2022 ජුනි 19 වන ඉරිදා

තණකොළ නොබුදිති සිංහ පැටව්

 2022 ජුනි 19 වන ඉරිදා, පෙ.ව. 08:00 48

ලෝකයේ ඇතැම් රටවල මිනිස්සු කෑමට බීමට දෙයක් නැතිව බඩගින්නේ මැරෙති. සිරි ලංකාවේ මිනිසුන් එවැනි ඉරණමකට ගොදුරු නොවේ. ඊට හේතුව ඔවුනට කොස් ගෙඩියක්, පොල් ගෙඩියක් හෝ කා දිවි රුකගත හැකි හෙයිනි. දිවයින පුරාම ගංගා, වැව්, ඇළ දොළ, ළිං තිබෙන නිසා පිපාසයෙන් මැරෙන්නේද නැත.

මෙය ගහක කොළයක් හෝ කා දිවි රුකගත හැකි දිවයිනකි.

මෙහි සීත ඍතුවක්ද නැත.

කාන්තාර දේශගුණයක්ද නැත.

එහෙයින් බල්ලන්, පණුවන්, ගෙම්බන්, සර්පයන් ආහාරයට ගැනීමට අවශ්‍යතාවයක් ඇතිවූයේද නැත.

උතුරු - නැගෙනහිර බෙදුම්වාදී යුද්ධය පැවති කාලයේ වනාන්තරයේ අතරමං වූ සෙබළුන් දිවි රුකගෙන තිබුණේ කුරුම්බාවලිනි. 

ආචාර්ය පබිලිස් සිල්වා වැනි සූපවේදියෙක් හෙළිකර තිබූ අන්දමට ලංකා පොළොවේ වැඩෙන ඇතැම් තණකොළ වර්ගද කෑමට ගත හැකිය. සමහරු තණකොළ කන එවුන් මෙන් කටයුතු කරන නමුදු, මේ රටේ වෙසෙන අන්ත දුගියාටවත් තණකොළ කා, කුසගිනි නිවීමට අවශ්‍ය වූයේ නැත.

මෑතක් වන තුරුම සිරි ලංකාවේ පැවති තත්ත්වය එසේ වුවත්, උදාවන්නට යන්නේ නම් &අම්මට සිරි* තත්ත්වයකි. එසේත් නැත්නම් &බුදු අම්මෝ* යැයි කියැවෙන කායික - මානසික - ආර්ථික - දේශපාලනික තත්ත්වයකි.

අප දැන් පසුකරමින් සිටින ඉල්ලන් පරිප්පු* ජීවන තත්ත්වය ගැන පසුගිය දිනවල ලියූ බැවින් නැවත එය &මේසයට* නොගෙන ආහාර අර්බුදයට විසඳුම් සොයාගත යුතු ආකාරය පිළිබඳව අදහස් කිහිපයක් මතු කිරීමට සිතුවෙමි.

නොබෙල් සාහිත්‍ය ත්‍යාගලාභී කොළොම්බියානු ගත්කරු මුහුදුබත් වූ නාවිකයකුගේ කතාව නමින් සත්‍ය පුවතක් ආශ්‍රිත අර්ධ ප්‍රබන්ධයක් රචනා කොට ඇත. මුහුදුබත් නැවකින් දිවි ගලවාගත් තරුණ නාවිකයකු කුඩා පහුරකට නැගී, දින දහයක් මුහුදේ පාවෙමින් ගත කළ ජීවිතය එහි විස්තර වේ.

කුසගින්නෙන් පීඩිත නාවිකයාට එක් වරෙක තමා පැළඳ සිටි පාවහන් යුවළ කෑමට සිතෙයි. එහෙත් එහි ශක්තිමත් බව නිසා ඔහුට එය කළ නොහැකි වෙයි. අවසානයේදී නාවිකයා දිවි ගලවාගෙන ගොඩබිමට ආ පසු, එම පාවහන් නිෂ්පාදන සමාගම විශාල මුදලක් ගෙවා ඔහු යොදාගනිමින් වෙළෙඳ දැන්වීමක් නිර්මාණය කරයි.

සිරි ලංකාවේ ජනතාවද දැන් සිටින්නේ ගෙල තෙක් මුහුදේ ගිලුණු තත්ත්වයකය. සපත්තු, සෙරෙප්පු පවා කෑමට සිතෙන දවසක් වැඩි කල් නොගොස් උදා විය හැකි යැයි සාධාරණ බියක් දැනෙයි. (ඒ.ජේ. රණසිංහගේ &සෙරෙප්පු සුප්* කතාවද යළි මතකයට නැගෙයි.)

අතීතයේ අමෙරිකාවේ සිටි කළු ජාතික වහලුන්ට හරක් මස් මිලදී ගැනීම තරම් මුදල් නොතිබුණි. එහෙයින් ඔවුහු ඉතා අඩු මිලකට ලබාගත හැකි හරක් කුර ගෙන ගොස්, ඉන් සූපයක් තනා ගත්හ. නැතිබැරිකම නිසා කුසගිනි නිවන්නට පිසූ &හරක් කුර සූපය අදත් ඔවුන්ගේ කළු සංස්කෘතිය තුළ පවතී.

ඕනෑකමට කබරගොයාත් තලගොයා වෙනවලු* යන අපගේ ප්‍රස්ථාව පිරුළ බඩගින්නට යනුවෙන් යොදා වෙනස් කරගත හැකිය. දෙවියන්ගේ පිහිටෙන් පණ බේරාගෙන සිටින මොණරාත්, ගැමියන්ගේ කරුණාවෙන් දිවි ගලවාගෙන සිටින වල් ඌරු සහ ඉත්තෑවාත් වනජීවී රතු දත්ත පොතට එක්වන දවස වැඩි ඈතක නොවේ. කටින් බතල කොළ ඉන්දන උදවිය විසින් පාලනය කෙරෙන රටක සිංහයන්ට වුව තණකොළ බුදින්නට වීමට පුදුමයට කාරණයක්ද නොවේ.

කොස් ගසට යෙදූ ගරු නමක් වූයේ බත් ගසය. &බත් ඇති තැනටමයි කොසුත්* යැයි කියුමක්ද අපේ වහරේ ඇත.

කොස් ගෙඩියේ, සිවිඩ්ඩෙන් පමණක් නොව වහල්ලෙන්ද වැඩ ගත හැකි බව මෑතකදී කියා දුන්නේ සූප විශාරද ආචාර්ය පබිලිසුන්ය.

So many cooks spoil the soup* යනුවෙන් ඉංග්‍රීසියෙන් කියුමක් ඇත. ඒ අනුව පබිලිස් සූරීන්ටත් වැඩියෙන් දන්නා කෝකි අප්පු කෙනෙක් කොහොල්ලෑවලින් රොටී තනා ගැනීමේ ක්‍රමයක්ද සොයා ගැනීමට ඉඩ ඇත. මේ රටේ සමහරු තනතුරු බදාගෙන සිටින ආකාරය දුටු විට, කොහොල්ලෑ බබාගේ කතාවද මතකයට නැගෙයි.

අහංකාරකම, බඩගින්නටත් වඩා ලොකුය. පුරාණයේ විසූ බමුණෙක් තම අඹුවට බැල්ලී යැයි බැණ වැදීමට පුරුදුව සිටියේය. ඒ ඇසූ ගෙදර බල්ලා සිතුවේ බැමිණිය තම ඥාතිවරියක බවය.

කාලයාගේ ඇවෑමෙන් බමුණු දෙමහල්ලෝ ඉතා දිළිඳු බවට පත්වූ අතර, තුන්වේල පිරිමසා ගත්තේද අපහසුවෙනි. කෑම අහේනිය නිසා බල්ලාද වැහැරී නටු ගැසී ගියේය. මේ බව දුටු අසල් ගමක බල්ලෙක් බමුණු ගෙදර බල්ලාගෙන් මෙසේ ඇසීය. 

කෑම හිඟ නම් ඇයි වෙන දිහාකට නොයන්නෙ?

නෑයෝ දාලා කොහොම යන්නද? තමන්ගෙ තැන උලා කෑවත් නම්බුයිනෙ.

අහංකාර බමුණු බල්ලා නගුට වනමින් කීවේය.

 කපිල කුමාර කාලිංග