑ වශයෙන් ආරක්ෂා කර තිබුණි. මෙම යෝජිත වනපෙත් වෙනත් වනාන්තර අතර සම්බන්ධතාව ඇති කරන, වැව් හා ජලාශවල ජලපෝෂක ලෙස ක්‍රියාත්මක වන, වඳවීමේ තර්ජනයට දරුණු ලෙස මුහුණපා සිටින ඉතාම දුර්ලභ හා ආවේණික ජීවී විශේෂ බොහොමයකට වාසස්ථාන සපයන, අලි - ඇතුන්ගේ ප්‍රධාන වාසස්ථාන හා අලි මංකඩවල් ලෙස ක්‍රියාත්මක වන සුවිශේෂී වනාන්තර පද්ධති වේ. එම වනාන්තර වාණිජ භාවිතයන්ට ලබාගත හැකිවන පරිදි, ඒවායේ ආරක්ෂාව තහවුරු කර ඇති 20 වැනි වගන්තිය සංශෝධනය කර තිබේ. 

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසරවේදී සජීව චාමිකර ඒ ගැන සඳහන් කරන්නේ මෙලෙසිනි: 

''යෝජිත පනත් සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද උල්ලංඝනය කර තිබෙනවා.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හය වැනි පරිච්ඡේදයේ ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩිදියුණු කළ යුතු බව දැක්වෙනවා. නමුත් ඒ වෙනුවට සිදු කර ඇත්තේ රජයේ වනාන්තර වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කර ආදායම් උත්පාදනය මගින් විනාශ කිරීමේ ක්‍රියාවලියක් ඇති කිරීමයි. පනත සංශෝධනය කිරීමෙන් තොරව රජයේ වනාන්තර භාවිත කිරීමට පසුගිය කාලය තුළ දී විවිධ ක්‍රියාමාර්ග ගත්තා. වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ, ලේකම් විසින් නිකුත් කළ 2020 නොවැම්බර් මස 04 වැනි දින අංක MWFC/01/2020 දරන චක්‍රලේඛය මගින් රක්ෂිත නොවන රජයේ වනාන්තර ඉඩම් සියල්ල ප්‍රාදේශීය ලේකම්වරුන් හා දිස්ත්‍රික් ලේකම්වරුන් භාරයට පත්කර ගැනීමට පළමුව උත්සාහ ගත් බව ඔබ දන්නවා. අධිකරණ ක්‍රියාමාර්ග මගින් ඒවා ක්‍රියාත්මක කිරීම වළක්වාලීමට පියවර ගත්තා. ඒ හේතුවෙන් වන සංරක්ෂණ ආඥා පනත සංශෝධනය කර රජයේ ඉඩම් වෙන්කර ගැනීමට වත්මන් ආණ්ඩුව මේ ආකාරයෙන් පියවර ගෙන තිබෙනවා. මින් සිදුවන දැවැන්ත විනාශය පිළිබඳව ආණ්ඩුවට හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට කිසිදු හැඟීමක් නොතිබීම කනගාටුවට කරුණක්.''

අධික උණුසුමකින් රටම බැටකන මේ දිනවල වනාන්තරවල සිසිල ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. වර්ෂ 2010 දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කළ අවසන් වනාන්තර සංගණනයට අනුව මෙරට සමස්ත වනාන්තර ආවරණය හෙක්ටයාර 19,51,473 කි. එය මෙරට සමස්ත භූමි ප්‍රමාණයෙන් 29.7% ක් වේ. වර්ෂ 2015 වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව යෝජිත රක්ෂිත හා රජයට අයත් වෙනත් කැලෑ ලෙස හඳුන්වන වනාන්තරවල භූමි ප්‍රමාණය හෙක්ටයාර 3,45,811 කි. වන සංරක්ෂණ ආඥා පනතේ 20 වැනි වගන්තිය යටතේ පාලනය වන්නේ එම වන පෙත් ය. එම හෙක්ටයාර් තුන් ලක්ෂ හතළිස් පන්දහසම යෝජිත පනත් සංශෝධනය මගින් වෙන්දේසියේ දැමීමට නියමිතය. එය වර්තමානයේ ලංකාවේ ඉතිරි වී ඇති වනාන්තර ප්‍රමාණයෙන් 18% ක් විනාශ කිරීමට සැලසුම් සකස් කිරීමක් නොවන්නේද?
 
I කුසුම්සිරි විජයවර්ධන