2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා

වෙඩිතලතිව් - ආදම්ගේ පාලම ’’රැම්සාර්’’ නමට මුවා වී වනසන්නද හදන්නේ?

 2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 74

දේශපාලනඥයන්ගේ අනුග්‍රහයෙන් සිදුවන පරිසර හානි ගැන නිතර ආරංචි වන කාලයක එසේ ආණ්ඩුවෙන් ඉඩම් අත්පත් කර ගැනීමට උත්සාහ කරන බිම් පෙදෙස් සහිත නව තෙත්බිම් කලාප  තුනක් රැම්සාර් සම්මුතිය  යටතේ  තෙත් බිම් ලෙස ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට  සැලසුම් කර ඇති බව පසුගියදා අසන්නට ලැබුණි. වාරිමාර්ග, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි ඒ ගැන ප්‍රකාශ කළේ පසුගිය 2දාට යෙදුණු ලෝක තෙත් බිම් දිනය නිමිත්තෙනි. අමාත්‍යවරිය සඳහන් කළේ මන්නාරම දිස්ත්‍රික්කයට අයත් වෙඩිතලතිව් ස්වාභාවික රක්ෂිතය සහ ආදම්ගේ පාලම ජාතික උද්‍යානයත්  යාපනය දිස්ත්‍රික්කයට අයත්  චුන්ඩිකුලම් ජාතික  උද්‍යානයත් එසේ නව තෙත් බිම් කලාප ලෙස  2024 වසර  ඇතුළත  නම් කිරීමට  වනජීවී දෙපාර්තමේන්තුව  සැලසුම් කර ඇති බවයි.  වන්කාලෙයි අභයභූමිය,  වෙඩිතලතිව් ස්වාභාවික රක්ෂිතය දක්වා පුළුල් කිරීමට ද පියවර ගෙන ඇති බව අමාත්‍යවරිය පැවැසුවාය.

මේ  වන විට රැම්සාර් සම්මුතියට අනුව ශ්‍රී ලංකාවේ තෙත් බිම් කලාප හයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒවා නම් බුන්දල ජාතික උද්‍යානය, මාදු ගඟ අභයභූමිය, ආනවිලුන්දාව අභයභූමිය, වන්කාලෙයි අභයභූමිය, කුමන කුඩුම්බිගල තෙත් බිම් සමූහය, විල්පත්තුව අභයභූමියයි. මේ සෑම තෙත් බිමකටම ඒවාට අනන්‍ය පාරිසරික ලක්ෂණ දකින්නට ලැබේ. රැම්සාර් තෙත් බිම් සංචාරකයන් අතර ද ඉතා ජනප්‍රියව පවතී.

 රැම්සාර් තෙත්බිම් බවට පත්වන්නේ ස්විට්සර්ලන්තයේ ජාත්‍යන්තර රැම්සාර් තෙත් බිම් ලේකම් කාර්යාලයට යෝජනාවක් ඉදිරිපත් කර එය අනුමත වූ පසුවය. ලෝකයේ  තෙත් බිම් ආරක්ෂණය  සඳහා 1971 වසරේ ඉරාකයේ රැම්සාර් නගරයේ දී රටවල් 136 ක සහභාගිත්වයෙන් රැස්වී ඇතිකර ගන්නා ලද සම්මුතිය  රැම්සාර් තෙත් බිම් සම්මුතියයි. 1990 වසරේ ඔක්තෝබර් මස ශ්‍රී ලංකාව ද  මෙම සම්මුතියට අත්සන් තබා තිබේ.  

මේ වන විට නම්කර ඇති අපේ රැම්සාර් තෙත් බිම් මෙන්ම ඉදිරියේදී නම් කිරීමට සැලසුම් කර ඇති තෙත්බිම්වලට ද විනාශකාරීන්ගෙන් සිදුවන ගැහැටවලින් අඩුවක් නැති බවයි දිනෙන් දින වාර්තා වන්නේ. පුත්තලම දිස්ත්‍රික්කයේ ආනවිලුන්දාව අභයභුමිය දේශපාලන බලපුළුවන්කාරයන්ගේ අනුහසින් පසුගිය කාලයේ සිදුවු විනාශය නිසා බොහෝදුරට හානියට පත්වූ තෙත්බිමකි.

එමෙන්ම යෝජිත තෙත් බිම් තුන අතරින් වෙඩිතලතිව් රක්ෂිතය සහ ආදම්ගේ පාලම ජාතික උද්‍යානය ද ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා ඇති රක්ෂිත දෙකකි. මෑතක දී ජාතික වනෝද්‍යාන, අභයභූමි සහ ස්වභාවික රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර නීතියෙන් ආරක්ෂාව ලැබී ඇති ප්‍රදේශවලින් නැවත නිදහස් කළ යුතු ඉඩම් ලේඛනයක් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය හරහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබේ. එම ලේඛනයට ආදම්ගේ පාලම (සමුද්‍රීය ජාතික උද්‍යානය) සහ වෙඩිතලතිව් රක්ෂිතයට අයත් ඉඩම් කොටස් ද ඇතුළත්ව තිබේ. මේ ගැන පරිසරවේදීන්ගේ බලවත් විරෝධය ද එල්ල වී තිබේ.

මන්නාරම් දිස්ත්‍රික්කයේ වන්කාලෙයි, රැම්සාර් තෙත්බිමට ආසන්නයේ වයඹ වෙරළ තීරයේ පිහිටා ඇති “වෙඩිතලතිව් ස්වාභාවික රක්ෂිතය” කඩොලාන, මඩ තට්ටු, ලවණ වගුරුබිම්, මුහුදු තණකොළ, කොරල්පර මෙන්ම ජලජ ජීවීන් සහ සංචාරක පක්ෂීන් ගැවසෙන  ඉතා අලංකාර පරිසර පද්ධතියකි. ඉන්දියානු උප මහාද්වීපය හරහා පැමිණ මන්නාරමෙන් මෙරටට ඇතුළුවන සංචාරක පක්ෂීන්ට හමුවන පළමු කලපු තීරය වන්නේ  වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතයයි.  

වෙඩිතලතිව් ස්වාභාවික රක්ෂිතය උතුරු පළාතේ උපායමාර්ගික පාරිසරික ඇගයීම් ව්‍යාපෘතිය මගින්  යෝජනා කර එහි ජෛව විවිධත්වයේ සුවිශේෂී  බව සැලකිල්ලට ගෙන ගැසට් කර පාර්ලිමේන්තුවේද අනුමත කරන ලද ස්වභාවික පාරිසරික රක්ෂිතයකි.

ආදම්ගේ පාලම ජාතික උද්‍යානය ආරම්භ වන්නේ තලෛමන්නාරම දූපත කෙළවර සිටය. තලෛමන්නාරමේ සිට ඉන්දියාවේ රාමේෂ්වරන් දක්වා දූපත් 17ක් තිබේ. ඉන් දූපත් අටක අයිතිය ලංකාව සතුය. මේ දූපත් අට ආදම්ගේ පාලම ජාතික සමුද්‍රීය  උද්‍යානයට අයත් ය. කටුක පරිසරයකින් යුක්තය. 

ආදම්ගේ පාලම ජාතික සාගර උද්‍යානයේ දූපත් හා ඒ අවට සාගර ඉතා අලංකාර සාගර පරිසරයකින් යුක්තය. මුහුදු තෘණ කලාපයක්ද එහි තිබේ. අවට මුහුදේ මුහුදු ඌරන්, කැස්බෑවුන් හා මාළුන් සහිතය. වැලිපර දූපත් 3,4,5 ආශ්‍රිතව සංචාරක පක්ෂිහු බිත්තර දැමීමට පැමිණෙති. මේ දූපත් අටේ පක්ෂීන් දහදාහක් පමණ එකලට දැකගත හැකිය. ආදම්ගේ පාලම උද්‍යානයට අයිති මුළු ප්‍රදේශයම හෙක්ටයාර් 18,000කි. 

උතුරු පළාතේ පිහිටි ආදම්ගේ පාලම සමුද්‍රීය ජාතික උද්‍යානය සහ වෙඩිතලතිව් ස්වභාවික රක්ෂිතය ආදිය ආරක්‍ෂිත ප්‍රදේශ ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබෙන්නේ රජය විසින්ම 2009 දී සකස් කළ ‘උතුරේ ක්‍රමෝපායික පාරිසරික තක්සේරුවට’ අනුවය. උතුරේ මිනිස්සුන්ට බෙදිය යුතු ඉඩම්, ජලජ ජීවි වගාව සඳහා යොදාගත හැකි ඉඩම් ආදිය ඉවත් කර වැදගත්ම පරිසර පද්ධති රක්ෂිත බවට එහිදී ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලදී. එබැවින් විද්‍යාත්මක පදනමක් මත, පුළුල් අධයනයකින් පසු ස්ථාපිත කරන ලද රක්ෂිත ප්‍රදේශ යළි ජනතාවට බෙදා දීමේ තීරණය කොතරම් ඥානාන්විත වන්නේ දැයි ගැඹුරින් විමසා බැලිය යුතු කරුණකි.

මෙසේ වටිනා තෙත්බිම්වලට අයත් ඉඩම් බෙදාදීම සඳහා නිදහස් කර ගැනීමට ආණ්ඩුව කටයුතු කිරීම ගැන අප විමසුවේ පාරිසරික නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධනගෙනි:

‘’වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතය ඉස්සන් වගාව සඳහා ඉඩම් වෙන්කර ගැනීමට 2017 දී  ඉඳලා උත්සාහ කරපු දෙයක්. ඒකේ ඉඩම් ලොකු සමාගම්වලට දෙන්නයි හැදුවේ. ආදම්ගේ පාලම උද්‍යානය කියන්නේ ජන ශුන්‍ය දූපත් කාණ්ඩයක්. ඒ වගේම සංක්‍රමණික පක්ෂීන්ගේ ගමන් මාර්ගයේ වැදගත් භූමි ප්‍රදේශයක්. මුහුදු ලිහිණි විශේෂ 11ක ලංකාවේ සුවිශේෂී ගහන හමුවන එකම ස්ථාන ටික තමයි ඒ දූපත්. 2012 වසරේදී ‘ලංකා කුරුලු සංගමය’ සිදුකළ සමීක්ෂණයකදී ලොව දෙවැනියට එක් ස්ථානයකට වැඩියෙන්ම රුස්වන සංක්‍රමණික පක්ෂි ප්‍රමාණය වාර්තා වුණෙත් මෙතැනදියි. ආදම්ගේ පාලම ජාතික උද්‍යානයක් කළෙත් මේ කුරුල්ලෝ ගැන හිතලා. නමුත් මේවා රැම්සාර් තෙත්බිම් බවට පත්කිරීමට සැලසුම් කිරීම සහ ඒවායේ ඉඩම් නිදහස් කර ගැනීම යන්න පරස්පර විරෝධී කාරණා දෙකක්. නමුත් මේවා රැම්සාර් තෙත්බිම් විදිහට ප්‍රකාශයට පත්කිරීමට තීරණය කිරීමේදී ඉඩම් බෙදන තීරණය අවලංගු කරලා නම් ඒක තමයි විය යුත්තේ’’  

මෙම තෙත්බිම් දෙක සංරක්ෂණය කිරීමේ වගකීම පසෙකලා විනාශ කිරීමට බලධාරීන් මේ වන විට සැලසුම් සකසමින් සිටින බවයි අපට නම් පේන්නේ යැයි පාරිසරික නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන වැඩිදුරටත් පැවසුවේය. ''එම තෙත් බිම් දෙක පසුගිය කාලයේ වාණිජ්‍යමය සහ සංවර්ධන කටයුතු සඳහා නිදහස් කර හැරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටි අතර වෙඩිතලතිව් ස්වාභාවික රක්ෂිතය ජල ජීවී වගාවක් සඳහා නිදහස් කිරීමට   සැලසුම් කොට ඇති බවයි දැනගන්නට ලැබුණේ. ආදම්ගේ පාලම සමුද්‍රීය ජාතික උද්‍යානය සතු දූපත් කිහිපයක් ද වාණිජ්‍යමය හෝ සංවර්ධන කටයුත්තක් සඳහා යෙදවීමට සැලසුම් කරමින් සිටියා. මේවා රැම්සාර් තෙත්බිම් බවට පත්කිරීමට නම් එම කටයුතු නවතා පාරිසරික ආරක්ෂාවට කටයුතු කළ යුතු වෙනවා.'' 

රැම්සාර් තෙත්බිමක් ලෙස නම් කිරීමට යෝජිත චුන්ඩිකුලම් ජාතික උද්‍යානයද වටිනා ජලජ හා වෙරළබඩ පරිසර පද්ධතියකින්ද සමන්විත බිම්කඩකි. යාපනය අර්ධද්වීපයට වන්නට කලපු ආශ්‍රිතව පිහිටා ඇති තෙත්බිම් පරිසර පද්ධතියක් වන මෙහි විශාලත්වය හෙක්ටයාර 19565.33 කි. මෙම ප්‍රදේශය 1983 පෙබරවාරි 26 වැනි දින අභය භූමියක් ලෙස මුලින්ම නම් කළ අතර 2015 ජූනි 22 දින ජාතික උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. උද්‍යානයට ආසන්නතම නගරය වන්නේ කිලිනොච්චියයි.

චුන්ඩිකුලම් උද්‍යාන භූමිය කලපු පරිසර පද්ධතියක් ආශ්‍රිතව පිහිටා ඇති බැවින් මිරිදිය සහ කරදිය භූමි ලක්ෂණ දැකිය හැකිය. මුහුදු මට්ටමට සමාන්තරව පිහිටා ඇති මෙය පහතරට නිවර්තන දේශගුණික ලක්ෂණ පෙන්නුම් කරන පරිසර පද්ධති කිහිපයක එකතුවකින් සැදුම්ලත් තැනිතලා ප්‍රදේශයකි. මෙහි ජලයෙහි ලවණතාවය කාලයෙන් කාලයට වෙනස් වීමටද භාජනය වේ. ඊසානදිග මෝසම් හා සංවහන වැසි මගින් වර්ෂාව ලැබෙන අතර අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කාලය වියළි කාලයයි.

I කුසුම්සිරි විජයවර්ධන
I සේයාරූ: අන්තර්ජාලයෙනි

 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00