2017 ජුනි 03 වන සෙනසුරාදා

බෝ නොවන ලෙඩ ඇඟට එන අපේ වැරදි වැඩ

 2017 ජුනි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 5867

නිරෝගී භාවයේ අගය කෙතරම් දැයි යමකුට වැටහෙන්නේ රෝගී වූ අවස්ථාවකදීය. අතීතයේ නිරෝගී ජනතාවක් ලෙස විරාජමාන වුවද පසුකාලීනව අප විසින්ම සිදුකළ ඇතැම් ක්‍රියාකාරකම් නිසා අද අපේ රටේ ජනතාවගෙන් බහුතරයක්ම පසුවන්නේ රෝගී තත්ත්වයකය. දියවැඩියාව, හෘද රෝග, වකුගඩු රෝග ඇතුළුව තවත් බෝවන රෝග බොහොමයක්ම පිළිලයක් තරමටම අද වනවිට මිනිස් ජීවිතවලට විනකරන අතර මේ නිසාම වටිනා ජීවිත දහස් ගණනක් රටට අහිමිවීද ඇත. අපේ වෙදකම ඔස්සේද අවස්ථා ගණනාවකදීම අප එවැනි රෝග සම්බන්ධයෙන් කතා කළේ ඒ සම්බන්ධයෙන් අපේ පාඨකයන්ට කිසියම් ආකාරයක දැනුම්වත් බවක් ලබාදෙන්නටය. ඒ අනුව අද අප අවධානය යොමුකරන්නේ බෝ නොවන රෝග මෙතරම් ව්‍යාප්තවීම සඳහා බලපෑ අපගේ ක්‍රියාකාරකම් මොනවාද යන්න සාකච්ඡා කිරීමටය. මේ සම්බන්ධයෙන් අපව දැනුම්වත් කරන්නේ ආයුර්වේද වෛද්‍ය සුජීව විතානගේ මහතායි. 

බෝ නොවන රෝග ශීඝ්‍රයෙන් පැතිරීයාම මේ වනවිට ලංකාව මුහුණපා සිටින ප්‍රධානතම ගැටලුවක්. බෝ නොවන ඝනයට අයිතිවන කොලෙස්ටරෝල්, හෘදරෝග, වකුගඩු රෝග, අක්මාරෝග ආදිය ගන්න පුළුවන්. මීට දශක කිහිපයක් ආපස්සට ගියාම අපේ රටේ මේ තරම් ප්‍රමුඛව මේ තත්ත්වය දකින්නට ලැබුණේ නෑ ඉතාමත් සුළු වශයෙන් තමයි අපිට හඳුනාගත හැකි වූයේ මෙවැනි රෝගය සම්බන්ධයෙන්. එතකොට ඇයි අපිට මෙහෙම වුණේ?

අතීතයේ ඉතාමත්ම නිරෝගී ජන සමාජයක් විදිහට තිබුණු අපේ අතීත ජන සමාජය ඇයි අතිශයින්ම හානිකර විදිහට මෙවන් ඉරණමකට ගොදුරු වුණේ. අපි විශේෂයෙන්ම අවධානය යොමුකළ යුත්තේ මෙම කාරණාව පිළිබඳවයි.
‍මෙම කාරණාව සම්බන්ධයෙන් සමාජ විද්‍යාත්මක පැත්තෙන් වගේම පාරිසරික සහ මේ හා සම්බන්ධයෙන් සියලු කාරණා සම්බන්ධයෙන් යම් අධ්‍යයනය කිරීමක් කළ යුතු වෙනවා. ඒකෙදි අපි දන්නවා ආයුර්වේද වෛද්‍යවරයෙක් විදිහට නිරෝගීකමේ තිබෙන වැදගත්කම්. මොකද ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මූලික අරමුණ නිරෝගී පුද්ගලයාගේ නිරෝගීකම ආරක්ෂා කිරීමයි. දෙවනුව රෝගී පුද්ගලයන් එයින් මුදාගැනීම, පළමුවෙන්ම අපි සාකච්ඡා කරන්නේ නිරෝගීකම කියන්නේ මොකක්ද? නීරෝගීකම ආරක්ෂාකර ගැනීමේ තියෙන වැදගත්කම මොකක්ද හා කොහොමද අපි නිරෝගීකම ආරක්ෂා කර ගන්නේ යන්න පිළිබඳවයි. ආයුර්වේදයෙන් අපි සපයන්නේ ශක්තිවන්ත ඉතා හොඳ පුරුෂයෙක් මේ සමාජයට ඇතිකරන්නේ කොහොමද කියලා. අතීත සමාජය තුළ මේ සඳහා නිවැරදි විදිහට ආයුර්වේද වෛද්‍ය ක්‍රමය භාවිත වුණා. නමුත් වර්තමානය වනවිට මේ තත්ත්වය මුළුමනින්ම පාහේ වෙනස් වෙලයි තියෙන්නේ. 

දූෂිත පරිසරය රෝග බොහොමයකට හේතුවක්

බටහිර රටවලින් අපේ රටවලට යම් යම් දේ ලැබෙද්දී තෝරාබේරා ගැනීමකින් තොරව ඒ දේවල් ගෙඩි පිටින්ම ලබාගැනීමට අපගේ රටවල පුරුද්ද වී තිබිණි. මේ අනුව කිසිදු සෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව අපේ සංස්කෘතියට, සදාචාරයට, අපේ පරිසරයට, අපේකමට කිසිදු අදාළත්වයක් නොමැති බාහිර දේ අපගේ ජීවිත වලට ඇතුළු කරගන්නා ලදී. එය අප අපටම සිදුකරගත් විශාල හානියකි. මෙය වසර තිහකට පෙර කාලවකවානුව ගතහොත් අපේ රටේ බොහොමයක් ජනතාව කෘෂිකාර්මික, බොහොම තැම්පත් ජීවිත ගතකරන ලද බොහෝවිට සරළ දිවි පෙවෙතකට හුරු වූ පිරිසකි. එ නිසාම අපේ පරිසරයද ඉතාමත් පිරිසිදුව පැවතිණි. රටේ ඕනෑම තැනකින් වතුර උගුරක් පානය කිරීමේ හැකියාව එවක පැවතිණි. අද වනවිට එම පරිසර තත්ත්වය මුළුමනින්ම උඩුයටිකුරු වී ඇත. ජනගහණය ඉහළ යාම, ගොඩනැගිලි ඉදිවීම, කාණු පද්ධති සකස්වීම මෙම සෑම දෙයක්ම අපිරිසුකමේ උපරිමයට ගමන්කර ඇත. මෙලෙස පරිසරය අපිරිසිදු වීම විශේෂයෙන්ම ජල පෝෂක අපිරිසිදුවීම බොහොමයක් ලෙස රෝග සඳහා හේතු සාධක වේ. 

සරල ආහාර රටාවෙන් මිදීම නිසා ගැටලු රැසක්

දීර්ඝ කාලයක් තිස්සේ අපේ පැරැන්නන් හුරුවී සිටියේ සරළ ආහාර රටාවකටය. එහෙත් කාලය ගතවීමත් සමඟම ආහාර රටාවද වෙනස් වූ අද වනවිට බොහෝ දෙනකු නැඹුරුව සිටින්නේ කෘත්‍රිම වර්ණක හා ක්ෂණික ආහාර වෙතයි. රසකාරක, වර්ණක යෙදූ මෙවන් ආහාර හුදෙක් පංචේන්ද්‍රියන් පිනවීම සඳහා නිර්මාණය වූ ආහාර විනා එයින් ලැබෙන කිසිදු එමෙන්ම අධික සීනි, අධික තෙල්, අධික පිටි සහිත ආහාර සිරුරට අහිතකර වන අතර එවැනි ආහාර නිරතුරුවම පරිභෝජනය කිරීමෙන් සිදුවෙන්නේ අප විවිධ වූ ලෙඩ රෝග සඳහා යොමුවීම පමණකි. එය සෘජුවම බලපාන්නේ බෝ නොවන රෝග කෙරෙහිය. 

ගුණධර්ම දියුණු කර ගැනීම තුළින් නිරෝගී දිවියකට

අතීතයේදී මනුෂ්‍යත්වයට ගරැකරන ඉහළ ගුණවගාවකින් යුත් සමාජයක් අපට පැවතුණි. ආගන්තුක සත්කාරය වේවා අන් කුමන ආකාරයකින් වුවද ලෝකයේ අනෙකුත් රටවල් අතර බැබලෙන්නට තරම් හැකියාවක් පැවතිණි. එහෙත් අද වනවිට සමස්ත සමාජයම ගුණාත්මක අතින් පිරිහීමකට ලක්ව ඇත. අද ඇත්තේ සියල්ල මුදල් මතම පදනම් වූ සමාජ ක්‍රමයකි. සෑම දෙයක්ම මුදල් මත තීරණය වෙයි. අපට හොඳ ආගමික පසුබිමක් තිබිණි. එවැනි දේ අපේ නිරෝගීකමට වැදගත්ය.
මනස පිරිසිදු නැත්නම් අපි රෝගී වෙමු. කය පිරිසිදු නැත්නම් ඒත් අපි රෝගීන්ය. පරිසරය අපිරිසිදු නම් එවිටද අප රෝගීන් බවට පත්වේ. සැබවින්ම මානසික පිරිසිදු බව, කායික පිරිසිදු බව හා පාරිසරික පිරිසිදු බව යන මේ සියල්ලෙන් සංකලනයක් ලෙසටයි සමස්ත නිරෝගීභාවයද රැකෙන්නේ. අද අපට මේ ආකාරයට රෝගවලට මුහුණපාන්නට සිදුව ඇත්තේ මේ සියල්ල දූෂණය වීම නිසාය. එසේ නම් අපි ඒ දූෂණය වීමට හේතු සොයාගත යුතුය. මේ සඳහා එක් නිදසුනක් ලෙස වකුගඩු රෝගය ගත හැකිය.

සමාජයට බහුලවම විනකරන වකුගඩු රෝගය

අද සමාජයේ බරපතළම ගැටලුවක් බවට පත්ව ඇත්තේ වකුගඩු රෝගයයි. මෙම රෝගය හටගැනීම සම්බන්ධයෙන් විද්වත් මත, ආයුර්වේද වෛද්‍ය මත හා බටහිර වෛද්‍ය මතද ඉදිරිපත් වී ඇති අතර මෙහිදී පොදු කාරණාව වශයෙන් ගත හැකි වන්නේ මිනිස් ක්‍රියාකාරකම් රෝගය හටගැනීම කෙරෙහි ඍජුවම බලපාන බවය. මිනිසාගේ වැරදි ක්‍රියා නිසා ඒවායෙහි ප්‍රතිඵලයක් ලෙසයි මෙවැනි රෝග හටගන්නේ.

මෙම රෝගය මේ වනවිටත් රට වටාම පැතිර යමින් පවතින අතර උතුරැ නැගෙනහිර ප්‍රදේශ, උතුරුමැද ප්‍රදේශ හම්බන්තොට ප්‍රදේශ ඇතුළුව තවත් ප්‍රදේශ බොහොමයකම පැතිර ඇත. සාමාන්‍ය අවස්ථාවේ අපි හඳුනාගන්නා වකුගඩු රෝගවලට අමතරව කාලයක් තිස්සේ පවතින දියවැඩියාව වැනි රෝග නිසාද වකුගඩු රෝග හට ගනී. රජරට වකුගඩු රෝගය හටගන්නේ ඊට වෙනස් වූ තත්ත්වයක් මතය.

පරිසරය දූෂණය නිසා වකුගඩු ලෙඩවේ.

පරිසර දූෂණය සඳහා විවිධ හේතු බලපාන අතර අප අධි භාවිතයෙන් රසායනික ද්‍රව්‍ය යොදාගැනීමද පරිසර දූෂණයට ප්‍රබල සාධකයක් වේ. කෘෂි කර්මාන්තයේදී වල් නාශක, කෘමිනාශක ලෙස හා පොහොර ලෙස ආකාර කිහිපයකින්ම කෘමිනාශක අධි භාවිතය සිදුකෙරේ. සෙවිල්ලකින් බැලිල්ලකින් තොරව, පාරිසරික සාධකයන්හි තක්සේරැවක්ද නොමැතිව හුදෙක් මුදල් පමණක් මත අධික විෂ සහිත ද්‍රව්‍ය මෙරටට ගෙනැවිත් අහිංසක ගොවීන්ගේ අතට එය පත්කර ඇත. ගොවීන් මේවා බහුල ලෙස භාවිත කළ අතර ඒ නිසාම එම ගොවිබිම් ආශ්‍රිත ප්‍රදේශවල ජල පෝෂක දැඩි ලෙස දූෂණයට ලක්විය. මෙය මිනිසුන් විසින්ම ඇතිකර ගන්නා ලද විනාශයකි.

වකුගඩු රෝගය මඩින්නට පිරිසිදු දිය බිඳක්

රටට බත සපයන ගොවීන්ගෙන් අද වැඩි පිරිසක්ම සිටින්නේ රෝගී භාවයට පත්වය. විශේෂයෙන්ම උතුරුමැද ගොවි ජනපද ආශ්‍රිත ප්‍රදේශවල අවම වශයෙන් පවුලක එක් පුද්ගලයකු හෝ වකුගඩු රෝගය නිසා පීඩාවට පත්ව සිටින අතර මේ නිසාම ඔවුන්ගේ පවුල් සංස්ථාව අඩාල වී ඇත. රජයෙන්ම මෙම රෝගීන්ගේ ප්‍රතිකාර වෙනුවෙන් විශාල මුදලක් වැයකරයි. මෙහිදී වැදගත් වන්නේ තවත් රෝගීන් බිහිවීම වළක්වා ගැනීමයි. ඒ සඳහා ඔවුන්ට අවැසි වන්නේ පිරිසිදු පානීය ජලයයි. වකුගඩු අකර්මණ්‍ය වීම සඳහා තවත් හේතුද බලපාන අතර එයින්ද ප්‍රධානතම හේතුව වන අප විසින්ම සිදුකරන පරිසර විනාශයන් නවතා දැමිය හැකි නම් රෝගී වන ප්‍රමාණය බෙහෙවින්ම අවම කර ගැනීමේ හැකියාව ඇත. යම් හෙයකින් මෙම ප්‍රදේශවල ජීවත්වන ජනතාවට පිරිසිදු ජල පහසුකම් ලබාදීම හා රසායනික ද්‍රව්‍ය භාවිත කිරීම අවම කිරීම යන කරැණු හරහා ඉදිරියේදී වකුගඩු රෝග සම්බන්ධයෙන් අපට අසන්නට නොලැබෙන තත්ත්වයක් පවා ඇතිවන්නට ඉඩකඩ ඇත.

වකුගඩු රෝගයට දෙවැනි නොවූ පිළිකාව

වකුගඩු රෝගය තරමටම බරපතළ වූ තවත් රෝගී අවස්ථාවන් කිහිපයක්ම ඇතිවීම සඳහාද වැඩි වශයෙන්ම බලපාන්නේ අපගේම ක්‍රියාවන්ය. මෙයින් ප්‍රධාන වන්නේ පිළිකා රෝගයයි. පිළිකා රෝගය මේ වනවිට ලෝකය පුරාම වසංගතයක් බවට පත්ව ඇත. බටහිර රටවල් අද වනවිට මෙම රෝගය වළක්වා ගැනීමට කටයුතු කරමින් සිටින්නේ එය හටගැනීම සඳහා බලපාන හේතූන් හඳුනාගත හැකි බැවිනි. එනම් පරිසරය දූෂ්‍ය වීම එහි ප්‍රධාන සාධකයයි.

අපි ජීවත්වන මහපොළොව, හුස්ම ගන්නා වාතය, බීමට ගන්නා ජලය, අප ලබාගන්නා ආහාර සහ අප අතපත ගාන සියලු දේ අද ඇත්තේ දූෂිත තත්ත්වයකය. ඒවා බොහෝමයක්ම පිළිකා කාරකයන් බවටද පත්වී ඇත. එසේ වී ඇත්තේ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසාය. බොහෝමයක් රටවල චර්ම පිළිකා බහුල වන අතර එයට හේතු වී ඇත්තේ ඕසෝන් ස්ථරය විනාශය නිසා පාරජම්බුල කිරණ කෙළින්ම සිරුරට පතිත වීමයි. එසේම වර්තමානයේදී භාවිතා කෙරෙන නොයෙකුත් විකිරණශීලී ද්‍රව්‍යයන්ද පිළිකා කාරක වන අතර විකිරණශීලී ද්‍රව්‍ය වැඩි වශයෙන් භාවිත කරන පිළිකා රෝහලේ වෛද්‍යවරැන් පවා විකිරණශිලී ද්‍රව්‍ය ශරීරගත වීම නිසා රෝගී වූ අවස්ථා ඇත. අපේ පහසුව, යහපත මෙන්ම අපගේ සුඛෝපභෝගී ජීවිත සඳහා භාවිත කෙරෙන ක්‍රියාකාරකම් පෙරළා අපට හානිකර බවට පත්ව ඇත්තේ මේ ආකාරයටය.

යහපත් ජීවිතයෙන් බොහෝ රෝග වැළකේ

අපගේ සිරුරේ ඇති ජීව සෛලවල බලය සම්බන්ධයෙන් බොහෝ දෙනකු අවධානය යොමු නොකරන්නේ ඒ සම්බන්ධයෙන් ඇති නොදැනුවත්ම නිසා වන්නට පුළුවන. එහෙත් අපගේ සිරැරේ ඇති ඒ අප්‍රමාණ බලය හඳුනාගෙන එම ශක්තිය ප්‍රයෝජනයට ගන්නේ නම් බොහෝ රෝගවලින් මිදීමේ හැකියාව ඇත. යහපත් ජීවිතයක් පවත්වා ගැනීම හරහා මෙම ශක්තිය දියුණුකර ගත හැකි වන අතර බුදුදහමට අනුව යහපත් ජීවිතයක් පවත්වා ගැනීම හරහා මෙවැනි ලෙඩ රෝග හටගැනීමෙන් බොහෝදුරට වැළකී සිටිය හැක.

වසංගතයක් වූ හෘද රෝග

හෘද රෝග අද වනවිට ලංකාවේ වසංගතයක් තරමටම ව්‍යාප්ත වී ඇති අතර එසේ වී ඇත්තේ අපේ ජීවන රටාවම අප විසින් වෙනස් කරගෙන ඇති නිසයි. කෑම බීමවල සිට අප කරන කියන දේ මානසිකත්වය සහ පාරිසරික කටයුතු යන මේ සියල්ලම මෙවැනි රෝග තත්ත්ව හට ගැනීම සඳහා බලපායි. අධික තෙල් සහිත ආහාර අනුභවය, ව්‍යායාමයෙන් තොරවීම, අධික මානසික ආතතිය, දුම්පානය, මත්පැන් පානය ආදිය මෙවැනි රෝග සඳහා හේතු සාධක වන අතර අධික තරහ, ක්‍රෝධය, වෛරය, චිත්ත පීඩාවලින් පීඩා විඳීම ආදියද හෘද රෝග සඳහා මංමාවත් සලසයි. මෙවැනි හේතු නිසා අපගේ වැඩිහිටි ජනගහනයේ බහුතරයක්ම මැදි වයස වනවිට මෙවැනි රෝග සඳහා භාජනය වීම නිරන්තරයෙන්ම සිදුවේ.
මේ ආකාරයට දියවැඩියාව, කොලෙස්ටරෝල්, අක්මා රෝග ඇතුළු තවත් රෝග ගණනාවකටම හේතු වන්නේ අපගේ ජීවන ක්‍රියාදාමයන්මය.

රෝගවලින් මිදෙන්නට නම්

අප අවට පරිසරය අතිශයින්ම දූෂණය වී ඇති මෙවන් අවස්ථාවක මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවන බෝ නොවන රෝගවලින් මිදෙනවා යන්න ලෙහෙසි පහසු කටයුත්තක්ද නොවේ. එහෙත් ලෝකයේ බලවත් රටවල් පවා අද වනවිට මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර ඇති අතර ඉදිරියේදී ඇතැම් විට යහපත් ප්‍රතිඵල ඇතිවීමට ඉඩකඩ ඇත. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලබාගෙන අප අවට පරිසරය දූෂ්‍ය වීමකින් පවත්වා ගැනීමට හැකියාව ඇත්නම් හා අපගේ ජීවන පුරැදු යහපත් මට්ටමකින් පවත්වා ගැනීමට හැකියාව ඇත්නම් බොහෝදුරට මෙවැනි රෝගී තත්ත්වයන්ගෙන් වැළකීමට ඉඩ සැලසෙනු ඇත.

හේමමාලා කුමාරි රාජකරුණා

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:00