2017 ජුනි 17 වන සෙනසුරාදා

ගේම් දෙන්න පොල්ගැහුවට හරියනවද?

 2017 ජුනි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 748

කතරගම පූජා භූමිය වැඳපුදාගන්නට යන බොහෝ බැතිමතුන් පූජා වට්ටියක් හා පොල් ගැසීමට පොල් ගෙඩියක් රැගෙන යාමට අමතක නොකරති. ආගමික හා සංස්කෘතික කටයුතුවලදී මෙන්ම මුළුතැන්ගෙයි කටයුතුවලදීද පොල් ජනයාට බොහෝ සමීප දෙයකි. දුප්පතාගේ නිවසේ සිට මහා මන්දිරවල ජීවත්වන්නවුන්ද තම එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් පොල් ගෙඩිය යොදාගනී. මොකුත් උයන්න නැත්නම් පොල් සම්බෝලයක්, පොල් රොටියක් හරි හදාගෙන කමු... කියන තැනට පොල් ජීවිතය හා නොදැනීම බැඳී තිබේ. නිවසෙන් ඇරඹෙන පොල් ගෙඩිය අවසන් වනුයේ කොතැනින්දැයි නිශ්චිතවම කිව නොහැක. ඒ තරමටම පොල් ගෙඩියත් මිනිසාත් අතර සබඳකමක් පවතී.

එහෙත් පොල් සම්බෝලයයි බතුයි කා හෝ ජීවිතය ගැටගසාගත් අසරණයන්ට අද පොල් ගෙඩියක මිලත් සමඟ එසේ ජීවිතය ගැටගසාගත හැකිදැයි සැක සහිතය.

ශාන්තිකර්මවලදීද පොල් ගෙඩියට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. කතරගම ගොස් පොල් ගෙඩියක් නොගැසූ කෙනෙක් සොයාගැනීමට බැරි තරමටම එය සාමාන්‍යකරණය වී තිබේ. නමුත් මෙහි සත්‍යතාවයක් තිබේද..? කෙනෙක් තම යහපත, වස්දොස් දුරුකර ගැනීම තකා දෙවියන් ඉදිරියේ පොල් ගසයි. තවත් කෙනකු, අනුන්ගේ ජීවිතය විනාශවේවා, භංගවේවායි පතමින් පොල් ගසති. එහි සත්‍යයක් තිබේද? නැත්නම් කළු ගලක වැදී සුනුවිසුණු වී යන පොල් ගෙඩිය මෙන් ඒ ප්‍රාර්ථනාත් සුනුවිසුණු වී යයිද?

තම යහපත හා අනුන්ට භංගවේවා යන ප්‍රාර්ථනය පෙරදැරිව පොල් ගැසීමේ අරුතක් තිබේද? මේ පිළිබඳව ප්‍රවීණ ජ්‍යොතිෂවේදී නිශාන්ත පෙරේරා මහතාගෙන් අපි විමසුවෙමු.

(පොල්) සංකල්පයේ ආරම්භය

යටත් විජිත වාදයෙන් පසුව පොල් නැමති සංකල්පය ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත විය. යටත් විජිත වාදයට පෙර මධ්‍යම කඳුකරයේ කෘෂිකර්මාන්ත රටාවකට අනුව ජනතාව ජීවත් විය. නමුත් යටත් විජිත වාදයෙන් පසුව බොහෝ දෙනා මුහුදුකරයේ ජීවත් වීමට පැමිණියෝය. මේ අනුව ඔවුහු ධීවර කර්මාන්තය ආරම්භ කළෝය. ධීවරයන්ට සත්ව සම්පත අඩුවීමෙන් කිරි සම්පතද අඩුවීමක් දක්නට ලැබුණි. මේ නිසා ඔවුන් බොහෝ දෙනා කිරි ඉතිරවීම සඳහාද පොල් උපයෝගී කරගත්හ. මේ නිසා අද වෙද්දී කිරි ඉතිරවීමේදී බොහෝ දෙනා “පොල් කිරි හොඳද එළකිරි හොඳද” යනුවෙන් තර්ක මතු කරති.

ශාන්තිකර්ම සහ පොල්

පොල් කිරි ඉතිරවීමේදී සාත්මික නම් ගුණාංගය මේ වාතලයට මුසුවෙද්දී දෙවියන් එය ප්‍රිය කරති. එමෙන්ම තමන්ට දිය හැකි උතුම්ම නෑඹුල්, නොඉඳුල්, කුළුඳුල් යන කොටස් තුන අනුව මෙම පොල් ගෙඩියද භාවිත කිරීමට පටන් ගත්හ.
මේ අනුව මේ තුළින් දේව පූජාවට තැඹිලි සහ පොල් තැබීමේ සංස්කෘතිය එකතු විය. දේව යාතිකාවලදීත් ශාන්තිකර්මවලදීත් පොල් ගෙඩිය පුන්කළස ලෙසින්ද හැඳින්වේ.

පොල් ගෙඩිය තුළ නෑඹුල්, නොඉඳුල්, කුළුඳුල් යන කොටස් තුනම සංයෝජනය වෙමින් පවතින බැවින් එය උතුම් කොට සැලකේ. ඒ තුළට මේ විශ්වයෙන් එනු ලබන ශක්ති ධාරාවන් උරාගැනීමට, උකහා ගැනීමට ප්‍රබල ශක්තියක් පවතී. මෙය ආදිකාලයේ සිටම පවතින මතයකි. එය ආසියාතික රටවල්වල වැඩි වශයෙන් නිරූපණය වේ.

විවාහයේදී පොල් ගෙඩියට මුල්තැන

පෝරුවේ චාරිත්‍ර කොටස් කීපයකට බෙදිය හැක. සිද්ධාර්ථ කුමරුගේ පෝරුව, මහ සම්මත රජ්ජුරුවන්ගේ පෝරුව යනුවෙන් පෝරුව කොටස් කීපයකට වෙන් වේ. අතීතයේ දිශා හතරකින් වෙන්වුණ පෝරුව වර්තමානයේදී දිශා දෙකකින් නැග එක් දිශාවකින් මනාලයා හා මනාලියත් පෝරුවෙන් බසිති. මේ පෘථිවි තලය තුළ මනාලයාටත්, මනාලියටත් ඇතිවන යම් දෝෂාකාරී තත්ත්වයත්, අහිතකරතාවයත් බිඳේවා යන මතය පෙන්නුම් කිරීමට පොල් ගෙඩිය බිඳ එම පොල් වතුරෙන් සෝදාහැරීමක් සිදුකෙරේ.

නමුත් පෝරුවේ චාරිත්‍රත් පොල් ගැසීමත් දෙකකි. චාරිත්‍ර යනු කළ යුතු දෙයයි, වාරිත්‍ර යනු නොකළ යුතු දෙයයි. බොහෝ දුරට පෝරුවේ චාරිත්‍රද වර්තමානයේ ඡායාරූප ගැනීමට, විඩියෝගත කිරීමට පමණක් සීමා වී ඇත. මනමාල යුවළගේ අභිෂේක මංගල්‍යය ඇත්තේ පෝරුව මතය. එම නිසා මෙම මොහොතේ චාරිත්‍රවලට අනිවාර්යයෙන්ම මුල්තැන දීම ඉතා වැදගත්ය.

වර්තමානයේදී පෝරුව චාරිත්‍ර සිදුකරද්දී මනාල යුවළ පෝරුවෙන් බසිද්දී බිඳුණු ලබන පොල් ගෙඩියේ හැඩය, එය එකවර නොබිඳීම, පොල් ගෙඩිය දෙකට මැදින් බිඳීම, ඇඟට පොල් වතුර විසිරීම, පොල් ගෙඩිය කුඩා කැබලිවලට බිඳීම ආදී හේතු කාරණා මගින් බොහෝ දෙනා විවිධ මත පළ කරති. නමුත් ඒවායේ කිසිදු සත්‍යතාවයක් නැත. පොල් ගෙඩිය තබන තැනේ පිහිටීම, පහර එල්ල කිරීමේ වේගය වැනි හේතූන් අනුව එය බිඳීම තීරණය වේ. ඒ හැර මෙහි කිසිදු සත්‍යතාවයක් නැත.

අනුන්ට වින කරන්න - භංගවේවායි පොල් ගසන්න යන්න එපා..

දෙවියන්ට පුදපූජා පැවැත්වීමටද, කෙනකුට යම්කිසි සාපයක් කිරීමටද තමන්ගේ පවතින දොස් දුරුකරලීමටද දෙහි කැපීම, පොල් ගැසීම යන සංස්කෘතික අංග දෙකක් පසුකාලීනව ජනතාවට එකතු විය. දෙහි කැපීමට අමතරව අහු, පුහුල්, අත්තන, කඳුරු වැනි දේද ඇතැමුන් කපති. ඊට අමතරව බොහෝ දෙනා පොල් ගැසීම තුළින් තමන්ට පවතින බලාපොරොත්තු ඉෂ්ට කරගැනීමට දෙවියන්ට මේ සඳහා අයැදීමක් ලෙස සිදුකරති.

පොල් ගැසීමෙන් සෙතක් ලැබේද..?

දුරතීතයේ යමක් පිළිබඳව පැමිණිලි කිරීමට නීතිමය තත්ත්වයක් නොමැති යුගයක, අසනීපයකදීත් දෙවියන්ට සියලු දේ බාරකළ යුගයක ජනතාව පොල් ගැසීමට මුල්තැන දී කටයුතු කළෝය. ඔවුන් තම සෙත් ශාන්තිය පතා පොල් ගැසූහ. ඇතැමුන් අනුන්ගේ ජීවිත සුනුවිසුණු වී යන්නට සිතා පොල් ගැසූහ. නමුත් ඒ තුළ අද පවතින සත්‍යතාවයට වඩා අද පවතින පොල් ගෙඩියක මිල ගණන් අනුව නැති බැරි කෙනකුට එවැනි පොල් ගෙඩියක් දීම තුළින් බොහෝදුරට තමන්ගේ හොඳ අපේක්ෂාවන් මුදුන්පත් කරගැනීමට හැකියාව ඇත.

එබැවින් “කප්රුක”වන් පොල් ගෙඩියකින් තව කෙනකුට සාපයක් කිරීමට යාම එතරම් ගෝචර නොවේ. එය වාණිජකරණයට ලක් වූ කපුරාළලාට උදවු වූවාට මෙලෙස පොල් ගැසීමෙන් පොල් ගසන තැනැත්තාට හෝ කිසිදු කෙනකුටවත් වන යහපතක්වත් අයහපතක්වත් නැත.

පොල් ගැසීමෙන් සෙතක් වෙනවාද?

බොහෝවිට අප රටේ ජනතාව තව කෙනකු කළ දෙයක් බලා කිරීමට දක්ෂයෝ වෙති. අනුන් අනුකරණය කිරීමට දක්ෂයෝය. මේ නිසා කෙනකු දේවාලයකට ගොස් පොල් ගෙඩිය මත කපුරු පෙත්තක් දල්වා එය නිවීයාමෙන් පසුව පොල් ගෙඩිය බිඳහෙලීම සිදුකරද්දී අනික් අයද පෝලිමේ ගොස් පොල් ගෙඩිය බිඳිති. නමුත් මෙහි කිසිදු සත්‍යතාවයක් නැත.

අතීතයේදී ගැමියන් බැඳුමක් පිස ගෙයකින් තවත් ගෙයකට රැගෙන යද්දී වන සතුන්ගෙන් වන හානියෙන් වැළකීමට, අඳුර පහව යන්නට හුළු අත්තක්ද ආරක්ෂාවට යකඩ පොල්ලක්ද රැගෙන ගියෝය. නමුත් අද ලෝකය දියුණු වුවත් අදද බොහෝ දෙනා ගෙයකින් තවත් ගෙයකට බැඳුමක් රැගෙන යද්දී අඟුරු කැබැල්ලක් යකඩ ඇණයක්ද රැගෙන යති. එදා අපිට ලැබුණු සංකේතය අදද මඟනොහරිති. මෙබැවින් පොල් ගැසීමේ කිසිදු සත්‍යතාවයක් නැත. පොල් ගැසීමෙන් තම අභිමතාර්ථය ඉෂ්ට වූවාදැයි සැක සහිතය.

පොල් ගැසීමෙන් හිතට දුකක්

හොඳින් පුදපූජා පවත්වා, දෙවියන්ට මල් පහන් පූජාකොට, පූජා වට්ටි පූජාකොට අවසානයේදී පොල් ගෙඩියක් ගහද්දී පොල් මුඩ්ඩ පැත්ත ගලේ වැදී පොල් ගෙඩිය නොබිඳී යාමෙන් හිතේ සංකා ඇතිකරගෙන බොහෝ දෙනා දේවාල භූමියෙන් පිටව යති. නමුත් මේ කාලය බුද්ධියෙන් තර්ක කළ යුතු යුගයකි. එබැවින් බුද්ධිමත්ව ජිවිතේ තීරණ ගන්න.

♦ දිශානි ජයමාලි කරුණාරත්න