2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා

ටයිප් රයිටර් සහ කොපි රයිටර්

 2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 04:00 150

කරූ මිය ගොසිනි. 

ඔහු සිංහල ටයිපිස්ට්වරුන්ගේ පරපුරේ අන්තිම පුරුකකි. 

බොහෝ විට ටයිපිස්ට්ස්ලා ගැහැනුය. 

එහෙත් පිරිමින්ද කිහිප දෙනෙක් සිටි අතර, කරූ ද ඉන් කෙනෙකි.

කරූ මා සමඟ සේවය කළේ ප්‍රසිද්ධ වෙළෙඳ ප්‍රචාරණ ආයතනයකය. 

ඔහු කිසිවකුට වරදක් නොකළ අහිංසක පුද්ගලයෙකි.

එහෙත් තම ටයිප් රයිටරයට වෙනත් අයකු අත තැබීම ඔහුට රිස්සුවේ නැත. ආයතනයේ සිටි එකම (සිංහල ටයිපිස්ට්) වූ ඔහු වෙනත් අයට සිංහල යතුරු ලියනය උගැන්වීමට කැමැති වූයේද නැත. ඒ නිසා කරූ නිවාඩු ගත් දිනවලදී සිංහල පිටපත් අංශය (කොට උඩ) ය. 

මා යතුරු ලියනය නොදැන සිටි නමුත්, එක අතකින් (ඇඟිල්ලකින්) පේළියක් දෙකක් කොටා ගැනීමට සමත්ය. එහෙයින් කරූ වැඩ ඇරී ගිය පසු මම ඔහුගේ ටයිප් රයිටරයේ වැස්ම ගලවා තබා මොන මොනවා හෝ කොටාගමි. (රූකාන්ත ගුණතිලක ගයන ජනප්‍රිය ගීතයක් වන (නිහඬ මාවතේ) ද මා එසේ කෙටූ ගීයකි.) 

වැඩේ නිමවූ පසු ටයිප් රයිටරය හරි හැටි වසා තැබීම මා අතින් සිදුවන්නේ නැත. 

පසු දින උදෑසන එන කරූට ටයිප් රයිටරය දැක යකා නගී.

''ඊයෙ කවුරු හරි මේකෙන් වැඩ කරලා.'' ඔහු වටපිට බලයි.

මම ඉවත බලමි.

රයිටරය පාවිච්චි කර ඇත්තේ මා බව ඔහු දනී. එහෙත් කිසිවක් නොකියයි. පැයකින් දෙකකින් කරූ යළි කූල්ය.

කරූ තම ටයිප් රයිටර් ඒකාධිකාරය පවත්වාගෙන ගියේ වෙනත් කෙනකු විසින් තම බඩ රස්සාවට කෙළීය යන බිය නිසා බව පැහැදිලිය.

කරූගේ ටයිපින් පට්ට නීට්ය.

ඔහු සිංහල බසද හොඳින් දැන සිටියෙන්, අපගේ අත්පිටපත්වල වැරදි පවා සනසාලීය. මොරටුවේ උපන් පීරිස් කෙනකු වූ නමුදු, කරූ අඩි පුඩි ගසනවා නම් මා දැක නැත. අප ආයතනය තුළ මද්‍ය මිත්‍ර සමාජයක් ද තිබුණු නමුත්, කරූ වැඩ ඇරුණු වහා මොහොතක්වත් පමා නොවී ගාලු පාරේ බස් නැවතුමට යයි.

කරූගේ මව හෝ පියා මියගිය අවස්ථාවක ඔහු ඒ බව මට දුරකථනයෙන් දැනුම් දුන්නේය.

''ආදාහනය හතරට'' ඔහු කීය.

''හරි. අපි එනවා. කරූලගෙ ගෙදරට එන විදිහ කියන්න.'' ඔහු කෙටියෙන් විස්තරයක් කළේය.

මට මතක තිබුණේ ලී මෝලක් ළඟින් දකුණට හැරී එන විට නිවෙස හමුවන බව පමණි.

කන්තෝරු ජීවිතයේදී මළ ගෙයක් යනු මඟුල් ගෙයකි. අප එහි යන්නේත් එන්නේත් මත්ව ගී ගයමිනි. මළගෙය ඈතින් දුටු වහාම, ගායනය නවතා දුක් මූඩ් මවාගනිමු.

මා ඇතුළු කිහිප දෙනෙක් කරූගේ ඥාතියාගේ මළගෙදර ගියේ වෑන් රථයකිනි.

මොරටුවේ දකින දකින තැන ලී මෝල්ය. අපිට කිහිප වරක්ම පාර වැරදුණි. ඒ කාලේ හෑන්ඩ් ෆෝන් නැති බැවින් කරූට ඇමතීමට ද නොහැකිය. අන්තිමේදී අප ගියේ ගමේ සුසාන භූමියටය. එවිට සියලු කටයුතු අවසන්ය.
කොම්පියුටරය පැමිණීමෙන් පසු ටයිප් රයිටරය ද අභාවප්‍රාප්ත විය. 

ටයිප් රයිටරය දෑතින් වැළඳගෙන සිටි කරූ වැනි ටයිපිස්ට්ලාට මෙන්ම කොපි රයිටර් නොහොත් වෙළෙඳ ප්‍රචාරණ පිටපත් ලියන්නන්ට ද කොම්පියුටරයට මාරුවීමට සිදුවිය. ආර්ට් බෝඩ් නමැති පුවරු ඉදිරියේ සිටි චිත්‍ර ශිල්පීන්ට ද පින්සල පසෙක තබා කොම්පියුටරයේ මවුසයට හුරුවන්නට විය. එසේ කළ නොහැකි වූ සමහරුන්ට රැකියාව ද හැර යන්නට සිදු විය.

(කොපි රයිටර්) කියූ සැණින් ඇතැම් අයට හැඟෙන්නේ අමෙරිකානු ලේඛක හර්මන් මෙල්විල්ගේ (බාට්ල්බී) නමැති සුප්‍රකට කෙටිකතාවේ එන ආකාරයේ ඔප්පු පිටපත් කරන්නකු විය හැකිය. එහෙත් එය එසේ නොවේ.
ප්‍රචාරණ ක්ෂේත්‍රයේ කොපි රයිටර් යනු නිර්මාණශීලී ලේඛකයකු වන අතර, වෙනස් වන්නේ ඔහු වෙළෙඳ භාණ්ඩ හෝ සේවා අලෙවිය සඳහා තම වචන හා හැකියාව වැය කිරීමය.

කොපි රයිටර්ලා අතර සුප්‍රසිද්ධ රයිටර්ලා ද වෙති. එංගලන්තයේ තීරු ලිපිකාරයකු වරක් පැවසූ අන්දමට එ් රටින් දැන් ශේක්ස්පියර්ලා බිහිනොවන්නේ තරුණ නාට්‍යකරුවන් ලොකු වැටුපකට කොපි රයිටර් රස්සාවකට යන බැවිනි.
අපේ රටේ කොපි රයිටර් කෙනකුව සිටි ෂෙහාන් කරුණාතිලක පසුගියදා ලෝක ප්‍රකට බුකර් සාහිත්‍ය දිනාගනිමින් හතර ගාතින් වැටී සිටි සිරි ලාංකික සිංහයාට මහත් ගෞරවයක් ලබා දුන්නේය.

සුද්දන්ගේ භාෂාවෙන් ලියමින් සුද්දන්ගේ රටේදී සුද්දන් පරදවමින් (රාජකීය) සුද්දියක අතින් බුකර් සම්මානය අත්පත් කර ගැනීම ලෙහෙසි පහසු වැඩක් නම් නොවේ.

ෂෙහාන් එදින කළ කතාවේ (නම් ගම්) වැඩි වුණත් හරය අතින් ගත් කල මෙරට රාජාසන කතාවකට හා නිදහස් දින කතාවකට වඩා උසස්ය. එසේ වූ පලියට ෂෙහාන් නම් කොපි රයිටර් තම ජනාධිපතිවරයා බවට පත්කර ගැනීමට මෙරට ජනතාව කැමැති නොවන බවට සැකයක් නැත. ඔහු දූෂණයට මෙන්ම ආගම් හා ජාතිවාදයට ද එරෙහි පුද්ගලයකු වීම ද ඒ සඳහා බලපානු ඇත. 

ෂෙහාන් නොබෙල් තෑග්ග දක්වාම යමු.

චියර්ස්!

I කපිල කුමාර කාලිංග

 2022 නොවැම්බර් 13 වන ඉරිදා, පෙ.ව. 06:00
 2022 නොවැම්බර් 20 වන ඉරිදා, පෙ.ව. 06:00
 2022 නොවැම්බර් 06 වන ඉරිදා, පෙ.ව. 06:00
 2022 නොවැම්බර් 27 වන ඉරිදා, පෙ.ව. 06:00