2024 මාර්තු 30 වන සෙනසුරාදා

අවංකබවින් වෙළෙඳ ලොව ජයගත් ව්‍යාපාරිකයා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 57

විවිධ මාවත් ඔස්සේ පැමිණ ව්‍යාපාරික ලෝකයට අවතීර්ණ වී සාර්ථක වෙන්න ඔබටත් අවස්ථාවක් තිබෙනවා. අද අපි ඔබ හමුවට රැගෙන එන්නේ තරමක් වෙනස් මාවතක් ඔස්සේ පැමිණ සාර්ථක වූ ව්‍යාපාරිකයෙක් පිළිබඳ කතාවක්. ව්‍යාපාරික ලෝකයට අත්පොත් තියන්න බලාගෙන ඉන්න, දැනටමත් ව්‍යාපාරික ලෝකයට ප්‍රවේශ වෙලා ඉන්න කාටත් ඔහුගේ කතාවෙන් උගත යුතු පාඩම් රැසක් තිබෙනවා.

ඔහු නමින් ජගත් පෙරේරා.  Aromek Products Pvt Ltd නම් ආයතනය නිර්මාණය කරන්නේ ඔහු විසින්. ශ්‍රී ලාංකීය පිරිසිදුකාරක අතර පිළිගත් "Jith” සන්නාමයට උරුමකම් කියනු ලබන්නේ ජගත් පෙරේරා විසින් ගොඩනගනු ලැබූ Aromek Products Pvt Ltd ආයතනය. මේ වන විටත් ශ්‍රී ලාංකීය කර්මාන්ත අතර ඇගයුම් කිහිපයකටම බඳුන් වී ඇති Jith සන්නාමය යටතේ රටවල් කිහිපයකට අපනයන කටයුතු සිදුවෙනවා.

“අපි නිපදවන්නේ දේශීය සහ විදේශීය වෙළෙඳපොළ සඳහා අවශ්‍ය ඉන්ඩස්ට්‍රියල් ඩිටර්ජන්ට් සහ විෂබීජ නාශක. අපේ කර්මාන්ත ශාලාව තියෙන්නෙ පිළියන්දල. කර්මාන්ත ශාලාවේ සේවකයන් 22 ක් පමණ සේවය කරනවා. අපේ නිෂ්පාදන සඳහා තත්ත්ව සහතික අපි සතුයි. ISO සහතික කිරීම සහ ඊට අමතරව මධ්‍යම පරිසර අධිකාරියෙන් අපේ පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රියාවලිය අනුමත කරලා තියෙනවා."

ආහාර සැකසුම් කර්මාන්ත, ඖෂධ, හෝටල් සහ සෞඛ්‍ය සේවා කර්මාන්ත, රබර්, රෙදිපිළි, සැපයුම්, නාවුක සමුද්‍ර කර්මාන්ත, ආයතන සහ තවත් බොහෝ කර්මාන්ත රුසක Jith සන්නාමයට ඉහළ ආකර්ෂණයක් පවතිනවා.

ව්‍යාපාරයේ ආරම්භය පිළිබඳව ඇත්තේ තරමක වෙනස් කතාවක්. මේ ව්‍යාපාරයේ නිර්මාතෘවරයා වන ජගත් ඇත්තෙන්ම ව්‍යාපාරිකයකු වීමේ සිහිනය ලුහුබැඳි කෙනෙක් නෙවෙයි.

“මගේ දෙමව්පියෝ රජයේ සේවකයෝ. මගෙත් ඇත්තටම ව්‍යාපාරිකයකු වීමේ අදහසක් තිබුණේ නැහැ. අපි උසස් පෙළ හදාරපු 1986 වසර වෙනකොට ව්‍යාපාරිකයන්ට ලොකු පිළිගැනීමක් සමාජය තුළ තිබුණෙත් නැහැ. එම නිසාම පොදුවේ අපිට උගන්නලා තිබුණේ වෘත්තිකයෙක් විදිහට සුදු කරපටි රැකියාවක් සිදු කිරීම වඩාත් සුදුසුයි කියලා. මමත් අධ්‍යාපනය නිමා කරලා රිසර්ච් ඇන්ඩ් ඩිවලප්මෙන්ට් ලැබ් එකක රැකියාවක් කළා. රසායන විද්‍යාව පිළිබඳ හැදෑරීමකුත් කළා. ඒත් ඒ කටයුතු අවසන් වෙන්න කලියෙන් මම ඒ රැකියාවෙන් ඉවත් වුණා."

ව්‍යාපාරිකයෙක් වීමේ අදහසක් නොතිබුණෙන් ජගත් පෙරේරා මෙම රැකියාවෙන් අනතුරුව තවත් රැකියාවක් වෙත මාරුවුණු බව අපි සමඟ සඳහන් කළා. මේ අතර පශ්චාද් උපාධිය දක්වා අධ්‍යාපනය හදාරන්නත් ඔහු කටයුතු කර තිබෙනවා. කොහොම නමුත් පාසල් අධ්‍යාපනය නිමකොට වසර දහයක් පමණ ගතවන තුරුත්, සමාජයේ පිළිගත් වෘත්තිකයකු බවට පත්වීමේ අවශ්‍යතාවය තමයි ඔහු තුළ තිබී ඇත්තේ.

“දෛවෝපගත විදිහට කාලයක් යද්දී මම තේරුම් ගත්තා කුඩා පරිමාණයේ හෝ ව්‍යාපාරයක් කරන කෙනෙක් සමාජයට විශාල සේවයක් කරනවා කියලා. මගේ මිත්‍රයෙක් හිටියා කමල් ධර්මරත්න කියලා. ඔහු කිව්වා ව්‍යාපාරයක් පටන් අරගෙන අඩුම තරමේ අපි පස් දෙනෙක්ටවත් රැකියාවක් ලබා දිය යුතුයි කියලා. එහෙම තමයි මම පටන් ගත්තේ. පටන් ගන්නකොටත් කාලයක් ගත වුණා මේ ව්‍යාපාර ක්ෂේත්‍රයට අනුගත වෙන්න. මොකද පවුල් පරිසරයෙන්වත් අපිට ඒ පිළිබඳ දැනුමක් ලැබිලා තිබුණේ නෑ."

පළමු රැකියාවෙන් ලබාගත් දැනුමත් එකතු කර කරමින් මේ ව්‍යාපාරය ආරම්භ කරන්න ජගත් පෙරේරා කටයුතු කරන්නේ 2000 වසරේදී. ඒත් ඔහු ආරම්භයේදී ව්‍යාපාරය සමඟම සිය රැකියාවත් සමබරව පවත්වාගෙන යන්න උත්සාහ දරනවා. කොහොම නමුත් ව්‍යාපාරයේ ක්‍රමික නැගීමත් එක්ක රැකියාවෙන් ඉවත් වෙලා 2022 දී තමන්ගේ සම්පූර්ණ අවධානය Aromek Products Pvt Ltd වෙත ලබා දීමට ජගත් පෙරේරා මහතා කටයුතු කර තිබෙනවා.

“මුලින්ම අපි ට්‍රේඩින් ඔෆිස් එකක් විදිහට පිටකෝට්ටේ රජමහා විහාර මාවතේ මේ ව්‍යාපාරය ආරම්භ කළා. පස්සේ තලවතුගොඩ මිත්‍රයෙක් ඉඩමක කර්මාන්ත ශාලාවක් පොඩියට නිර්මාණය කළා. 2009 දී විතර පිළියන්දලට ආවා තැනක් කුලියට අරගෙන. පස්සේ පිළියන්දලම ඉඩමක් අරගෙන දැන් තියෙන කර්මාන්ත ශාලාව නිර්මාණය කළා. අපි අවශ්‍ය ප්‍රමිති සහතික අවසර ආදී සියල්ල මේ ව්‍යාපාරය වෙනුවෙන් ක්‍රමයෙන් ලබා ගත්තා."

කොහොම නමුත් ආරම්භය අභියෝගවලින් පිරී ගිය එකක් බව ජගත් පෙරේරා මහතා වැඩිදුරටත් අප සමඟ සඳහන් කළා. නව ව්‍යාපාරයක් ලෙස වෙළෙඳපොළ සොයා ගැනීම දුෂ්කර වූ බවත්, බොහෝ දෙනා ඇණවුම් ලබා දීමට මැලිකමක් දැක්වූ බවත් ඔහු පැවසුවා.

“වෙළෙඳපොළ සොයා ගැනීම දුෂ්කර වුණත් ආරම්භයේදී අපි සිද්ධ කළේ, නියම ප්‍රමිතියටම අපේ නිෂ්පාදන සිදු කරගෙන යෑම. ඒ වගේම අපේ නිෂ්පාදන ලබාගන්නා ආයතනවලට අවශ්‍ය සේවාව අඛණ්ඩව ලබා දෙන්න අපි කටයුතු කළා. නිෂ්පාදනයක් අලෙවි කරලා මුදල් අරගෙන පසෙකට වීම කියන තැන අපි හිටියෙ නැහැ. ඕනෑම ව්‍යාපාරයක් තුළ අඛණ්ඩ සේවා සැපයීම අතිශය වැදගත් කාරණාවක්. ඒ වගේම අපේ නිෂ්පාදනය පාවිච්චි කරන අයට යම් ගැටලුවක් මතු වෙනවා නම් ඒවා නිරාකරණය කරන්න අපි හැම වෙලාවෙම මැදිහත් වුණා. අදටත් ඒ වගකීම සහිතව තමයි අපි අපේ ගනුදෙනුකරුවන් සමඟ කටයුතු කරන්නෙ."

වෙළෙඳපොළ අභියෝගයෙන් උපක්‍රමිකව ජයගත් Jith සන්නාමය මාලදිවයින තුළත් සිය වෙළෙඳපොළ අවස්ථා සොයා ගැනීමට සමත් වුණා. ඒ සමඟම තමා ඔවුන්ගේ නිෂ්පාදන අපනයනය ආරම්භ වෙන්නෙ. එයින් අනතුරුව  සීෂෙල්ස් දූපත් වෙතත් තමන්ගේ නිෂ්පාදන අපනයනය කරන්න මෙම ආයතනය සමත් වෙනවා. 

“පසුගිය කොවිඩ් වසංගත සමයේදී දින තුනක් පමණයි අපේ ආයතනය වසා තැබුවේ. විෂබීජනාශක සැනිටයිසර් ආදිය සඳහා ආයතනවලින් අපිට ඉල්ලීම් ලැබුණා. ආහාර කර්මාන්තය ආශ්‍රිත පිරිසිදුකාරක සඳහා විදේශ ඇණවුම් පවා ලැබුණා. එම අවස්ථා නිසි පරිදි කළමනාකරණය කර ගැනීම අපේ ඉදිරි ගමන තවත් සවිමත් කළා."

ඇතැම් අවස්ථාවල බාධක පවා තමන්ගේ වාසියට පෙරළා ගනිමින් මේ ව්‍යාපාරය ක්‍රමයෙන් ඉදිරියට රැගෙන යාමට ජගත් පෙරේරා මහතා කටයුතු කර තිබෙනවා.

තමන්ගේ මුල් රැකියාවෙන් මේ විෂය සම්බන්ධව ලබාගත් දැනුම පසුකාලීනව වර්ධනය කර ගැනීමට විශේෂඥයන්ගෙන් මෙන්ම ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත මිතුරන්ගෙන් ද උපකාර ලැබුණු බව අප කතානායකයා සිහිපත් කරන්නේ ඉතා ගෞරවයෙන්.

“ව්‍යාපාරිකයෙක් විදිහට ඉදිරියට යන්න හොඳ අධිෂ්ඨානයක් තිබිය යුතුයි. ඒ වගේම විශ්වසනීය බව රුකගෙන පාරිභෝගිකයන් සමඟ අඛණ්ඩ ගනුදෙනුවක් තබා ගැනීමත් වැදගත්. ව්‍යාපාරයක් තුළත් පැහැදිලිවම ආචාරධර්ම පද්ධතියක් තිබෙනවා. මේ දේවල් පිළිබඳ අවධානය යොමු නොකිරීම නිසා තමා ගොඩක් දෙනෙක් මේ ව්‍යාපාර ලෝකයට ඇවිල්ලා නැවතත් හැරිලා යන්නෙ."

2023 කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේ රන් සම්මානයකින් පිදුම් ලබන්නත් ජගත් පෙරේරා ගොඩනැගූ Aromek Products Pvt Ltd ආයතනය සමත් වන්නේ මෙවන් ගුණාංග රැසක් ඔවුන් සතු වූ නිසාමයි. අපේ සංවාදය අවසානයේ ජගත් පෙරේරා මහතා අලුතින් ව්‍යාපාරික ලෝකයට පැමිණෙන අයට අපූරු උපදේශයක් ලබා දුන්නා.

“කවුරු හරි කෙනෙක් ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් මුලින්ම තීරණය කරන්න ඕනෑ තමන් කැමති ක්ෂේත්‍රය මොකක්ද කියලා. අනතුරුව ඒ සඳහා අවශ්‍ය දැනුමෙන් සන්නද්ධ වෙන්න ඕනෑ. හැකියාවක් තියෙනවා නම් ඒ ක්ෂේත්‍රයට අදාළ ආයතනයක ටික කාලයක රැකියාවක් කිරීම ගොඩක් වටිනවා. අදාළ ක්ෂේත්‍රයේ සිද්ධාන්ත පිළිබඳවත් හොඳ අවබෝධයක් තිබිය යුතුයි. ඉස්සර වගේ නෙවෙයි දැන් දැනුම ලබාගන්න ඕනෑ තරම් ක්‍රම තිබෙනවා. දැනුම ලබාගත්තට පස්සේ හොඳ අධිෂ්ඨානයකින් අත නොහැර අභියෝගවලට මුහුණ දෙමින් කටයුතු කිරීම තුළ ඕනෑම අයකුට සාර්ථක වෙන්න පුළුවන්."

සැබැවින්ම ඔහු ආ ගමන තුළ එලෙස සාර්ථක විය හැකි බවට ඔහු විසින්ම මේ වන විටත් අපට තහවුරු කර පෙන්වා අවසන්. ඔබ ජීවිතයේ කුමන මාවතක් ඔස්සේ පැමිණියද, ඇවිසි නම් ව්‍යාපාරිකයෙක් ලෙස සාර්ථක විය හැකියි. ඒ සඳහා අවශ්‍ය වන්නේ ඔබගේ නොපසුබස්නා උත්සාහය පමණයි.

 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00