2022 ජුනි 19 වන ඉරිදා

ආහාර සහ ඖෂධ හිඟය උග්‍ර වේ

 2022 ජුනි 19 වන ඉරිදා, පෙ.ව. 08:00 41

ක්ෂණික විපත් ඇතිකරන්නා වූ නැප්චූන් බ්‍රහස්පතිට අයත් මීන රාශියෙහි ගමන් කරමින් සිටියදී 2022 ජූනි මස 30 ගුරු දින බ්‍රහස්පතිට අයත් පුවපුටුප නැකතේ 4 වැනි පාදයේදී සුපුරුදු ගමනින් මිදී ආපසු හැරී ගමන් කරයි. බ්‍රහස්පතිද තමාගේම රුසක් වූ මීන රාශියෙහි ගමන් කරමින් සිටියදී 2022 ජූලි 30 වැනි දින සෙනසුරුට අයත් වූ උත්‍රපුටුප නැකතේ 4 වැනි පාදයේදී ආපසු ගමන් අරඹනු ඇත. ඒ අනුව නැප්චූන් 2022-09-11 වැනි ඉරු දින දක්වාත් බ්‍රහස්පති 2022-11-24 ගුරු දින දක්වාත් වක්‍ර වෙමින් ගමන් කරනු ඇත. මෙසේ වක්‍රව ගමන් කරන නැප්චූන් හා බ්‍රහස්පතිට සෙනසුරුගේ දෘෂ්ටිය ද එල්ලවෙමින් මුළු ලෝකයටම ඉතා අයහපත් වූ කාල වකවානුවක් බවට මෙම කාලසීමාව පත්වනු ඇත.

 

මෙම තත්ත්වය අප රට කෙරෙහි කෙසේ බලපාන්නේ දැයි සොයා බලමු.

අප රට තුළ ජීවත් වන ජනතාවට තව තවත් දරුණු පීඩාවට ලක්වීමට සිදුවන කාලයක් වෙයි. විශේෂයෙන් එදිනෙදා අවශ්‍යතා ඉටුකර ගැනීමට නොහැකි තත්ත්වයට පත්වන අතර ආහාර හිඟකමින් මෙන්ම ඖෂධ හිඟවීම මත වයස්ගත වූවන් මෙන්ම ළමා වයසේ අය හට තම ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවනවා ඇත. මෙම වකවානුව තුළ රට තුළ ඉතා අයහපත් ලෙස වසංගත රෝග තත්ත්වයක් පාලනය කිරීමට නොහැකි ලෙස පැතිර යන අතර කුඩා දරුවන් මේ හේතුව නිසා මරණයට පත්වීම්ද වාර්තා වනවා ඇත. කුඩා දරුවන් ඉගෙනීම් කටයුතු කරන පෙර පාසල් ප්‍රාථමික පාසල්ද තාවකාලිකව වසා දැමීමටද සිදුවිය හැකි කාලයක් වේ. රටේ ආර්ථිකය ඉතාමත් පහත් තත්ත්වයට පත්වන කාලයක් වන අතර රටට අත්‍යවශ්‍ය වන ආහාර ද්‍රව්‍ය, ඖෂධ, ඉන්ධන, ගෑස් විදේශීය වශයෙන් මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිවනු ඇත. ඒ හේතුවෙන් ඉන්ධන නොමැති වී යාමෙන් ජනතාවට එදිනෙදා රුකියා සඳහා යාමට මෙන්ම පාසල්වලට ළමුන් ගෙන යාමටද නොහැකි වන තත්ත්වයක් උද්ගත වේ.ගමනාගමනය සඳහා බස් හා ත්‍රීරෝද රථ නොමැති වී යාම නිසා ජනතාවට පීඩාවට පත්වනු ඇත. ඉන්ධන හිඟවීමෙන් රට තුළ පවතින භාණ්ඩ මිලද ඉතා අධික ලෙස ඉහළ යනු ඇත. මහජන විරෝධතාව රජයට එරෙහිව වැඩි වී කැරුල්ලක් බවට ක්ෂණිකව පත්වනු ඇත. මෙම වකවානුව රජයට රට පාලනය කරගෙන යාමට අපහසුම කාල පරිච්ඡේදය බවට පත්වනු ඇත. කෘෂිකාර්මික කටයුතුවල නිරත වී සිටින අයගේ කෘෂි බෝග වගා සිදුකිරීමට නොහැකි තත්ත්වයක් මත වගා භූමි පාළු වී යන අතර තැනින් තැන ජනතාවගේ දුක් ගැනවිලි වර්ධනය වීම් අසන්නට ලැබෙනු ඇත. දේශපාලන කටයුතුවල සාර්ථක වීමක් නොවන කාලයක් වන අතර ජනතාව දේශපාලකයන් ගණන් නොගන්නා තත්ත්වයට පත්වන කාලයකි. ඔවුන්ට ඉතා අමානුෂීය ලෙස යම් යම් වචන භාවිත කරමින් ප්‍රසිද්ධියේ විවේචනය කිරීම්ද කරන කාලයක් වන අතර ඔවුන්ට මහ මඟ ගමන් කිරීමටද නොහැකි ලෙස ඉතා පහත් තත්ත්වයට ඇදවැටෙනවා නියතය.

මේෂ - පදිංචියේ ගැටලු

ඔබගේ තැන්පත් ධනය ආරක්ෂා කරගත යුතු අතර විශාල මූල්‍යමය පාඩුවක් ඇතිවිය හැකි කාලයකි. ශරීර ශක්තියටද බාධාවීම් ඇතිවන අතර වෛරස රෝගවලින්ද ප්‍රවේසම් විය යුතු වේ. පදිංචි ස්ථානය ආශ්‍රිතව යම් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වනු ඇත.

වෘෂභ - හවුල් ව්‍යාපාර ප්‍රශ්න

දේශපාලන කටයුතුවල නිරත අයට අයහපත් වන කාලයක් වේ. හවුල් කටයුතුවලින්ද ප්‍රශ්න ඇතිවනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත අයටද අයහපත් වනු ඇත. යම් යම් අසත්‍ය ප්‍රචාර හේතුවෙන් කලබලයට පත්වන කාලයක් ද වේ.

මිථුන - ආර්ථික අපහසුතා

සේවා ස්ථානය ආශ්‍රිතව නොසිතූ ලෙස හදිසි ප්‍රශ්න ඇතිවනු ඇත. පවුල් දිවියේද සමගිය පළුදු වන කාලයක් බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. ආර්ථික අපහසුතා ඇතිවන්නාවූත් කාලයක් ද වේ.

කටක - අතපසුවීම් වැඩි වේ

ඔබට අයහපත් නොවන නමුත් උසස් අධ්‍යාපන කටයුතුවල නිරත අයට අයහපත් වනු ඇත. යම් කටයුතු අතපසුවීම්වලටද ලක්වන කාලයක් වේ.

සිංහ - හදිසි අනතුරු

ඔබට අයහපත් වන අතර ඔබ කරන වැඩ කටයුතුවලට විවිධ වූ බාධා ඇතිවනු ඇත. ශරීර ශක්තියටද පීඩා ඇතිවන අතර වෛරස රෝගවලින් පරිස්සම් වන්න. හදිසි අනතුරුවලට ලක්විය හැකි බැවින් ඒ ගැන අවධානයට ගන්න

කන්‍යා - මත භේද

පවුල් ජීවිතය ආශ්‍රිතව ප්‍රශ්න ඇතිවන කාලයක් බැවින් පරිස්සම් වන්න. ව්‍යාපාරික කටයුතුවල නිරත අයටද අයහපත් වනු ඇත. සහෝදරයන් සමඟ මත භේද ඇතිවන සමයක්ද වේ.

තුලා - අනවශ්‍ය ගමන්

ඔබගේ කටයුතුවලට විවිධ වූ බාධා ඇතිවන කාලයක් වේ. වෛරස රෝගවලින්ද පීඩා ඇතිවන කාලයක් වේ. අනවශ්‍ය ගමන් යෙදෙන අතර ඔබට යම් යම් සතුරු බාධා කරදරද මෙම කාලසීමාව තුළ ඇතිවනු ඇත.

වෘශ්චික - දේශපාලනයට හොඳ නෑ

විරුද්ධ ලිංගික බැඳීම්වලට බාධා ඇතිවනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත අයටද අයහපත් වන කාලයක් වේ. දේශපාලන සමාජ සේවා කටයුතුවල නිරත අයටද අයහපත් වනු ඇත.

ධනු - වියදම් පාලනය

භූමිය ආශ්‍රිත කටයුතුවල එපාවීම් ගති ඇතිවන කාලයකි. අනවශ්‍ය වියදම් පාලනය කරගෙන කටයුතු කළ යුතු වේ. අලුතින් නිවසට අවශ්‍ය දේවල් මිලදී ගැනීම් කරන්නේ නම් හොඳින් සිතා බලා කටයුතු කරන්න.

මකර - සහනය අඩු වේ

සහෝදරයන් සමඟ මත ගැටුම් ඇතිවන කාලයක් වේ. ඔබගේ කටයුතුවලට විවිධ වූ බාධා ඇතිවනු ඇත. සිතේ සහනය අඩුවන කාලයක් වේ. අනවශ්‍ය ගමන් යෙදෙන කාලයක් ද වේ.

කුම්භ - පවුල් ප්‍රශ්න

ආර්ථික අපහසුතා ඇතිවන කාලයක් වන අතර පවුල් දිවියේ සමගියටද බාධාවීම් ඇතිවනු ඇත. හදිසි ශරීර පීඩා ඇතිවිය හැකි බැවින් ප්‍රවේසම් වන්න. වෛරස රෝග පීඩාද ඇතිවන කාලයක් වේ.

මීන - හිසේ පීඩා

ඔබගේ ශරීර ශක්තියට බාධාවීම් ඇතිවන කාලයක් වේ. පවුල් දිවියේද ප්‍රශ්න ඇතිවන අතර ඔබගේ කටයුතුවලටද විවිධ වූ බාධා මතුවනු ඇත. හිස ආශ්‍රිත පීඩාවක් ඇතිවන කාලයක් ද වේ.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය, ගෝනපල