2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා

ජපානයට පපඩම් හදන ඉරේෂා නූඩ්ල්ස්

 2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 158

ව්‍යාපාර ආරම්භ කරපු ව්‍යවසායකයන් වගේම, පිය උරුමයෙන් ලද ව්‍යාපාර ඉහළ තැනකට ඔසවා තැබූ ව්‍යාපාරිකයන් පිළිබඳවත් අපි ඉඳහිට කතා කරනවා. මේ වන විටත් දේශීය වෙළඳපොළේ ජනප්‍රිය සන්නාමයක් වන "Iresha Food Products” පිටුපස ඇත්තේත් එවන් වූ කතාවක්. මේ කතාව අප සමඟ කියන්නට එකතු වුණේ මේ ව්‍යාපාරයේ වර්තමාන සභාපති ලලිත් ගමගේ මහතා.

ඔහු මෙම ව්‍යාපාරය බාරගත්තෙ තම පියාගේ වියෝවත් සමඟ. ඒ 1996 වසරේදී. ඒ වෙනකොට ලලිත් ගමගේට වයස අවුරුදු 21 ක් 22 ක් පමණ ඇති. එදා පියාගේ ඇවෑමෙන් බාරගත් මෙම කර්මාන්තය ලලිත් ගමගේ ඇතුළු සහෝදරයන්, මේ වන විට රටේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරල හමාරයි. නූඩ්ල්ස්, පපඩම් සහ කුළුබඩු වර්ග තමා Iresha සන්නාම යටතේ වෙළෙඳපොළේ ඉහළ කීර්තියක් උසුලන්නෙ. පොල්ගස්ඕවිට සහ ඇඹිලිපිටිය ප්‍රදේශයේ කර්මාන්තශාලා ත්‍රිත්වයක් මේ ව්‍යාපාරය සතුයි.

“1980 දී අපේ පියා තමා මේ ව්‍යාපාරය ආරම්භ කළේ. ඒ කාලේ අලුත් විදිහට හිතල, අවදානමක් අරගෙන තමයි තාත්තා ව්‍යාපාරය ආරම්භ කරල තියෙන්නෙ. ගලේ අඹරලා මිරිස්, කුළුබඩු  භාවිත කරපු කාලේ, කුළුබඩු කොටලා අලෙවි කිරීම වෙනස් විදියේ අත්දැකීමක්"

ඒ.ජී. ගමගේ මහතා තමා මේ ව්‍යාපාරයේ ආරම්භකයා. ඔහු මාතර අකුරුස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොල්ගස්ඕවිට ඇවිල්ලා පොඩි කඩයක් කුලියට අරගෙන තමා ව්‍යාපාරය ආරම්භ කරලා තියෙන්නේ.  “ඒ කාලේ කුලියට ගත්ත පොඩි කඩ කාමරයක ඉඳගෙන තමයි ඔක්කොම කළේ. මම පහ වසරෙදි විතර තමා මෙහෙ ආවේ. ඒ කාලේ අපිට ඇඹරුම් යන්ත්‍ර තිබුණේ නෑ. තාත්තා කොටාගෙන එනව, අපි ඒවා පැකට්වලට දානවා. තාත්තා තමයි ගොඩක් මහන්සි වුණේ. සේල්ස් ගියත් තාත්තා."

කුළුබඩුවලට අමතරව ලුණු, ලුණු කුඩු වගේ දේවලුත් කාලයත් එක්ක තමන්ගේ ව්‍යාපාරයට  ගමගේ මහතා එකතු කරගෙන තියෙනවා. කෙසේ හෝ පියාගේ වියෝව සිදුවන අවදිය වන විට Iresha Food සේවකයන් විස්සකගෙන් පමණ සමන්විත ව්‍යාපාරයක්.

“තාත්තා 1996 දී විතර නැති වුණා. එතකොට මම ගොඩක් තරුණයි. තාත්තත් එක්ක ගැටිලා ව්‍යාපාරය සම්බන්ධ යම් අත්දැකීමක් තිබුණත්, විධිමත් ව්‍යාපාර සම්බන්ධ අධ්‍යයනයක් තිබුණෙ නැහැ. මට සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. ඒ කාලේ ඒ අය ගොඩක් පොඩියි. කොහොම වුණත් මම තාත්තගෙන් පස්සේ ව්‍යාපාරයේ බර කරට ගත්තා" පියාගේ වියෝව දැවැන්ත අභියෝගයක් වුවත්, එය ව්‍යාපාරය බිඳවැටීමට හේතුවක් නොවූයේ ලලිත් ගමගේ ඇතුළු පවුලේ ධෛර්යය නිසාමයි.

“අපි කුලියට ලබාගත්ත ස්ථානයක ව්‍යාපාරය කළේ. හැම දෙයක්ම අභියෝගයක් වුණා. ක්‍රමයෙන් අපි ව්‍යාපාරය දියුණු කරන්න පටන් ගත්තා. නව නිෂ්පාදන හඳුන්වා දෙමින් නව වෙළෙඳපොළ සොයා ගියා. අපි පිටින් තමයි ඇඹරුම් සිදුකරමින් හිටියේ. පස්සේ ව්‍යාපාරය පුළුල් වෙනකොට ඉඩමක් අරගෙන කර්මාන්තශාලාවක් නිර්මාණය කළා." පියාගේ වියෝවෙන් වසර දහයක් ගතවන විට තමන්ගේම කර්මාන්ත ශාලාවක් නිර්මාණය කර ගැනීමට ලලිත් ගමගේ සමත් වෙනවා. ඒ 2005 වගේ කාලයේ දී.

“තාත්තා ඉන්න කාලෙ ගත්ත වත්තක් තිබුණා ඇඹිලිපිටියේ. අපි ඒකේ පොඩියට පපඩම් හදන්න ගත්තා. පස්සේ මහවැලියෙන් අපිට කර්මාන්ත කලාපයක තිබුණු පැරණි ගොඩනැගිල්ලක් හම්බවුණා. අපි එතැන කර්මාන්තශාලාවක් ආරම්භ කළා. මේ වන විට ඇඹිලිපිටියේ තවත් ස්ථානයක තවත් පොඩි කර්මාන්තශාලාවක් තියෙනවා"

Iresha Food Products විසිරී පැතිරී ගිය දැවැන්ත ව්‍යාපාරයක්. මේ වන විට ජපානයේ වෙළෙඳපොළේ ප්‍රධානම පපඩම් සන්නාමය බවට පත්වෙන්න මේ ව්‍යාපාරය සමත් වෙලා හමාරයි. ඒ වගේම නවසීලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය වගේ රටවල්වලටත් ලලිත් ගමගේ ඇතුළු පිරිස අපනයනය සිදු කරනවා. කොහොම නමුත් මේ ගමන රතු පාවඩ දැමූ සුමට මාවතක පැමිණි ගමනක් නොවන බව පැහැදිලියි.

“ව්‍යාපාරයක් කරනවා නම් ඊට හොඳින් කැපවෙන්න ඕනෑ. ඒ වගේම ව්‍යාපාරය සම්බන්ධව යම් දැනීමක් තිබෙන්න ඕනෑ. ආරම්භයේදී මේ දැනුම නොතිබුණත් පසුව මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මාස්ටර් එකත් කළා. දැනුම කියලා කියන්නේ අත්‍යවශ්‍ය සාධකයක්"

තම ව්‍යාපාරයේ සාර්ථකත්වයේ රහස්  ලලිත් ගමගේ අප හමුවේ තැබුවා. තමන්ගේ ව්‍යාපාරය හා සබැඳි ප්‍රජාවන් සමඟ සිදුකරන සුහදශීලී ගනුදෙනුව සාර්ථකත්වයට විශාල හේතුවක් බව ඔහු සඳහන් කළා.

“අපේ සැපයුම්කරුවන් සේවකයන් සමඟ ඉතා සුහදශීලී ගනුදෙනුවක් තියෙනවා. අපි මේ ව්‍යාපාරය තුළින් කඩා වැටුණු අවස්ථා අප්‍රමාණ තියෙනවා. ඒ අවස්ථාවල ශක්තියක් වුණේ අපි අතර තිබුණු බැඳීම" මේ පිළිබඳ අපූරු උදාහරණයක් සිය ව්‍යාපාර අත්දැකීම් තුළින්ම ලලිත් ගමගේ මහතා අප හමුවේ තැබුවා.

“2012, 2013 වගේ කාලයේදී අපි විශාල අභියෝගයන්වලට මුහුණ දුන්නා. ඒ වෙලාවේ වැටුප් බලාපොරොත්තු නොවී මාස දෙක තුනක් අපේ සේවකයන් වැඩ කළා. අපේ සැපයුම්කරුවන් අඛණ්ඩව අපිට සැපයුම් ලබා දුන්නා. අපි අතර තිබුණු සුහදශීලී බව තමා ඒකට හේතු වුණේ"

සේවකයන් ප්‍රමුඛත්වයෙහිලා සලකන බවත්, සේවකයන්ට සෑම අවස්ථාවකදීම අවශ්‍යතාවයන් සලකා උදව් උපකාර සිදු කරන බවත් ගමගේ මහතා සඳහන් කළා.

“ව්‍යාපාරයක් කරගෙන යන්න නම් හැමදාම නවෝත්පාදන කියන දේ තියෙන්න එක ගොඩක් වැදගත්. අලුතෙන් හිතමින් වෙනස්කම් සිදු කරන්න ඕනෑ. ඒ වගේම නිෂ්පාදනයන්ගේ තත්ත්වය ඉහළ දැමීම පිළිබඳවත් නිතරම සිතිය යුතුයි. තරගකාරීත්වයට මුහුණ දීම සම්බන්ධවත් පැහැදිලි අදහසක් ව්‍යාපාරිකයකු සතු වෙන්න ඕනෑ"

මේ සියල්ල ලලිත් ගමගේ සතුව තිබූ නිසාම තමයි ඔහුට සහ සහෝදරයන්ට මේ ව්‍යාපාරය මෙතරම් සාර්ථකව ගොඩනගන්නට හැකි වී තිබෙන්නෙ. Iresha Food Products යටතේ මේ වන විට කර්මාන්තශාලා තුනක මෙහෙයුම් සිදුවෙනවා. සමස්ත සේවක ප්‍රමාණය 110ක් පමණ වෙද්දි තවත් විශාල පිරිසක් වක්‍රව මේ ව්‍යාපාරය හරහා ආදායම් ලබනවා.

“අපි මේ ව්‍යාපාරය තවදුරටත් ඉදිරියට අරගෙන යන්න සැලසුම් සකස් කරලා තියෙනවා. නව නිෂ්පාදන ව්‍යාපාරයට එකතු කරමින් යනවා. අපනයන වෙළෙඳපොළ තමයි දැන් අපි ප්‍රධාන වශයෙන් ඉලක්ක කරන්නෙ. දැන් අප සතුව නිෂ්පාදන 150 ක් පමණ තිබෙනවා. මේ වන විට අපේ නිෂ්පාදනයන්ට අවශ්‍ය තත්ත්ව සහතික අපි සතුයි. නිෂ්පාදනයන්ගේ තත්ත්වය ගැන නිතර වද වීම මෙච්චර කාලයක් මේ ව්‍යාපාරය රුඳෙන්න ලොකු හේතුවක් වුණා කියලා මම හිතනවා"

2006 වසරේ දී කොළඹ දිස්ත්‍රික් කර්මාන්ත අතරින් ප්‍රථම ස්ථානයත්, බස්නාහිර පළාත් කර්මාන්ත අතරින් දෙවැනි ස්ථානයත් දිනා ගනිමින් ජනාධිපති සම්මාන ලබන්න Iresha Food Products වාසනාවන්ත වුණා. ඊට අමතරව 2018 වසරේදී හොඳම ව්‍යවසායකයා වෙනුවෙන් පිරිනැමෙන Chamber of Commerce හි Bronze සම්මානයෙන් මේ ව්‍යාපාරය පිදුම් ලබල තිබෙනවා. ඇත්තෙන්ම ලලිත් ගමගේ සහ Iresha Food Products ව්‍යාපාරය වෙතින් උගත යුතු පාඩම් රුසක් තිබෙන බව ඉතා පැහැදිලියි. කැපවීම, දැනුම් සහ නව නිපැයුම් මතින් ලෝකය ජයගත හැකි බව කියන්නට මේ ව්‍යාපාරයත් අපූරු සාක්ෂියක්.