2022 ජුලි 31 වන ඉරිදා

බලවතුන්ගේ පුත්තු එක්ක බලද්දී අපි මොක්කුද හිතුණා - සුමිරාන් ධනංජය ගුණසේකර

 2022 ජුලි 31 වන ඉරිදා, පෙ.ව. 08:00 114

සුමිරාන් මේ දවස්වල මොකද කරන්නේ?

මේ දවස්වල මූලිකවම කරන්නේ කඩා වැටිච්ච රටක මමත් ව්‍යාපාරය රැකගෙන, මගේ සේවක මහත්ම මහත්මීන්ටත් වැටුප් ලබාදෙමින් ජීවිතේ ගැඩ ගහගන්න උත්සාහ කරනවා. ඒ වගේම ඒ වෙනුවෙන් අරගල කරනවා.

ඔබ දායක වෙලා තිබෙන කලා කටයුතු මොනවාද?

සඳුන් රාජකරුණා අධ්‍යක්ෂණය කරන, ලලිත් වසන්ත නිෂ්පාදනය කරන නීල පබළු ටෙලිනාට්‍යයේ රෑගත කිරීම්වලට සහභාගි වෙනවා. ඊට අමතරව Voice Sri Lanka දෙවැනි අදියර ආරම්භ කරලා තිබෙනවා. එකේ මූලික වැඩකටයුතුවලටත් මේ දවස්වල සම්බන්ධ වෙලා ඉන්නවා.

සුමිරාන්ගේ ව්‍යාපාරය මොන ක්ෂේත්‍රය සම්බන්ධවද?

මම ඇඟලුම් ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරයක් කරගෙන යනවා. මම වෘත්තීමය වශයෙන් ව්‍යාපාරිකයෙක්.

පුංචි කාලයේදීත් හීන දැක්කේ ව්‍යාපාරිකයෙක් වෙන්නද?

ඇත්තම කිව්වොත් මම පුංචි කාලේ හීන දැක්කේ කලාවට සම්බන්ධ වෙන්නයි. මගේ අම්මට මාව වෛද්‍යවරයෙක් කරන්න ලොකු උවමනාවක් තිබුණා. මගේත් වෛද්‍යවරයා කියන හීනය අතහැරෙද්දී අම්මට මාව නීතිඥවරයෙක් කරන්න ඕන වුණා. මම ඒ සම්බන්ධව ඉහළට ඉගෙන ගත්තා. වැඩිදුර ඉගෙන ගනිද්දී මගේ තැන තියෙන්නේ මෙතැන නෙමෙයි කියන සිතුවිල්ල මට දැනුණා. මට දෙයක් එපා වුණොත් ඒක එපා වුණාම තමයි. ආයේ එතැනින් එහෙම කොතැනකදීවත් අල්ලා ගැනීමක් නැහැ. උසස් අධ්‍යාපනය ලබමින් හිපටු මට එක රුයකදී නීතිඥ වෘත්තීය මගේ ගමන නෙමෙයි. ඒ නිසා වෙන මානයකින් මගේ ගමන යනවා කියලා තීරණයක් ගත්තා. ඒ අතරතුරේදී තමයි මට කලාවට එන්න අවස්ථාව ලැබුණේ.

අම්මාගේ හීනය අතරමඟ නතර කරද්දී ගෙදරින් අකමැති වුණේ නැද්ද?

ගෙදරින් අකමැති වුණා. මගේ අම්මා සෑහෙන්න අකමැති වුණා. මම පවුලේ එකම දරුවා මම ගත්තු තීරණයට අහලා අම්මා ඇඬුවා. අම්මාගේ, තාත්තාගේ බලාපොරොත්තු, සිහින සියල්ල පවුලේ එකම දරුවා වුණ මගේ මත තීරණය වුණා. හැබැයි අවසානයේදී මොනව දේ කළත් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ අපේ සතුටයි. හිතේ සැනසීමයි. ඒ නිසා සැනසීම සමහරු බොහෝ දේවල් නැති කර ගන්නවා. අපි අපේ යුතුකම් කරන්න ඕනේ. හැබැයි අපේ සැනසීම නැතිකරගන්න හොඳ නැහැ. මම මගේ පාරෙ ගියා. අද මගේ දෙමව්පියන් මම ගැන සතුටින්.

සුමිරාන් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ කොහොමද?

මම කලාවට සම්බන්ධ වෙන්නේ කොළඹ රාජකීය විදුහලෙන්. ඒ මගේ පාසැලයි. මම මුලින්ම සජීවී වැඩසටහනක් නිවේදනය කරන්නේ රාජකීය විදුහල වෙනුවෙන් ජාතික රෑපවාහිනියෙන්. ඒ දහය වසරේයි. දර්ශන පනංගල මහතා තමයි මාව ඒ වෙනුවෙන් මේ ක්ෂේත්‍රයට යොමු කළේ. එදා සිට මම කලාවට සම්බන්ධ වුණා. කලාවේදී මම මුලින්ම නිවේදකයෙක්. අදටත් මම වැඩිපුර නිවේදනයට යොමුවෙලා ඉන්නේ. ඒ නිසා වැඩිපුර මම ආදරය කරන්නේ  පූරක නිවේදක කියන චරිතයටයි.

පාසැලේදී සුමිරාන් මොනවගේ චරිතයක්ද?

මගේ ගම ඇහැලියගොඩ. මගේ අම්මා තාත්තා හරිම සරල සාමාන්‍ය මිනිස්සු දෙන්නෙක්. ඒ දෙන්නා ලොකු තැන්වලට ගියපු, ලොකු පාසල්වලට ගිය අය නෙමෙයි. මම මුලින්ම ඉගෙන ගත්තේ ගමේ පාසැලෙන්. ශිෂ්‍යත්වය සමත්වෙලා මම කොළඹ රාජකීය විදුහලට ඇතළත් වුණා. මගේ අම්මා තාත්තා, බත්මුල් හදාගෙන, කෑම හදාගෙන මාව බලන්න ඇහැලියගොඩ ඉඳන් නිතර කොළඹ ආවේ නැහැ. වරප්‍රසාද අරගන්න කාටවත් මගේ අම්මා තාත්තා කිසිම දෙයක් දුන්නේ නැහැ. මට නමක් හදාගන්න මාර ඇම්මක් තිබුණා. හැබැයි ඒ හොඳ විදිහට අද මම මහා චරිතයක් නොවුණාට යම්කිසි සුළු පිරිසක් මාව දන්නවා. ඒ නම හදාගන්න කිසිමදාක කිසිම නරක වැඩක් මම කරලා නැහැ.

ඇහැලියගොඩ ඉඳන් රාජකීයට ඇතුළත් වුණ ඒ මුල් කාලයේදී ඒ පරිසරයට සුමිරාන් හුරුවුණේ කොහොමද?

ගමෙන් සිදාදියට එන මිනිස්සු සිදාදියේ දේවල්වලට අහුවෙලා විනාශ වෙනවා. ඒක තමයි ඇත්ත. මම ඇහැලියගොඩ ළමයෙක් විදිහට රාජකීයට ආවේ. එතැන වෙනස්ම ලෝකයක්. ඇමැති පුත්තු, ව්‍යාපාරික පුත්තු, ලංකාවේ බලවතුන්ගේ දරුවන් එක්ක සංසන්දනය කරද්දී අපි හරියට අහස පොළොව වගේමයි. හැබැයි ඒ සංසන්දනයේදී වෙනස් කරන්නට පුළුවන් තැනක් තිබුණා. මම ඒක හඳුනාගත්තා. ඒ දක්ෂතාවය ඒ නිසා කැපවීමෙන් දක්ෂතාවය වැඩිකරද්දී ඒ අයව අභිබවා යන්න අවස්ථාවක් එනවා. ඒ නියම පාර මම හොයාගත්තා.

 තාමත් ඔබ ඉන්නේ ඇහැලියගොඩද?

ඔව්... තාමත් මම ඉන්නේ ඇහැලියගොඩ. තාමත් මම ඒ ගමට හරි ආදරෙයි. ඉදිරියට එහෙමයි. සමාජයත් විදිහට ඉස්සරහට යද්දී ගමේ ඉඳලාම මේ දේවල්වලට සම්බන්ධ වෙන්න අමාරුයි. ඒ නිසා දැන් මගේ කොළඹ ගෙයකුත් තිබෙනවා. කොළඹ ආවම මම කොළඹ ගෙදර ඉන්නේ. හැබැයි මගේ ව්‍යාපාර, දරුවා, බිරිඳ හැමෝම ඉන්නේ රත්නපුරෙයි..

දැන් පුතෙක්ගේ තාත්තා කෙනෙක්?

ඔව්. මගේ බිරිඳ නවෝද්‍යා ජයමාන්න. දැන් අපිට චූටි පුතෙක් ඉන්නවා. ඩිගින් ආයුෂ් ජයමාන්න ගුණසේකර. දැන් පුතාට වයස අවුරුදු දෙකහමාරයි. දරුවෙක් කියන්නේ ජීවිතයට අවශ්‍ය දෙයක්. ජනප්‍රිය නළුවා හිමි සම්මානය නීල පබළු ටෙලිනාට්‍යය වෙනුවෙන් 2020 වසරේදී ලබාගනිද්දී මගේ පුතා හිටියේ නවෝද්‍යාගේ කුසෙයි. ඒ නිසා එයාගේ ඉපදීම මට බොහෝ දේවල් ළඟා කළා. ඒ නිසා මගේ පුතා අපේ ජීවිතයට වාසනාව ගෙනාවා යැයි මම විශ්වාස කරනවා. අද ගෙවන ජීවිතේ මනුස්යෙක් විදිහට හරි සතුටුයි. හැබැයි රටක් ජාතියක් විදිහට නම් දුකයි.

 දිශානි ජයමාලි

සේයාරුව - සුමුදු හේවාපතිරණ