
මෝරා මොරගෙඩි තරම් මහ වැසි අහසින් පොළොවට ඇද දැමුවේය. පොළොව නියඟයෙන් ඉරිතලද්දී අහසට දෑත් දිගු කරමින් මහවැසි ඉල්ලා දෙවියන් යැද්දවුන්ගේ මුව මත සිනා මල් නොපිපුණේ අහස දුන් ඒ වැස්ස වැස්ස යැදි වැස්සට සිතැති මිනිසුන්ගේ ප්‍රාර්ථනාවට බර වැඩි වූ හෙයිනි. ගංගාවක තරම් වතුර ඉල්ලද්දී දෙවියන් වහන්සේ මහ මුහුදක තරම් වතුර දුන් හැටියකි. ඒ වතුර දෙරණ දොගොඩතලා ගලා ගියේ ලක්ෂ හයක් අනාථයන් බවටත් තවත් 84000ක් කඳවුරුවල ගාල් වූවන් බවටත් පත් කරවමිනි. එසේම තවත් දෙසීය ගණනක් මළවුන්ගේ ලෝකයට රැගෙන යාමටත් අනූ අටක් අතුරුදන්වූවන් බවට පත් කිරීමටත් ඒ මහවැස්ස සැහැසි විය.
ගංවතුර හා නායයාම් මොහොතින් මොහොත කන වැකෙද්දී මොහොතකින් සේසතම අහිමි වූ අනාථයන් බවට පත්වූ ජනතාවකගේ දුක වේදනාව අසරණ බව කොතෙක්දැයි මම නොලියමි. සංවේදී සෑම හදකටම එහි පෘථුල පරාසය නොදැනෙන්නට හැටියක් නැත. ස්වභාවධර්මයේ නීති රෙගුලාසීන්ට එරෙහි වීමේ ප්‍රකම්පනය ස්වභාව ධර්මය එක්වරම විදාහල මොහොතේ අපි පරිසරයට ආදරය නොකිරීමේ වරද ගැන පසුතැවෙන්නට ප්‍රමාද වූවා වැඩි යැයි සිතේ. ගම් බිම් යටකරමින් වසර ගණනාවකට පසු ගංවතුර හා නායයාම් පිළිබඳව ඛේදනීයම මතක රැන්දූ 2017 ගංවතුර ඛේදවාචකයේ කඳුළු කතන්දර මීතොටමුල්ල කුණු කන්දටත් වඩා උස යැයි සිතේ. මේ ඒ දහසක් කතන්දර අතරින් කිහිපයක් පමණි.
බුලත්සිංහල වියන්ගල්ල ප්‍රදේශයේ පුතණුවන් තිදෙනෙක් සහ එක් පුංචි දියණියක් සමඟ දිවි ගෙවූ ආබාධිත වූ පියාද එවැනි අවාසනාවන්ත මිනිසුන් අතර සිටින්නෙකි. තම ආබාධිත තත්ත්වය නිසා ඔහුට කරකියා ගන්නට දෙයක් නොතිබුණේය. වැඩිමහල් පුතණුවන් යම් කාර්යයක් සඳහා නිවෙසින් බැහැරව සිටිද්දී මහා පස්කන්දක් මේ නිවස මතට කඩා වැටුණේය. ආබාධිත තාත්තා තම දරුවන් බේරාගන්නට තැත් කළත් දරු සෙනෙහස පරදා ආබාධිතකම ඉස්මතු වන්නට ඇති. පුංචි කෙළි පැටික්කිය තම සොහොයුරන් දෙදෙනා සමඟ මහ පස් කන්දට එක් නිමේෂයකින් යටවිය.

ශිෂ්‍යත්ව විභාගයෙන් පසුගියදා ඉහළින්ම සමත් වූ පුංචි අශෝක් අද අම්මාත් තාත්තාත් අතහැර මොලොවින් සමුගෙන ගොස්ය. විසිහය වැනිදා උදෑසන සුපුරුදු පරිදි අශෝක් තම පාසැලට යාමට සූදානම් විය. පාසැලේ දක්ෂ ශිෂ්‍යයෙකු වූ අශෝක් පාසැල් නොගොස් ගෙදර රැඳීමට මැලි විය. බෙලිඅත්ත ප්‍රදේශයට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව අශෝක් ශ්යමන්තගේ ජීවිතය නතර කරාවි යැයි එදා ඒ අම්මාත් තාත්තාත් නොසිතුවෝය. හනි හනිකට උදේ කෑම වේල සාදා කෑම පෙට්ටියට දමා පුංචි පුතුට දී පාසැල් යැව් අශෝක් නැවත නිවසට ආවේ පුංචි මිනී පෙට්ටියකිනි.
උදේ ඉස්කෝලේ ගිය පුතා හවස ගෙදර අාෙව් පෙට්ටියකින්
අශෝක් තම පියාත් සමඟ නිවසේ සිට පාරට ආවේ පාසල් වෑන් රථයෙන් පාසැලට යාමටය. නමුත් ඒ වනවිටත් ඔවුන්ගේ සුළු ප්‍රමාදවීමක් හේතුවෙන් වෑන්රථය පිටව ගොසිනි. අශෝක්ගේ ඉරණම එතැනින්ම තීරණය විය. තම පියාගේ යතුරුපැදියේ නැගුණ අශෝක් පාසැල් වෑන් රථය හඹාගොස් ඊට ගොඩවිය. පියා නිවසට ගොස් ගතවූයේ සුළු මොහොතකි. පාසැලට යාමට නොහැකි වී නැවත නිවස බලා ආ අශෝක් නිවසට මීටර් දෙසීයක් පමණ තිබියදී මහ වතුර වළකට වැටුණේය. ජලයේ ගිලී හුස්ම හිරවීමෙන් මියයෑම ඉතා වේදනාත්මක අත්දැකීමක් යැයි කියති. ඒ වේදනාව විඳිමින් පුංචි අශෝක් මෙෙලාව හැර ගියේය. නමුත් ඔහුගේ පියාගේ පපු කුහරයේ හැමදාමත් රිදුම් දෙන සිදුවීමක් පැලපැදියම් වී තිබේ. අශෝක්ව යතුරුපැදියෙන් මාරයා ළඟට අරන් ගියේ මමද...? අද ඔහු තම හෘදසාක්ෂියට වග වෙමින් ඒ ප්‍රශ්නයට උත්තරයක් සොයයි.
තම පුංචි පුතා තමන්ගේ ඇස් මානයේදී ජීවිතය අතහැර ගිය පියෙකු කළුතර බුලත්සිංහල පාහියංගල ප්‍රදේශයේදී මුණගැසුණි. ළදරු පාසල් අධ්‍යාපනය ලැබූ පුංචි පුතා ඇඳි අවසන් ළදරු පාසැල් නිල ඇඳුම තවමත් පුතු එනතුරු බලා සිටී. අද තාත්තාට ඉතිරිව ඇත්තේ පුතුගේ මතකයනුත්, පුතුගේ කිරි සුවඳ රැඳි මෙම පුංචි නිල ඇඳුමත් පමණි. රාත්‍රී 3.30ට පමණ මහා පස් කන්දකට පාහියංගල ප්‍රදේශය එකවරම යට විය. එයට බොහෝ පිරිසක් යට වූහ. නමුත් බොහෝ දෙනෙකුගේ උදව්වෙන් වහ වහා පිරිස බේරා ගනිද්දී පුංචි පුතුගේ අත අල්ලා ගන්නට තාත්තාට හයියක් නොතිබුණේය. වර්ෂාවත් කළුවරත් නිසා තාත්තාට පුතුව නොපෙනී ගියේය. අවාසනාවකට තාත්තාට පුංචි පුතුව නැවත මුණගැසුනේ පසුවදා උදෑසනය. නමුත් ඒ වෙද්දී පුංචි ජීවිතේ පණනළ වර්ෂාවත් පස්කන්දත් යටකර හමාරය. පුතුගේ නිසල සිරුර තියන්නටත් ඉඩක් නොතිබුණි. අඩුම තරමේ පුංචි මිනී පෙට්ටියක්වත් සොයාගන්නට නොතිබුණි. අසල තිබුණ සුදු රෙදි කඩකින් ඔතා තාත්තාගේ අත් වාරුවෙන් ගැඹුරු නොවුණු පුංචි වළක ඔහු සැතපුණි. අද ඔහු මළවුන්ගේ ලෝකයේය. නමුත් සියල්ල අහිමිවුණ තාත්තා කෙනෙක් පුතුගේ සුවඳ රැඳුණු පුංචි ඇඳුම් කෑලි දෙකත් තුරුලු කරගෙන අදටත් හඬා වැළපෙන්නේය. අහස ගිගුරුමට වඩා ඒ තාත්තාගේ හදවතේ ගිගුරුම වැඩිය. ගුවන් හමුදාව විසින් බේරාගත් ගැබිණි මවක් ගුවන්යානය තුළදී දරුවකු බිහි කිරීමත් අඩුමාසෙන් බිහිවූ ඒ දරුවා මියයාමත් සංවේදී හදවත් හැඬවූ තවත් ප්‍රබල සිදුවීමක් විය.

රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම කොළඹෑව ගම්මානය අද වර්ෂාවෙන් යටවූ තවත් ප්රදේශයකි. පසුගියදා ෆයිනස් වගා භූමියේ අක්කර දහසකට ආසන්න කඳු කොටසක් කුකුළේ ගඟට ඇද වැටුණේය. මෙමගින් නිවාස කීපයක්ම මුළුමනින්ම විනාශ විය. මෙම සිදුවීමෙන් පසුව මළ සිරුර හතරක්ද තවත් කාන්තාවකගේ මළසිරුරක්ද සොයා ගත්තේය. නමුත් ඔවුන් වළ දමන්නට මිනී පෙට්ටියක්වත් අවට ගම්වාසීන්ට ඥාතීන්ට නොතිබුණේය. පාංශුකූලය සඳහා හාමුදුරුනමක් හෝ වඩම්මවා ගන්නට හැකියාවක් නොතිබුණි. අවසානයේදී මෙම මළසිරුර වළලා දමන්නට සිදුවූයේ පොලිතින් උරවල ඔතා පොළොවේ සාමාන්‍ය ප්‍රමාණයේ වළක් කපාය. අසරණ ලෙසින් ඔවුන් දෑස් පියා ගත්තේය. ඊටත් වඩා අන්ත අසරණ ලෙසින් ඔවුන් ජන්මලාභය ලද්දා වූ පොළොවේම මිහිදන් වූවෝය.
පනාවල තලපිටිය ප්‍රදේශයේ ජීවත් වූ අනුලාත්, ඇගේ දියණිය යමුනාත් මේ අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන් තවත් අවාසනාවන්ත දෙදෙනෙකි. පනාවල තලපිටිය කන්ද නාය යාමේදී මොවුන් සිටියේද අවදානම් තත්ත්වයෙන් බේරීමට ආරක්ෂිත කොටසකට දිව යන අතරතුරේදීය. මවත්, දියණියත්, පුතණුවනුත් අවදානම් කලාපයෙන් බේරීමට හනි හනිකට දිව ගියෝය. රබර් ගස් ගැලවී ඔවුන් ඉදිරියේ ඉදිරී වැටුණේය. ඒවායින්ද ඔවුන් බේරී දිව ගියෝය. නමුත් එක්වරම අනුලාගේ පුතණුවන්ට යමක් වැටහුණි. ඔහු මවටත් සොහොයුරියටත් බේරීමට යමක් කියන්නට සැරසුණා පමණි. මහා කන්ද නාය යාමක් සමඟ අම්මාත් සොහොයුරියත් ඔහුගේ ඇස් ඉදිරියේම මහ පස් කන්දට යට විය.
රොටුඹ ඌරව ප්‍රදේශයේ තොග බඩු වෙළඳ ව්‍යාපාරිකයකු වූ උපුල් බොහෝ බලාපොරොත්තු ඇතිව ජීවත්වූ දෙදරු පියෙකි. ශිරානිගේත් උපුල්ගේත් ආදරණීය දරුවන් වූ රොෂාන්, ධනුෂි මොවුන්ගේ දෙමහල් නිවසේ ජීවත් වූහ. ඉහළ මහලය තම ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් උපුල් වෙන් කරද්දී පහල මාලය ඔවුන්ගේ නිවහන වූහ. ඇදහැලුණු වර්ෂාවත් සමඟ මුළු ප්‍රදේශයම විදුලිය විසන්ධි විය. උපුල් තම ව්‍යාපාරික කටයුතුවලදී යොදාගත් විදුලි ජනන යන්ත්‍රය මගින් නිවසට ආලෝකය ලබාගත්තේය. සුපුරුදු පරිදි ඔවුන් එදිනද නින්දට ගියෝය. මේ අතර ඔවුන්ගේ ඥාති සොහොයුරෙක් එක් අවශ්‍යතාවයක් සඳහා උපුල්ගේ නිවසට ගොඩවැදුණේය. කතා කළේය. දොරට ගැසුවේය. සීනුව නාද කළේය. නමුත් නිවසේ දොර නෑරුණි. යම්කිසි සැකයක් මතුවීමෙන් එම ඥාති සොහොයුරා තව ගමේ කීපදෙනෙකු උපුල්ගේ නිවසේ දොර කැඩුවේය. එකම පවුලේ හතර දෙනෙකු ඉහළ මාලයේ අවසන් හුස්ම හෙලා තිබුණි.

විදුලි ජනන යන්ත්‍රයෙන් නැගුණ විෂ වායුව ආඝ්‍රාහණය කිරීමෙන් මෙසේ ඔවුන් එකටම මිය යද්දී එම විෂ වායුව ආඝ්‍රාහණය කළ දෙදෙනෙකුද සිහිසුන්ව ඇද වැටුණේය. වැස්සක් කළ හදියක්. එකම පවුලේ හතර දෙනෙකු එකවරම බිලි ගත්තේය.
මේ අතර අධික වර්ෂාවත් සමඟ රත්නපුර දිස්ත්‍රික්කයද දැඩි ලෙස මෙම ආපදා තත්ත්වයට මුහුණ දුන්නේය. බොහෝ පිරිසක් පාසල්වල තාවකාලිකව නතරව සිටිද්දී රත්නපුර සමන් දේවාලයේද පවුල් කීපයක් නතරව සිටියෝය. මොවුන් අතරින් කීප දෙනෙකු අසනීප වූහ. නමුත් අසනීපයකට ප්‍රතිකාර ගන්නට යන්නවත් නොහැකි තරමට ජල මට්ටම එන්න එන්නම ඉහළ ගියේය. සමන් දේවාලයේ සිටි අවතැන් වූ කාන්තාවකට අධික ලෙස උණ ගත්තාය. නමුත් බෙහෙත් පැත්තක් දෙන්නට වෛද්‍යවරයකු ළඟ නොසිටියේය. යන්නට බෝට්ටුවක් පවා නොතිබුණේය. ඇය වකුටු වී ගැහුණාය. අධික හිසරදයට ඔළුව අතින් තදකර සිටියාය. නමුත් රෝගී තත්ත්වය පහවී නොගියේය. ටිකින් ටික වතුර මට්ටම අඩුවෙද්දී කීපදෙනෙකු එක්ව ඇයව රෝහල් කරා රුගෙන යන්නට සැරසුණේය. නමුත් අවාසනාවක තරම ඇය උණ රෝගයෙන්ම අවසන් හුස්ම ගෙන තිබුණි.
මීනී පෙට්ටි නැතුව පාංශුකූලයක් නැතුව පස් දෙනෙක් එකම වළක වැළලුවා
නදීශා ප්‍රියදර්ශනී ඩෙංගු රෝගයෙන් පීඩා වින්දාය. වෛද්‍ය උපදෙස් වූයේ ඇයට විවේකය අත්‍යවශ්‍යම බවය. නදීශා ජීවත්වූයේ රත්නපුර වැලිමලුව ප්රදේශයේය. දරු තිදෙනෙකුගේ මවක් වූ නදීශාට වෛද්‍ය උපදෙස් මත විවේක ගැනීමට හැකියාවක් නොතිබුණි. ඒ දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සි වන හෙයිනි. මේ නිසා නදීශා ඇතුළු දරැ තිදෙනාම නදීශාගේ මව වන බේබිනෝනාගේ නිවසට ආවේ ඩෙංගු රෝගය නිසා විවේක ගැනීමටය. යසිඳු, තලිදු, හසිනි, ආච්චිඅම්මාගේ නිවහනේ සතුටින් කාලය ගත කළෝය. බේබිනෝනා පදිංචිව සිටියේ කිරිබත්ගල ප්රදේශයේය. නමුත් නදීශාට ජීවිත කාලයටම විවේකයක් ලැබුණි. කිරිබත්ගල කුරහන්කන්ද පසුගියදා නාය ගියේය. පුංචි පැටව් තිදෙනාත්, ආච්මමාත්, තවත් ඥාති පුතකුත් පස්කන්දට යටවූහ. ඩෙංගු රෝගයෙන් පීඩා විඳි නදීශා ඩෙංගු මාරයාට ගොදුරු නොවී කඳු මාරයාගේ ගොදුරක් බවට පත්විය.
ගුවන් හමුදා බලපන්ති සැරයන් වයි.එම්. ශාන් යාපාරත්න තම රාජකාරි අකුරටම ඉටුකළ නිලධාරියෙකි. ඔහු ගිනි නිවාරණ අංශයේද සාමාජිකයෙකි. පසුගියදා ගාල්ල නෙළුව ප්‍රදේශයේ දූලිඇල්ල තේ කම්හලද කඳු යායට යටවිය.
මෙම අවදානම් අවස්ථාවේදී විපතට පත්වූ අයව බේරාගැනීමට හෙළිකොප්ටරය ආධාරයෙන් යාපාරත්න දූලි ඇල්ල තේ කම්හල අසල ඉහළ අහසේ සැරිසැරෑහ. ඔහු ඥානවතීව කේබල් එකේ ආධාරයෙන් ඉහළ යානයට ගොඩ බැස්සුවාය. ඒ වනවිටත් පස් කන්දට යටවීමෙන් ඥානවතීව දැඩි ලෙස තුවාල වී සිටියාය. යාපාරත්න නැවතත් කේබලය ආධාරයෙන් පහළ බැසීමට උත්සාහ ගත්තේය. නමුත් අවාසනාවකි. යාපාරත්නගේ කේබලය කැඩී ඔහු මහ පොළොවට වැටුණේය. දැඩි ලෙස තුවාල වූ යාපාරත්න ඉක්මණින්ම රෝහල් ගත කළත් අවසානයේදී ශාන් යාපාරත්න ආදරණීය බිරිඳත් පුංචි අනුසර පුතත් මොලොව තනිකර ජීවිතයෙන් සමුගත්තේය. අද කාංචනාට සැමියා අහිමිය. අනුසරට පියා අහිමිය. ජීවිතය අහිමි වන්නට ගිය ඥානවතීගේ ජීවිතය හිමිකරදී මේ වීරෝධාර සෙබළා තමා සැබෑ විරුවෙක් බව පසක් කරමින් දැයෙන් සමුගත්තේය.
මා මිය යන්නේ මවිසින් නිවමින් සිටි ගින්නකට හසු වී නම් පසුතැවිලි නොවන්න.
යාපාරත්නගේ මුහුණුපොතේ සඳහන් වූ එවදන් අද නැතත් දවසක අනුසරට තාත්තා මෙන් හිතේ හයියක් ඇති තරුණ පුතෙකු වන්නට පාර කියා දෙනු නොඅනුමානය.

තමන්ගේ ජීවිතවල අවදානම නොතකා පුංචි දරුවකුත් සීයා කෙනෙකුත් ඔවුන්ගේ අහිංසක සුනඛයකුත් බේරා ගන්නටද පසුගියදා දිනක රොමේෂ් නලින්ද ඇතුළු නාවික හමුදාවේ කීප දෙනෙකුට හැකියාව ලැබුණි.
දිඹුලාගලින් රොමේෂ් ඇතුළු පිරිස බෝට්ටුවක් ආධාරයෙන් පානීය ජලය සහ පිසූ ආහාර රැගත් කෑම රැගෙන ගිංගඟ හරහා ගමන් කළේය.
එක්වරම ඔවුන්ට පුංචි දරුවකුගේ කෑ ගැසීමක් ඇසුණි. සැඩ පහරේ සද්දය පරදා දරුවාගේ කෑගැසීම ඔවුන්ට ඇසුණි. ගඟට නැමී තිබූ අත්තක කුඩා දරුවාත් සීයාත් එල්ලී සිටියෝය. දරුවාගේ එක් පාදයක සුනඛයා එල්ලී සිටියේය. වහා ක්‍රියාත්මක වූ රොමේෂ් ඇතුළු කණ්ඩායම බොහෝ අපහසුවක් ගෙන ඔවුන් සිටි තැනට ළඟා විය. මුලින්ම සුනඛයා බෝට්ටුවට ගත්තේය. දෙවනුව සීයා බෝට්ටුවට ගත්තේය. අවසානයේදී පුංචි පුතාවද ඔවුන් නිරුපද්‍රිතව බෝට්ටුවට ගත්තේය. දරුවාගේ කකුල පුරා කූඩැල්ලන් එල්ලී සිටියේය.
ජීවිතයත් මරණයත් අතර සටන් වැදි ජීවිත තුනක් නාවික හමුදාවේ මැදිහත්වීමෙන් බේරාගන්නට හැකිවිය. දරුවා එකදිගට ඇඬීය. මරණය පෙනි පෙනී ජීවිතය දකින්නට හැකිවූ කෙනෙකුගේ හදවතේ තිගැස්ම දන්නේ එවන් මොහොතකට මුහුණ දුන් කෙනෙකු පමණි. අවසානයේදී බෝට්ටුව ආපස්සට හරවා ශ්‍රී සුදර්ශනාරාමයට රැගෙන ගොස් බාරදී නැවත තම ගමන යන්නට තරම් නාවික කණ්ඩායම මානුෂික විය.
දින ගණනක් තුළදී මහවැස්ස කළ විපත මෙතෙකැයි මෙපණකැයි වදන් වියමනකට ලඝුකරනු කෙලෙසද? ගංවතුරින් - නායයාමෙන් වූ ව්‍යසනයේ කඳුළු මතක එපමණකට සුවිසල්ය. මේ මහපොළොවේ සහෝදර ජනතාවක් පණපිටින් වැළලුණු, උන් වෙනුවෙන් ජීවත්වන්නවුන්ගේ ළය සිසාරා නැගුණු සුසුම්සර දේශයක් කැළඹූ මතක අපමණය. දින ගණනාවක් ඇඳිවත පිටින් වතුර බෝතලයක් බත් පැකට් එකක් නොලැබ හීල්ලූ ජනතාවද එපමණකටම අපමණය.
ඒසා ජනතාවක් සොබාදහමේ අණසක තුළ අන්ත අසරණ වෙද්දී දෙවිවරු වෙසින් පිහිටට ආවේද ජාතියේ මුර දේවතාවුන් වූ විරුවන්මය. ආත්ම පරිත්‍යාගයෙන් ත්‍රිවිධ හමුදා විරුවන් මේ ඛේදවාචකයේදී කළ මෙහෙයේ වපසරිය කොතෙක්දැයි කීම අසාධාරණ තරමට මහමෙරක් තරම් වගකීමක් ඔවුහු දේශයේ ජනතාව වෙනුවෙන් දෙවුර දැරුවෝය. රජයෙන් සහ වගකිව යුතු ඇතැම් පාර්ශවවලින්ද දේශපාලනඥයන්ගෙන්ද ඉටුවිය යුතු යුතුකම්, වගකීම් මඟ හැරෙද්දී පාලිත තෙවරප්පෙරුම වැනි ජනතාවාදී දේශපාලනඥයකුගෙන් ඉටුවූ මෙහෙවරද ප්‍රශංසනීයය. තවද මෙරට විද්‍යුත් නාලිකා සහන යාත්‍රා ක්‍රියා කරමින් ජනතාවට ලබාදුන් සහනාධාර නොවන්නට ගංවතුරින් විපතට පත් ජනතාවගෙන් වැඩි කොටසක් අදටත් බඩගින්නේය.සැබැවින්ම රජයක් දැරිය යුතු වගකීම, රජයක් කළ යුතු යුතුකම කරට ගනිමින් සහනාධාර සැපයීමේ කර්තව්යයයට ඒ මාධ්‍ය ජාල ප්‍රබල ලෙස උර දුන්හ. මේ රටේ ජනතාවද තමන්ට හැකි උපරිමයෙන් සහනාධාර ලබාදෙමින් විපතට පත් සහෝදර ජනතාව වෙනුවෙන් මාහැඟි කාර්යයක් ඉටුකළහ. ගංවතුර තරමටම ගලාගිය මනුෂ්‍යත්වයේ ජල දහරාවත් නාය නොගිය ශ්‍රී ලාංකික මනුෂ්‍යත්වයත් වෙනුවෙන් දේශයේ උත්තමාචාරය පිරිනැමීමටද කඳුළු මතක මැද්දෙන් අපි නොපැකිළෙමු.
♦ දිශානි ජයමාලි කරුණාරත්න