2022 ජුලි 24 වන ඉරිදා

මගේ හුස්ම මගේ ලිවීමයි - ප්‍රවීණ ලේඛිකා ශාන්ති දිසානායක

 2022 ජුලි 24 වන ඉරිදා, පෙ.ව. 08:00 105

අනුරාධපුර රජරට ජනජීවිතය නවකතාවලට පසුබිම් කරගත් ශාන්ති දිසානායක සම්මාන රාශියක්ද දිනූ ගත්කතුවරියකි. ඇය විසින් රචනා කරන ලද නවකතා 25ක් පමණ හා කෙටිකතා සංග‍්‍රහයන් දෙකක් යොවුන් නවකතා ති‍්‍රත්වයක් සහ පුවත්පත් කීපයක් පිණිස රචනා කරන ලද තීරු ලිපි සංග‍්‍රහයන් රැසක්ද පවතී. කතුවරියගේ කෘතීන් ඇසුරින් ටෙලිනාට්‍ය 09ක් සහ චිත‍්‍රපට දෙකක් නිර්මාණය කර තිබීමද විශේෂත්වයකි. ඒ අතරින් ගිරිදේවි, සරුංගල්, පරඬැල්, වරාමල් ආදිය ටෙලිනාට්‍ය බවට පත් කෘති කිහිපයකි.   ශාන්තිගේ දූවිලි නවකතාවේ නව මුද්‍රණය පසුගියදා එම්.ඩී. ගුණසේන සමාගමේ ප්‍රකාශනයක් ලෙස නිකුත් විය.

• ඔබේ දූවිලි නවකතාවේ නව මුද්‍රණයක්‌ නිකුත් වුණා. මේ පොතෙන්ද ඔබ උත්සාහ කරන්නේ පීඩිත මිනිසුන්ගේ ජීවිතේ ගැන කියන්න. මේ පොත ගැන හැඳින්වීමක් කළොත්....

ඔව්. අපි පය ගහලා ඉන්නෙ සමාජ හා ආර්ථික දේශපාලනමය සංස්කෘතික අර්බුද සහිත පොළොව නිසා මම දූවිලි නව කතාවේදිත් ඒ කාරණයෙන් බැහැර වෙන්නේ නෑ. එකම වෙනස මම පාදක කරගන්නෙ ගොවි ජනපද පරිසරය නොවේ. අර්ධ නාගරික පසුබිමකයි දූවිලි දිග හැරෙන්නේ. පීඩාවට පත් කීප දෙනෙකුගේ ජීවිතවල ගලා යාමක්. ඒ වගේම දරුවෙක් සිඟමන් යොදවා මුදල් උපයන යාචකයෙකුත් ඒ තුළ ඉන්නවා. මල්වර මංගල්ලයේදි අතවරයට ලක්වන දැරියක්. මැරයෙක් හා වැරදීමකින් උණ්ඩයට ගොදුරු වීමෙන් ජීවිතය හැර පියා ගිය තරුණයෙකුගේ බිරිඳට ජීවිතය වෙනුවෙන් ත්‍රීවීල් රස්සාව තෝරාගන්නට සිදුවීමත් දූවිලි තුළ අන්තර්ගතයි. මේ අසමාන හා අයුක්ති සහගත සමාජයේම තැලෙන පෑගෙන චරිත සමඟ හඹා යන දූවිල්ලක්. මිනිසා කියන්නේ දූවිල්ලෙන් සැඟව යා යුතු නොවන මහ මෙරක් මෙන් නැගී සිටිය යුතු ජීවියෙක් කියන එක අවධාරණය කරන්නට දැරු වෑයමක්.

• ඔබේ පොත්වලින් කතා කරන්නේ රජරට මිනිස්සු ගැන. මේ වනවිට ඔවුන්ගේ ජීවිතවලට අත්ව ඇති ඉරණම ඔබ කම්පනයට පත් කළාද?

මම ජීවත්වන පරිසරය පාදක කරගත්තත් මා ලියන්නේ එහි ජීවිත පිළිබඳව වුණත් එය රජරට කියා ලඝු කරනවාට මම එකඟ නෑ. පරිසරය මොකක් වුණත් ඒ තුළ වෙසෙන මිනිසුන් මුහුණ දෙන සුඛ දුක්ඛ දෝමනස්සයන්වල ලොකු වෙනසක් නෑ. වැදගත් සංකීර්ණ මනෝ භාවයන් සහිත මිනිසා හොඳ ජීවන තත්වයක් තුළ සුපුෂ්පිත වීමයි. ජීවන කුසුම පුබුදුවා ඒ සුවඳින් ලෝකය සුවඳ වත් කිරීමයි. මම කම්පා වෙනවා පොදුවේ රටට අත්වූ ඉරණම පිළිබඳව. ලෝකය ගැන පවා අපිට කනගාටු විය යුතු දෑ බොහොමයි. රමණීය හා වාසයට සරිලන ග්‍රහ ලෝකයේ කෙතරම් කදිම ජීවිත ගත කළ හැකිද? ඒ වෙනුවට එකිනෙකාට එරෙහිව අවි අමෝරා ගනිමින් ලෝකය ආලෝකයට හා ආදරයට පිටුපානවා.

• දිගටම එය පසුබිම් කර නිර්මාණ ලියවෙනවද?

මම දිගටම ලියනවා. මන්තරකාරියගේ ප්‍රාණය ගිරවා තුළ රුඳී තියෙනවා වාගේ මගේ හුස්ම මගේ ලිවීමයි. එය මට කුටුම්භයේ බිත්ති හතරකින් ඔබ්බට ඉගිලෙන්නට පියාපත් ලබාදෙනවා. මම බියපත් වන්නේ මට ලියන්නට තිබෙන දෑ ලියාගන්න මට මගේ ආයු කාලය ප්‍රමාණවත් වේද කියා කල්පනා කරද්දියි.

• රටේ අවුල නිසා පොත් පළ කිරීමත් නැවතිලා. බොහෝ ලේඛකයන් ලිවීමත් නවත්වලා. මේ ගැන ඔබේ අදහස...

ඒ අවුල හදිසියෙන් පැන නැගුණේ නෑ. නිදහසින් පසු දිගින් දිගටම අපි අවුල් ජාලයක තමා ඉන්නේ. එය ලිහාගන්නට රට නිවැරුදි දිශාවකට යොමු කරන්නට ලේඛකයන් ලෙස අපි වඩා වගකීම් සහගතව කටයුතු කළ යුතුව තිබුණා. ලේඛකයන් පමණක් නොව සියලු කලාකරුවන් හා වෘත්තිකයන් පුරවැසියා තම තම වගකීම හා යුතුකම ඉටු කළේ නෑ. එහි අනිටු ඵල විපාක අපේ දරුවන්ටත් අපේ මව්බිමටත් පොදුවේ අප හැමදෙනාටත් විඳින්නට සිදු වෙලා. දේශපාලකයන් පවා එයින් ගැලවී නෑ. අපි හැමදෙනාම වඩා යහපත් හා යුක්ති සහගත රටක් වෙනුවෙන් ඇප කැප විය යුත්තේ විටින් විට පැන නැගී ලේ කඳුළු වැගිරෑ උතුරේත් දකුණේත් කැරලි නිසාමයි. යළි යළි මේ පොළොව ලෙයින් තෙමන්නට අප දායක විය යුතුද? අඳුරේදී විපතේදී අප සියල්ල අත් හැර නිෂ්ක්‍රීය වෙනවාද? කලා භාවිතය තුළ අපේ වගකීම ඉටු කිරීමට වෙහෙසෙනවාද? පළවීම පිළිබඳව ලත නොවී ලියන්න පුළුවන්. බෙහෙත් පෙත්තක් නැති රටේ කඩදාසි නෑ කියා මැසිවිලි නගා පලක් නෑ. මූලික අවශ්‍යතා සපුරාගත හැකි රටක් ගොඩ නැගීමෙන් තොරව අපට අපේ ක්ෂේත්‍ර පමණක් පණ ගන්වා ගත නොහැකියි. මා නම් මේ අන්ධකාරයේත් නොනැවතී ලියනවා.

• අද බොහෝ තරුණ පිරිසක් මුහුණු පොත හරහා නවකතා ලියනවා. ඒ ගැන මොකද කියන්නේ....

ඒක හොඳයි. අපි විකල්ප වෙත අවධානය යොමුකළ යුතුයි. එක් දොරක් වැසුණා කියා පසුබට විය යුතු නෑ. තවත් එක් දොරක් නොව කීපයක් විවරව තිබිය හැකියි. සම්ප්‍රදායික ක්‍රම මත පමණක් රඳා පැවතීමෙන් අපිට කිසිවක් කර කියාගත හැකි වන්නේ නෑ. තාක්ෂණය හා බද්ධ වීමෙන් අපි ඉදිරියට යා යුතුමයි. ගමන්මග අසීරුයි කියා නවතින්නට බෑ. 

 කුසුම්සිරි විජයවර්ධන