2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා

රා මදින මහත්තුරු බිහිකරන NVQ සහතික

 2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 168

''මුදලාලි, රා මදින්න එනව කියපු කෙනා අන්න ඇවිල්ලා...''
''එන්වීකිව් සහතික අරගෙන ඇවිත්ද?''

‘‘ඔව් මුදලාලි, පයිල් එකක්ම අරන් ඇවිත්. මිනිහට හොඳ පළපුරුද්දක් තියෙනවා.''

මේ දෙබස තව ටික කලකින් මෙරට රා කර්මාන්තයේ නියුතු ව්‍යාපාරිකයන් බලාපොරොත්තු වන වෘත්තීය රා මදින්නන් ගැන පැවසෙන්නකි. දැනට පොල්, කිතුල් සහ තල් රා කර්මාන්තයේ නියුතු වන්නේ පාරම්පරික රා මදින්නෝ වෙති. ඔවුහු කුඩා කල සිට සිය පියාගෙන් ලත් ගුරුහරුකම් අනුව අවදානම දරාගෙන ගස් නැග රා මදින්නෝ වූහ. නමුත් දැන් මේ හුරුවට කරන ගස් මැදීමෙන් සමුගෙන වෘත්තීය ගරුත්වයක් සහිත රා මදින්නකු වීමට අවස්ථාව උදා වී තිබේ. ගස් ගඳ ගහන නූගත් රා මදින්නන් වෙනුවට වෘත්තීය නිපුණතා සහතික දරන දැනඋගත් රා මදින මහත්මයකු වීමට අවස්ථාව ලැබී තිබේ. 

තල්, කිතුල් සහ පොල් ගස් මදින හා ගෙඩි කැඩීමේ නිරත තැනැත්තන් සඳහා ජාතික වෘත්තිය නිපුණතා (NVQ -3 මට්ටමේ) සහතික ලබාදීමට සැලසුම් කර තිබීම එයට හේතුවයි. මෙම ජාතික වෘත්තිය නිපුණතා සහතික ලබාදීමේදී අදාළ වෘත්තීන්හි නිරත අය සඳහා සති දෙකක විධිමත් පුහුණුවක් ජාතික ආධුනිකත්ව මණ්ඩලය විසින් ලබා දීමට නියමිතය. තල්, කිතුල් සහ පොල් ආශ්‍රිත කටයුතු් කරන පුද්ගලයන්ගේ සුභසාධනය වෙනුවෙන් ගනු ලබන පියවර සම්බන්ධව සාකච්ඡාවක් පසුගියදා (05) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී පැවැත්වුණු අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

දැනට රා මදින්නන් එම කර්මාන්තයේ නිරත වන්නේ විධිමත් පුහුණුවකින් නොවේ. පාරම්පරික රා මදින්නන්ගේ දරුවන් විවිධ ආකල්පමය හේතු නිසා එම කර්මාන්තයට යොමු නොවීමේ ප්‍රවණතාව දැන් ඉහළ ගොස් ඇත. මේ නිසා ඉදිරියේදී රා කර්මාන්තයේ නිරත වෘත්තිකයන්ගේ හිඟයක් ඇතිවනු ඇත. 

මෙහිදී පහසුවෙන් ගස් නගින ආකාරය, නිසි ලෙස ගෙඩි කඩන්නේ කෙසේද, ගස් නැ‍ගීමේදී හදිසි රෝග තත්ත්වයකට ලක්වීම, සර්ප දෂ්ටන හා ගසෙන් ඇද වැටීම මගින් පූර්ණ හෝ අර්ධ ආබාධ තත්ත්වයට පත්වීම වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ පුහුණුවක් ලබාදීම සිදුවේ. ඊට අමතරව  පොල් කඩන සහ රා මදින පුද්ගලයන්ට ස්වයංරැකියාවක් හෝ ව්‍යවසායකත්ව හැකියා වර්ධනය සඳහා සහන පොලියක් යටතේ රුපියල් ලක්ෂ 05ක ණය ආධාරයක් ලබාදීමට ද සැලසුම් කර ඇත.

තල්, කිතුල් සහ පොල් ගස් මැදීම හා ගෙඩි කැඩීම වැනි කටයුතුවල නිරත පුද්ගලයන්ට රක්ෂණාවරණයක් ලබාදීමේ ක්‍රමයක් ඇති කිරීම කෙරෙහි ද අවධානය යොමු කර තිබේ. මේ පිළිබඳව වැඩපිළිවෙළ සකස් කිරීමට යෝජනා වී ඇත්තේ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය හරහාය. ඇමැතිවරයා ඉහත සඳහන් සාකච්ඡාවේදී තල්, කිතුල් හා පොල් සංවර්ධන මණ්ඩලවල සභාපතිවරුන්ට උපදෙස් ලබාදුන්නේ තල්, කිතුල් සහ පොල් ගස් මැදීම මෙන්ම ගෙඩි කැඩීම ආශ්‍රිතව කටයුතු කරන පුද්ගලයන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා විධිමත් වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කමයි. එයට හේතුව මෙම ක්ෂේත්‍රයේ අවදානමක් සහිත වීම නිසා ඇතැමුන් එයට ඇතුළුවීමට බියකින් පසුවීමයි. 

මේ සාකච්ඡාවේ දී තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ ඇමැතිවරයාට පැවසුවේ එම රැකියාවේ නිරත අයගේ ජීවිතාරක්ෂාව හා සුබසාධනය මුල්කරගෙන NVQ-3 මට්ටමේ සහතික පතක් හා සති දෙකක පුහුණුවක් ලබාදීමට කටයුතු යොදා තිබෙන බවකි. බොහෝවිට ගස්වලින් ඇදවැටීම මෙන්ම රැකියාව කිරීමේදී සිදුවන වෙනත් හදිසි අනතුරු නිසා එම වෘත්තිකයන්ගේ දරු පවුල් අසරණ වීම අතීතයේ පටන්ම අසන්නට ලැබෙන පුවතකි. ඔවුන්ගේ පවුල් ආර්ථික අතින් සවිමත් නොවන නිසා සැමියා ආබාධිත වූ විට පවුලට දිවි ගෙවා ගැනීම පවා අසීරු වේ. 

මෙයට පෙර පසුගිය 2023 වර්ෂයේ මුලදී ද පොල් රා’ මදින්නන් සඳහා පුහුණු පාඨමාලාවක් ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය විසින් නොමිලේ ආරම්භ කළ බව වාර්තා විය. නොමිලේ පවත්වන එම පාඨමාලාවෙන් පසු රැකියාවක්ද ලබාදීමට පෞද්ගලික සමාගමක් කැමැත්ත පළ කර ඇති බව ද කියැවුණි.

මුහුදුමඩ තැනිතලාවේ පොල් රා ප්‍රචලිත ය. කිතුල් රා රට මැද සහ සබරගමුවේ සහ කඳුකරයේත් පැතිරී තිබේ. තල් ගස් සුලබ උතුරුකරයේ තල් රා කර්මාන්තය ප්‍රචලිත ය.  පානදුර සිට දකුණු දිග මුහුදු තීරයේ හා ගාල්ල මාතර දක්වා ගොඩබිම් තීරයේ පොල් රා මැදීම වැඩි වශයෙන් සිදු කෙරේ. ඒවා අරක්කු සමාගම්වලට අලෙවි කෙරෙන අතර සුළු ප්‍රමාණයක් රා වශයෙන් පානය කිරීමට ලබා ගැනේ. ඉංග්‍රිසි පාලන කාලයේදී  අරක්කු හා පොල් රා රේන්දය නිසා රජයට වාර්ෂිකව විශාල බදු ආදායමක් හිමි විය. රා රේන්දයෙන් ආදායම් ඉපයු ස්වදේශිකයෝ පොල් වගාව ව්‍යාප්ත කිරීමට මුල් වූහ.  පහතරට තෙත් කලාපයේ සහ වයඹ පළාතේ ඉඩම් මිලදී ගත් ස්වදේශික ධනවතුන් පොල් වැවූහ. 

ඉංග්‍රිසීන් විසින් අරක්කු සහ වෙනත් රටබීම ව්‍යාප්ත කිරීමට පෙර රා කට්ටක් තොල ගෑම අතීතයේ පටන් පැවතුණි. එයිනුත් කිතුල් රා සඳහා ඉල්ලුම වැඩිය.  

රා මැදීමේ දී භාවිත කරන සුවිශේෂී ආයුධ බහාලීමට ලී වලින් සකස් කරන ලද කුඩා පෙට්ටිය “මදින පෙට්ටිය” නමින් හැඳින්වේ. මල්තැලුම, මදින පිහි කට්ටලය ආදී මල් මැදීමට විශේෂයෙන්ම සකස් කරන ලද ආයුධ ආම්පන්න සියල්ලම මදින පෙට්ටියේ දාගෙන සිරුරේ පිටුපස බැඳගෙන ගසට නැගීම සිදුවේ. 

ලංකාවේ මහ රා නිෂ්පාදනයේදී මැදීම, ප්‍රවාහනය, ගබඩා කිරීම, සැපයීම හා අලෙවිය ප්‍රධාන වශයෙන් සිදු කෙරේ. ගසකින් ලබාගන්නා රා පළමුව එකතු කිරීමේ මධ්‍යස්ථානය වෙත ලබා දෙන අතර පසුව ස්කාගාරයට ලැබී ඉන් පසුව අරක්කු නිෂ්පාදනය කිරීමට යොදා ගැනේ. ගෘහස්ත මීරා හා වාණිජ රා වශයෙන් රා මැදීමේ බලපත්‍ර නිකුත් කරයි. ගෘහස්ත රා, සඳහා උපරිමය ගස් දහයකි. වාණිජ බලපත්‍ර සඳහා ගස්වල සීමාවක් නැත. මේ නීති ප්‍රතිපාදන යටතේ තල් හා පොල් ගස් පමණක් මැදිය හැකිය.
පිරිසිදු කිතුල් පැණි බෝතලයක් නිපදවීමට තෙලිදිය බෝතල් 6 – 8ක් අතර වැයවන බව පැවසේ. තෙලිදියට මණ්ඩි ස්වල්පයක් එක් කිරීමෙන් රා නිපදවනු ලබයි. තෙලිදිය යොදා ගනිමින් නිෂ්පාදනය කෙරෙන පිරිසිදු කිතුල් පැණි බෝතලයකට මිල රුපියල් 1500කට අධිකය. මේ වන විට කිතුල් රා බෝතලයක මිල ආසන්න වශයෙන් රුපියල් 300ක් පමණ වේ.   

යාපනය මුල් කරගත් උතුරු පළාතේ නාගරික ග්‍රාමීය ප්‍රදේශවල සාම්ප්‍රදායික තල් රා  කර්මාන්තය සිය රජයේ නිසි සහයෝගයක් නැතිකමෙන් අඩාල වෙමින් පවතින බව රා කර්මාන්තකරුවන් කලකට පෙර සිටම පවසන දෙයකි. රා මදින්නන් හිඟකම නිසා එම පළාතේ ඉල්ලුමට සරිලන රා සැපයුමක් පවත්වා ගැනීමට තමන්ට නොහැකි වී තිබේ. පසුගිය කාලයේ තල් රා අපනයනයෙන් ද සැලකිය යුතු ආදායමක් ලැබීමට හැකිව ඇත. තල් රා අපනයනයෙන් 2023 වසරේ ඩොලර් 102,422ක (රු. මිලියන 32.2) මුදලක් ඉපයීමට තල් සංවර්ධන මණ්ඩලය සමත් වූ බව වාර්තා විය. අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් පැවැති වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචන රුස්වීමේ දී මේ බව ප්‍රකාශ කෙරිණ. මෙරට තල් රා සඳහා වැඩිම ඉල්ලුමක් කැනඩාව හා ප්‍රංශය යන රටවලින් ලැබී තිබේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කිතුල් රා අලෙවිය සඳහා ඇති බලපත්‍ර දෙකෙන් එකක් හිමි ආර්.පී. ගුණසේකරගෙන් රා කර්මාන්තයට ලබාදීමට යන වෘත්තිය නිපුණතාව ගැන අපි විමසුවෙමු: ‘‘මේක අපි නම් ඉගෙන ගත්තේ පොඩි කාලේ ඉඳන් බලා ඉඳලා. කැපවෙලා. හිතේ තියෙන ආසාවට. ගොඩක් පරිස්සමෙන් තමයි කැලේ තියෙන කිතුල් ගස්වලට නගින්නේ. මේ හන්දා අවදානමක් අද වෙනකම් සිදුවෙලා නෑ. මේක පිය උරුමයෙන් නැත්නම් පරම්පරාවෙන් කරන රැකියාවක්. හරිම අවදානම් රස්සාවක්. පසුගිය කාලයේ රාවලට තිබෙන ඉල්ලුම අඩුවුණා. මේ පැත්තට එන්න තිබෙන පාර කැඩිල තියෙන හන්දා. එතකොට කරන්නේ තෙදලිදිය උණුකර හකුරු හැදීමයි. කොච්චර පුහුණුව ලැබුණත් කිතුල් මදින්න නම් කට්ටක් කන්න වෙනවා. පොල් ගස් වගේ කිතුල් ගස් වතුවල නෑනේ. කැලේ තමයි තිබෙන්නේ. කූඩැල්ලන් කමින් කැලේ ඇවිදින්න වෙනවා. පුහුණුව ලබන අය මේ දුෂ්කරතාව ජයගන්න දැනගන්න ඕනෑ. කැපවීමෙන් කළොත් හොඳ ආදායමක් ලබාගන්න පුළුවන්.''

I කුසුම්සිරි විජයවර්ධන
I සේයාරූ: අන්තර්ජාලයෙනි

 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00