2017 ජුනි 10 වන සෙනසුරාදා

වැඩිත් නැති අඩුත් නැති සුන්දර සිරුරකට මෙන්න බෙහෙත්

 2017 ජුනි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 4604

වර්තමානයේදී කාන්තාවන් පමණක් නොව පුරුෂ පක්ෂයද සෞඛ්‍ය සම්පන්න සිත්ගන්නා සුළු සිරුරක් පවත්වාගෙන යාම කෙරෙහි දක්වන්නේ දැඩි උනන්දුවකි. කාර්යබහුල ජීවිතයෙන් මඳකට හෝ මිදී ඇවිදීම ඇතුළු නොයෙකුත් ව්‍යායාම කටයුතු මෙන්ම කායවර්ධන කටයුතුවලද ඔවුන් යෙදෙන්නේ සිරුරේ හැඩය මනාව පවත්වාගෙන යාමට ඇති උනන්දුව නිසාය. කෘෂ හෝ ස්ථූලභාවය සිරුරේ හැඩය කෙරෙහි බෙහෙවින්ම බලපාන අතර සිත්ගන්නා සුළු සිරුරක් පවත්වාගෙන යාම සඳහා එමඟින් ඇති කරන්නේ බාධාවකි. අධික කෙට්ටුවීම හෝ අධික ස්ථූලතාවය නිසා ඔබ දැනටමත් පීඩා විඳින කෙනෙක් වන්නට පුළුවන. එහෙත් ආයුර්වේද ප්‍රතිකාරයන් හරහා මෙම තත්ත්වයන් මුළුමනින්ම වාගේ මඟහරවා ගත හැකි අතර අද අප ඔබට ගෙන එන්නේ අධික තරවීමෙනුත්, අධික කෘෂවීමෙනුත් මිදී සාමාන්‍ය හැඩකාර නිරෝගී සිරුරක් පවත්වාගෙන යාම සඳහා උපදෙස්ය. මේ සම්බන්ධයෙන් අප දැනුම්වත් කරන්නේ නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඩී.එච්. තෙන්නකෝන් මහතායි.

එදා ආයුර්වේදයේ උසට සරිලන මහතකින් යුත් මධ්‍යම ප්‍රමාණයේ සිරුරක් ඇත්තකු හැඳින්වූයේ ආරෝහ පරිණාහ දේහයකින් යුත් පුද්ගලයකු ලෙසයි. අද එය වෛද්‍ය විද්‍යාවෙහි දැක්වෙන්නේ උසට සරිලන බර ලෙසයි. මේ අනුව බලන විට උසට සරිලන්නේ නැති කෙට්ටු සිරුරක් තිබුණද එහි ඇති ලස්සනක් නැත. එමෙන්ම උසට සරිලන්නේ නැති මහත සිරුරක් තිබුණද එහිද සුන්දරත්වයක් නැත. එබැවින් ලස්සනට සිටීමට නම් අපගේ සිරුර උසට සරිලන ආකාරයේ මහතක් තබාගත යුතුමය. පංච කල්‍යාණයට අනුව මෙය මාංශ කල්‍යාණයයි. පුරාණයේ කාන්තාවන්ගේ රුව වර්ණනා කිරීමේදී මෙම මාංශ කල්‍යාණයට මූලික තැනක් හිමිවිය. එදා සාහිත්‍යධරයන් කාන්තා ශරීර ස්වභාවය ඉඟ සුඟ ගත හැක මිටින ලෙස හැඳින්වූහ. උසට සරිලන බරකින් යුතුවූ මධ්‍යම ප්‍රමාණයේ ශරීරයකින් යුතු මාංශ කල්‍යාණයෙන් පිරිපුන් වූ කාන්තාවන්ය ඒ.

වැඩි මහත කැතයි

කාන්තා පිරිමි යන දෙපාර්ශ්වයම ගත්විට මේ දෙපිරිසම පමණට වඩා මහත්වීම යෝග්‍ය නොවේ. එනම් මෙම දෙපාර්ශ්වයම තරබාරු නොවිය යුතුය.

තරබාරු නම්

ආයුර්වේදයේදී ශරීරයේ මහත් වීම හඳුන්වන්නේ ස්තෞල්‍ය හෙවත් මෙදෝ වෘද්ධි ලෙසයි. ආයුර්වේදයේ මෙම අදහස් නවීන අදහස් හා හොඳින් ගැලපේ. ස්ථූලතාවය ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ FAT නමිනි. FAT යන ඉංග්‍රීසි වචනයේ තේරුම් දෙකක් ඇති අතර ඉන් එකක් වන්නේ මහත යන්නය. අනෙක් අර්ථය නම් මේදයයි. මහත්වීම ඇතිවන්නේ මේද තැන්පත්වීම හරහාය. ආයුර්වේදයේදීද තරබාරැව ඇතිවන්නේ මේදස් පදාර්ථ බහුල වීමෙනි.

අධි සුඛෝපභෝගී ජීවිත තරබාරුවට හේතුවක්

ව්‍යායාමවලින් තොරවීම, දහවලදී ලබන නින්ද, සෙම වඩවන ආහාර පදාර්ථ ලබාගැනීම ආදිය අධික තරබාරැවට හේතු ලෙසයි ආයුර්වේදයේ දැක්වෙන්නේ. ඉතා හොඳ ආහාරපාන ලබා ගනිමින්, ව්‍යායාමවලින් තොරව සුඛෝපභෝගී ජීවිත ගතකරන පුද්ගලයින්ගේ ශරීර මහත්වීම වැඩිපුර  සිදුවේ.

අධික තරබාරු බව හඳුනා ගන්නේ...

ශරීරය මහත්වීම සමඟ හතිය, පිපාසය, සිරුරේ අප්‍රාණික බව (අපුවිහතිය) දැඩි කුසගින්න, දහඩිය දුගඳ හැමීම, ශරීරයේ ශක්තිය පිරිහීම ආදිය තරබාරැ බවේ ලක්ෂණය. මෙම රෝග ලක්ෂණ මධුමේහ (දියවැඩියාව) රෝග ලක්ෂණ හා සමානකම් දක්වන අතර බොහෝවිට තරබාරු පුද්ගලයන් ජීවිතේ අවසන් කාලය ගත කරන්නේ දියවැඩියා රෝගීන් ලෙසයි.

අධික තරබාරුවෙන් පෙළෙන්නන් පහසුවෙන් හඳුනාගත හැකි වන අතර නිදසුනක් ලෙස කාන්තාවන් ගමන් කරන විට පියයුරු, තට්ටම්, උදරය, චලනය වන්නේ නම් එය තරබාරු බවේ ලක්ෂණයකි. එසේ වන්නේ මේදය  තැන්පත් වීම සිදුවන්නේ සම යට හා ඉහත කී ස්ථානවල වන නිසාය. එබැවින් තරබාරු පුද්ගලයකු ගමන් කිරීමේදී ඉහත කී ස්ථාන චලනය වේ. සාමාන්‍යයෙන් පපු ප්‍රදේශය හා උදර ප්‍රදේශය මැන බැලීනේද තරබාරු බව හඳුනාගත හැකිය. තරබාරු පුද්ගලයාගේ උදරයේ වට ප්‍රමාණය පපු ප්‍රදේශයේ වට ප්‍රමාණයට වඩා වැඩිය.

අධික ස්ත්‍රී සේවනය කෙට්ටුවෙන්න හේතුවක්

අධික තරබාරුව වළක්වා ගැනීමට නම්

අධික තරබාරුව රෝගී අවස්ථා රුසකට මඟපාදයි. තරබාරුවීම වළක්වා ගත හැක්කේ ආහාර, ඖෂධ හා ව්‍යායාම ආදියෙනි. මේ සඳහා මූලිකවම පහත සඳහන් පරීක්ෂණවල දත්ත ලබාගත යුතුය. එනම් රුධිර පීඩනය, රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය හා රුධිරයේ සීනි ප්‍රමාණය යනාදිය පිළිබඳ දත්තයි. මේ හරහා තරබාරැ බව නිසා රෝගී වී ඇත්ද යන්න හඳුනාගත හැක.

මේද පදාර්ථ ආහාර අහිතකරයි

තරබාරු පුද්ගලයින් මේද පදාර්ථ සහිත ආහාර ගැනිමෙන් වැළකී සිටිය යුතුය. ආයුර්වේද මතය අනුව සෙම වඩවන ආහාරද අයෝග්‍යය. එසේම පාන් පිටිවලින් තැනූ ආහාර (සුදු පාන්, ඉඳිආප්ප, ආප්ප වැනිදේ) සුදු හාල් බත්, අල, බතල, මඤ්ඤොක්කා නුසුදුසුය. තරබාරු බවට කඩල, කව්පි, මුංඇට වැනි ධාන්‍ය වර්ග සුදුසු වන අතර ඒවා ප්‍රධාන ආහාරවේලට එකතුකර ගැනීම යෝග්‍යය. රතු හාල් බත්, කෙඳි බහුල එළවළු වර්ග, දියර බහුල එළවළු වර්ග හා කැකිරි පිපිඤ්ඤා ආදිය සුදුසුය. මෙවැනි පුද්ගලයන්ගේ ආහාරවලට පළතුරු වර්ගද වැඩිපුර එකතු කරගත යුතුය.

තරබාරු බවට ඖෂධීය ප්‍රතිකාර

තරබාරු බව නැති කිරීමේ ඖෂධ වර්ග බහුල වන අතර මේවා හැමවිටම නැවත කළ යුත්තේ නියමිත වෛද්‍ය උපදේශයන්ට අනුවය. එසේම එවැනි ඖෂධ භාවිතයට පෙර ඉහත සඳහන් කළ පරීක්ෂණද සිදුකර ගැනීම වැදගත්ය.
නිවසේදීම ගත හැකි ප්‍රතිකාර

• කොල්ලු තැම්බූ වතුර පානය කිරීම.
• මුං ඇට තැම්බූ වතුර පානය කිරීම.
• ත්‍රිපල් චූර්ණය මී පැණියෙන් උදේ හවස සුදුසු මාත්‍රාවන්ගෙන් ගැනීම.
• මී පැණි හා ජලය සම ප්‍රමාණයෙන් පානය කිරීම. (මී පැණි තේ හැඳි දෙකකට ජලය මේස හැඳි දෙකයි)

ලස්සන සිරුරකට පිහිනීම නියම ව්‍යායාමයක්

කල්පනා කිරීමත් හොඳ බෙහෙතක්

එදිනෙදා සිදුකරන කටයුතු හරහාද තරබාරැභාවය අඩුකර ගැනීමේ හැකියාව ඇත. කල්පනා කිරීම, ඇවිදීම (ගමන් යෑම), ස්ත්‍රී සේවනය, නිදි මැරීම ආදී විහරණවලින් තරබාරැ බව අඩුකරගත හැකි බව ආයුර්වේදයෙහි සඳහන්ය.
ශරීරය කෙට්ටුකර ගැනීමට හොඳම ක්‍රමය ව්‍යායාමයි

ව්‍යායාම යනු ශරීරයට අත්‍යාවශ්‍යම අංගයකි. තරබාරු බව නැති කිරීමට නම් ව්‍යායාම හැර අන් කිසිවක් නොමැති තරම්ය. ව්‍යායාමවල යෙදීම ශරීරය කෙට්ටුකර ගැනීමටද පහසුම මාර්ගයක් වන අතර පහත දැක්වෙන්නේ ඔබට නිවසේදීම පහසුවෙන් කළ හැකි ව්‍යායාම කිහිපයකි.

(1) පළමුව උඩු අතට නිදාගන්න. පාදයේ මහපට ඇඟිලි එක අතට සිටින සේ පාද දිග හැර කිට්ටු කර තබන්න. දෙඅත් දෙපසට දිගුකර තබාගන්න. දැන් දකුණු පාදය දණහිසෙන් නොනමා උඩට කෙළින් කරන්න. දෙපා, දෑත් සැහැල්ලුවෙන් තබාගන්න. ඒවායේ බලයක් නොයොදන්න. මේ ආකාරයට දකුණු පාදය සෙමෙන් පහත් කරන්න.

(2) ඉහත ආකාරයට වම් පාදය ඔසවන්න. හයවරක් පමණ කරන්න.

(3) ඉහත ආකාරයටම පාද දෙකේ මහපට ඇඟිලි එකට සිටින සේ තබා පාද දෙකම එකවර ඔසවමින් පහත් කරන්න. මෙයත් 6 වරක් කරන්න. අත්වල බලයක් නොයොදන්න.

(4) මුලින් සඳහන් කළ ආකාරයට හොඳින් දිගා වී සිටින්න. සිරුර කෙළින් කරන්න. දණහිස් නොනමා ඔබේ අත්වල ඇඟිලිවලින් පාදයේ මහපට ඇඟිලි අල්ලන්න. මෙම ව්‍යායාමය 6 වරක් කරන්න.

(5) මීළඟට පළමු ආකාරයෙන්ම උඩු අතට දිගා වී පාද දෙක දණහිස් නොනමන ගමන් ඔසවා සිරුරද ඔසවන්න. අත් දෙකේ බලය යොදන්න.

(6) අත් පොළොවට සමාන්තර වන පරිදි ඉදිරියට දික්කරන්න. දැන් සෙමෙන් පාද සමඟ සිරැර පහත් කරන්න. මෙවැනි ව්‍යායාම හරහා උදරයට හොඳ ව්‍යායාම ලැබේ. එසේම ඒ හරහා උදරය පමණක් නොව අභ්‍යන්තරයේ ඇති අග්න්‍යාශය වැනි ඉන්ද්‍රියන් පවා හොඳින් ක්‍රියාත්මක වේ.

මෙවැනි ව්‍යායාමයක් එකවර හයවරක් කිරීම අපහසුය. එබැවින් ටිකෙන් ටික මේවාට හුරුවිය යුතුය. ඊට අමතරව ඇවිදීම හා පිහිනීමද හොඳ ව්‍යායාම වන අතර පිහිනීම යනු කාන්තාවකගේ සිරුර හැඩගන්වන මෙන්ම මුළු සිරුරටම එකවර ව්‍යායාමයක් ලැබෙන ක්‍රියාවකි.

අධික කෙට්ටුවත් හිසරදයක්

අධික තරබාරු බව සේම අධික කෙට්ටුව නිසාද සිරුර අවලස්සන වේ. කටුක ආහාර පාන ගැනීම, ආහාර නොගෙන සිටීම, ආහාර අඩුවෙන් ගැනීම, අධික වමනය, අධික විවේකය (ඖෂධ මගින් හෝ රෝග නිසා) නිසියාකාරව මලමුත්‍ර පිට නොවීම, නින්ද අඩුවීම, අධික ව්‍යායාම, අධික ස්ත්‍රී සේවනය, බිය, ධනය ආදිය ගැන අධික ලෙස සිතීම සහ නොයෙකුත් රෝගවලින් පෙළීම කෙට්ටුවීමට හේතු ලෙස ආයුර්වේදයේ දැක්වේ.

කෙට්ටු බව හඳුනාගන්නේ

වුවමනාවටත් වඩා කෙට්ටු පුද්ගලයින්ද සමාජයේ බහුල වශයෙන් හඳනාගත හැකි අතර මොවුන් පහසුවෙන්ම හඳුනාගත හැක්කේ තට්ටම්, උදරය, ගෙල ආදී ස්ථානවල වර්ධනය හීනවීම අනුවය. එසේම මෙවැනි පුද්ගලයන්ගේ ශරීරයේ වියළි ස්වභාවයකින් යුක්ත වන අතර අත්පාවල ශිරා එකතු වී පෙනේ.

ඇඟ උණුකරවා යාම කෙට්ටුවීමට හේතුවක්ද?

ඇඟ උණුකරවා යාම යනු කාන්තාවන් අතර දක්නට ලැබෙන රෝගී අවස්ථාවක් වන අතර වැඩි දෙනෙකුගේ මතය වී ඇත්තේ මෙම රෝගය නිසා සිරැර කෙට්ටුවන බවයි. මෙය නවීන විද්‍යාත්මකව Leucorrhoea (whitish Discharge) ලෙස හඳුන්වන අතර එමඟින් ශරීරය කෙට්ටු වන බව පිළිගන්නේ නැත.

ආයුර්වේදයට අනුව ශ්වේතප්‍රදර ලෙස මෙම රෝගය හඳුන්වන අතර ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදීද ශරීරයේ කෙට්ටු බව ඇතිකරන බරපතළ රෝගී අවස්ථාවක් ලෙස මෙය නොගැනේ. මෙම තත්ත්වය ස්වභාවික සිද්ධියක් ලෙස සැලකිය හැකි අතර එයට බොහෝ විට හේතුවිය හැක්කේ පෞද්ගලික අපිරිසිදු බවය. එබැවින් කාන්තාවන් මෙය මානසික රෝගයක් නොකරගත යුතුය. එහෙත් මෙවැනි රෝග තත්ත්වයන් වැඩිදියුණු වීමෙන් ආයුර්වේදයේ සෝම රෝගය නැමැති රෝගයක් හටගන්නා බවට සඳහන් වේ. සෝම රෝගය නිසා රූපලාවන්‍යයද නිසැකවම හීනවන අතර පෞද්ගලික පිරිසිදු බව ආරක්ෂා කර ගනිමින් මුල්ම අවස්ථාවේදී සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් නිසි ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් සුදුසුය.

කෙට්ටුව මට්ටු කරන්නට නම්

යම් පුද්ගලයකු ආහාර නිසා කෙට්ටු වන්නේ නම් එවැනි පුද්ගලයන්ගේ තරබව හා බලය වර්ධනය වන ආහාර වර්ග ලබාදිය යුතුය. එමෙන්ම ඉහත කී ගුණ ලබාදෙන ඖෂධ වර්ගද එම පුද්ගලයන්ට ලබාදිය යුතුය. වාජීකරණ ඖෂධ ශරීරය පුෂ්ටිමත් කිරීම සඳහා යොදාගත හැකි අතර කෙට්ටු බව මට්ටු කරන්නට පහත ඖෂධ වර්ග භාවිත කළ හැකිය.

• අමුක්කරා චූර්ණය එළකිරි සමඟ පානය කිරීම.

• අමුක්කරා චූර්ණය ගිතෙල් සමඟ පානය කිරීම.

• අමුක්කරා චූර්ණය තලතෙල් සමඟ පානය කිරීම.

මෙහිදී එළකිරි බීමට අපහසු අයට ගිතෙල් හෝ තලතෙල් සමඟ අමුක්කරා චූර්ණය පානය කළ හැකිය. එමෙන්ම නිෂ්පාදිත ඖෂධයන් ලෙස අශ්වගන්ධ චූර්ණය තේ හැඳි 1ක් උදේ හවස ගැනීමෙන් යහපත් ප්‍රතිඵල අත්පත් වේ. අශ්වගන්ධ තෙල් ආලේපයෙන්ද සිරුර පෘෂ්ඨිමත් වේ.

හේමමාලා කුමාරි රාජකරුණා

 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00